ජිවිතේ මට වැරදුණු තැන් තියෙනවා මම වැරදි කරලත් තියෙනවා | Page 2 | සිළුමිණ

ජිවිතේ මට වැරදුණු තැන් තියෙනවා මම වැරදි කරලත් තියෙනවා

- සනත් ගුණතිලකයන් දුටු විරාගය “හදවිල මත පිපි අරවින්දය” නමින් එළිදුටුදා
- විරාගයේ චරිතය දැඩි අභියෝගයක් වුණා
- හෘදයසාක්ෂියට එකඟව මම දන්නවා කොයි තරම් ලෑස්ති වීමක් මම ඒ වෙනුවෙන් වුණාද? කියලා

 

සරෝජිනී: අරවින්දට පඩිය කීයක් ලැබෙනවද?

අරවින්ද: දැනට රුපියල් අසූ පහක් ලැබෙනවා.

සරෝජිනී: රුපියල් පහළොවකට ගෙයක් කුලියට ගන්න පුළුවන්. රුපියල් හතළිහකින් මම ගෙදර වියදම පිරිමහ ගන්නම්.

අරවින්ද: සරාගේ දෙමවුපියන්ට ඉන්නේ සරා විතරයි. හැම සැප සම්පතක් මැද්දේ හැදිල වැඩිල හිටි ගමන් රුපියල් අසූ පහකින් ජීවත්වෙන්න සරාට පුළුවන්ද?

සරෝජනී: පුළුවනි. මං ඒ විදිහට හිත හදා ගත්තේ මට දෙමවුපියෝ එපා කියල නෙවි. මට දෙමවුපියෝ ඕනෑ. ඒත් ඒ ගොල්ලන්ගෙ සල්ලි මට එපා. 

1956 දී පළවූ විරාගය නවකතාව මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ශ්‍රේෂ්ඨ කෘතියකි. පසු කලෙක විරාගය 1987 වසරේදී තිස්ස අබේසේකරයන් විසින් සිනමාවට නැගීය. මේ එහි ආ දෙබසකි.

විරාගය කෘතිය කියවූ පාඨකයින් සේම විරාගය සිනමාපටය නැරඹු සුවහසක් ප්‍රේක්ෂකයින් නැවත අරවින්ද ගැන කතාබහ කරන්නට පටන් ගෙන තිබේ. ඒ පසුගිය ආදරවන්තයින්ගේ දිනය දා ජනගත වූ “හදවිල මත පිපි අරවින්දය” කෘතිය හේතුවෙනි. මෙහි විශේෂත්වයක් ඇත. එනම් මීට වසර 38කට පෙර අරවින්ද ජයසේන නම් චරිතයට ජිවය දුන් සනත් ගුණතිලකයන් මෙහි කතුවරයා වීමයි.

සිනමාව තුළ විවිධ භූමිකාවන් නිරූපණය කර තිබෙන නමුත් විරාගයේ අරවින්ද ලෙසින් ජීවය දුන් චරිතයම මූලික කරගෙන “හදවිල මත පිපි අරවින්දය“ නමින් කෘතියක් ප්‍රකාශයට පත් කරන්න හිතුවේ ඇයි ද යන්න සම්මානිත ප්‍රවීණ රංගවේදී සනත් ගුණතිලකයන්ගෙන් අප විමසා සිටියා. එහිදී ඔහුට ඒ ගැන කියන්න තිබුණේ මෙවන් දීර්ඝ පැහැදිලි කිරීමක්

“මගේ කෘතිය ගැන කරන ලිපි අතරේ විවේකිවම කරන ලිපිය සිළුමිණට කරන මේ ලිපිය නිසා මට පුළුවන් බොහොම නිරවුල්ව ඒක පැහැදිලි කරන්න. මොකද ඔය ප්‍රශ්නය තමයි ගොඩක් අයට තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මම සිංහල සිනමාවට පිවිසෙන්නේ නළුකමට ඇති ලොකු ආසාවකින් නෙවෙයි. මම පාසල් යන අවධියේ පටන් බොහෝ චිත්‍රපට නරඹන කෙනෙක්. ඒ චිත්‍රපටවල මගේ ආදරණීය නළුවන් වෙන්නේ ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම සහ රවින්ද්‍ර රන්දෙණියටත් කැමැතියි. නමුත් මගේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ඒ චිත්‍රපට නැරඹීමේදී සමහර දර්ශන ඉදිරිපත් වෙලා තියෙන ආකාරය සහ ඒ දර්ශන අධ්‍යක්ෂවරයා මෙහෙයවා තිබුණු ආකාරය නළු නිළියන් රඟපෑ ආකාරය ගැන මගේ මනසින් විමසා සිටීම. ඒ හැර තුන් හිතකින්වත් මම හිතුවේ නැහැ නළුවෙක් වෙන්න. මම කොළඹට එන්නේ රස්සාවක් හොයාගෙන. අහම්බෙන් රංගන වෘත්තියට ආවම මම දැන ගන්නවා මම මේ කරන්නේ උඩුගම් බලා පිහිනීමක් කියලා. අදටත් මම විශ්වාස කරන දේ තමයි නිශ්චිතව රඟපෑම කියන්නේ මෙන්න මේකයි කියලා ඉරක් ඇඳලා කියන්න බැහැ කියන එක. X කියන නළුවාට වඩා Y කියන නළුවා වෙනස් විදියෙන් රඟපාන්න පුළුවන්. ඊටත් වඩා වෙනස්ම ආකර්ෂණීය දෙයක් Z කියන ආධුනික නළුවා කරන්න පුළුවන්. ඒක තමයි රංගනය. මේක හරිම විස්මයජනක දෙයක්. මේක ලෝක සිනමාවේ පවා සිද්ධ වෙලා තියෙනවා. අධ්‍යක්ෂවරුන්ගෙන් ඔබ විමසා සිටියොත් දැන ගන්න පුළුවන් මාත් එක්ක වැඩ කරද්දී තියෙන එකම ගැටලුව, ඔවුන් සැහීමකට පත් වෙනවද කියන එක මම තදින් බලකර සිටීම. ඒ නිසා මම නැවත නැවත ඔවුන්ගෙන් අහනවා ඒ රූපගත කිරීමට එහෙම නැත්නම් ඒ දෙබස් උච්චාරණයට සතුටු ද කියලා. මොකද මම දෙයක් කරනවා නම් එයට සීයට සීයක් සාධාරණය කරන්න උත්සාහ කරනවා. ඒ මම හැදුණු විදිය නිසා වෙන්න ඇති. හැම අවස්ථාවකම මගේ පියා සහ මවගේ මඟ පෙන්වීම තිබ්බේ ඕනෙම දෙයක් කරනවා නම් හරියට කරපන්. ලොකු මිනිහෙක් වෙන්න එපා හොඳ මිනිහෙක් වෙන්න උත්සාහ කරන්න කියලා. 

ඉතින් පසුකාලීනව මම චිත්‍රපට කිහිපයකම රඟපෑවා. ඒ අතරේ ඕනෙම කෙනෙක් හිතනවා විරාගය තමයි මට කැපවීමක් කරන්නට ලැබුණු චිත්‍රපටය කියා. නමුත් මම ඒක නිවැරැදි කරන්න ආසයි. මම සිටු කුමරියෝ චිත්‍රපටයේ රඟපාලා ඒ වකවානුව තුළ තව චිත්‍රපට රාශියක් ලැබෙනවා. ඒ එක්කම රිදී නිම්නය සහ ගඟ අද්දර කියන චිත්‍රපටවල දර්ශන තලය තුළ මා වෙනසක් දකිනවා. ඒ තමයි දැඩි වෘත්තීමය බවක්. කලින් නිර්මාණවල වෘත්තීමය බවක් නැහැ කියලා නෙවෙයි මම කියන්නේ. නමුත් මේ චිත්‍රපට යුගලය තුළ තිබ්බ වෘත්තීය පදනම, හැදෑරීම, ශික්ෂණය, අවබෝධ කර ගැනීම, යම් කිසි කාල සටහනකට අනුව වැඩ කිරීම තුළින් මම දකිනවා හැමෝම ඒකට සම්බන්ධ වෙනවා කියලා. ගඟ අද්දර චරිතය මම හරියාකාරව කරපු නිසා තමයි යහළු යෙහෙළි වගේ මම කවමදාකවත් හිටිය නැති පරිසරයක චරිතයක් මට ලැබෙන්නේ. ඒ චරිතයට අනුවර්තනය වෙන්න මට උදවු කළේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක හේමපාල ධර්මසේන මහතා. ඒ නිසා සුමිත්‍රා පීරිස් මැතිනිය ඇයගේ තිර රචනය ඇයගේ සංස්කරණ සහ නිර්මාණකරණයට අනුකූලව දර්ශන තලයේදී වැඩි දියුණු කරනවා. ඊට පස්සේ එතුමිය මායා කියන චිත්‍රපටය කරද්දී මගෙන් අහනවා පුවත්පත් කලාවේදියාගේ චරිතය කරන්න කැමැතිද කියා. එය සුළු චරිතයක්. නමුත් මම හා කියනවා. ඒ සුළු චරිතයට අනුගත වෙන්න මම රැවුළ වවනවා. ඒකට තමයි මට මුලින්ම කුසලතා සහතික සම්මානයක් ලැබෙන්නේ. ඒකට මම වුණු කැපවීම දැක්කම ශේෂා පලිහක්කාර මට කියනවා මේක හරි ලස්සන වැඩක්. මේ දින හයක හතක කාලයක තියෙන රූප ගත කිරීමට එක දිගටම දින 20ක් වගේ නැවතිලා මේ විදියට චරිතය හරියාකාරව කිරීමට ගන්න මහන්සිය මම අගයනවා කියලා ඔහු මට කිවුවා. ඒ වගේම විරාගයේ වේශ නිරූපණ ශිල්පියා වෙන්නෙත් ශේෂා පලිහක්කාර. කෙසේ වෙතත් මම මේ පුහුණු කරපු ශික්ෂණය මම පුහුණු කළේ, මම හඳුන්වපු ගඟ අද්දර, රිදී නිම්නය, මායා, වැනි ගුණාත්මක චිත්‍රපටවල පමණක් නෙවෙයි මම කළේ සටන් ද නැටුම් ගැයුම් ද සියල්ලටම මම මනා පුහුණුවීමකින් අනුවර්තනය වෙනවා. එහෙම ආව නිසා තමයි 80 දශකයේදී යම් ආකාරයකට මාව එසවීමක් ප්‍රේක්ෂකයා තුළින් සහ චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ පිරිස් මඟින් ලබා දීමක් සිදු වුණේ.

ඔය අතරේ තමයි මට විරාගය චිත්‍රපටයට ඇරියුම් ලැබෙන්නේ. තිස්ස අබේසේකර එදා මට කිවුවේ මම මේක ඔයාට කරන්න කියන්නේ, ඔයා මේ අරවින්දගේ චරිතය කරයි කියන විශ්වාසය තියෙන නිසා බව. නමුත් මම පාසල් අවධියේ අවස්ථා කිහිපයකදී විරාගය කියවලා තිබුණත් එහි අමුතු රසයක් ලබා ගන්නට බැරි වුණා. නමුත් මේ ඇරියුමෙන් පස්සේ විරාගය පොත මම තුන් හතර වතාවක් කියවද්දී මට තේරුම් ගියා මේක ඉතාම දැඩි අභියෝගයක් බව. ඒ අභියෝගය තදින් දැනුණේ චිත්‍රපටයේ මුහුරත් වෙලාවේ සහ ඉන් පරිබාහිරව මේ චරිතයට මාව තෝරා ගැනීම පිළිබඳ දක්වපු විරෝධතාව නිසා. ඒ වකවානුව තුළ විරෝධතාව ගෙනාපු කිසිම කෙනෙක් ද්වේශසහගත ලෙස කටයුතු කළේ නැහැ. ඔවුන් ප්‍රශ්න කළේ සිංහල සාහිතයේ මුදුන් මල්කඩක් වගේ තියෙන ඒ කෘතිය තිස්ස අබේසේකරයන්ගේ තිර නාටකයෙන් හොඳ සිනමා කෘතියක් බවට පත් වීමේදී එහි අරවින්ද කියන ප්‍රධාන චරිතය සනත් ගුණතිලකට හරියාකාරව රඟපෑමට හැකියාවක් තිබේද? විශේෂයෙන් අරවින්ද ගොඩනගන ලද මනුෂ්‍යය සම්බන්ධතා එක්ක කෘතිය මඟින් කියවා පාඨක මනසේ ඇඳි අරවින්දට සාධාරණයක් වෙයිද කියන එක.

තිස්ස අයියා ඒකමතිකව හිටියා මම ම මේ චරිතය කළ යුතුයි කියලා. ඒ නිසා මම අරවින්ද ගොඩ නඟන්න සූදානම් වුණා. ඒ සූදානම් වීම ලෙහෙසි පහසු වුණේ නැහැ. වයස අවුරුදු 35දීත් හැට පිරුණු මහල්ලෙක්. ලේ පිළිකාව කියන රෝගයෙන් පෙළෙන තැනැත්තෙක්. එතැනට හරියන ආකාරයට ශරීරයේ ප්‍රමාණය අඩු කිරීමට එකල ඩොක්ටර් රංග වික්‍රමසිංහ (මාර්ටින් වික්‍රමසිංහගේ බාල පුතා) ගෙන් සහ ප්‍රොෆෙසර් නානායක්කාරගෙන් උපදෙස් අරගෙන සිදු කළා. නමුත් ඇඟ අඩු කළ පමණින්ම චරිතය සාර්ථක වෙන්නේ නැති බව ඕනෙම කෙනෙක් දන්නවනේ. චරිතයට දිය යුතු බුද්ධිමය සාත්තුව සහ චරිතය තේරුම් ගැනීම, තිස්ස අයියා ලබා දුන් උපදෙස් සියල්ල මගේ හද සන්තානයේ තැන්පත් කර ගැනීම ලෙහෙසි පහසු වුණේ නැහැ. ඒ නිසාම මම පොතක සටහන් තබාගෙන හිටියා. තිස්ස අයියා එක්ක නිරන්තරයෙන් සාකච්ජා කළා. ඒ ඔස්සේ මම මේ චරිතය ගලා යන ආකාරය වයස් කාණ්ඩ වශයෙන් බෙදා ගත්තා. ශේෂා පලිහක්කාර ඇතුළු ඔහුගේ ගෝලයන් එක්ක එකතුවෙලා චරිතය ගොඩනැඟුවා. චිත්‍රපටය සාර්ථක වුණා.

*විරාගය කියන්නේ ඉතා දුර්ලභ සම්මාන උළෙලයන් පවා නියෝජනය කරමින් බොහෝ පැසසුම් සම්මාන ලැබූ සිනමාපටයක්. ඒ නිසාම එකල ලද අසීමිත ප්‍රතිචාරයන් ගැනත් ඔබට දැනෙන්නේ කොහොමද?

විරාගය නිසා ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් විදෙස් චිත්‍රපට උළෙල කිහිපයකටම ගියා. ඒ අවස්ථාවන්හිදී මට දැනුණා මම මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරලා තියෙන බව. නමුත් මම අදටත් කියන දෙයක් තමයි වෙන ඕනෙම නළුවෙක් තිස්ස අබේසේකරයන්ගේ අධ්‍යක්ෂණය යටතේ සමහරවිට මටත් වඩා හොඳට සාධාරණයක් ඉෂ්ට කරන්න ඉඩ තිබ්බා. එහෙම නැත්නම් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණය යටතේ ටෝනි රණසිංහයන් මේ අරවින්දගේ චරිතය කළා නම් ඔහුත් ඉතාම කැපීපෙනෙන සහ මටත් වඩාත් ශ්‍රේෂ්ඨ රංගනයක් කිරීමේ ඉඩ ප්‍රස්ථාවක් තියෙන්නට තිබුණා. එහෙම නැතුව විරාගයේ අරවින්ද කරන්න පුළුවන් මට පමණයි කියලා මම කියන්නේ නැහැ. නමුත් මට මේක උරුම වෙලා තිබුණ දෙයක්.

ඉන්දියාවේ චිකානන්ද දාස්ගුප්ත කියන (අපර්ණා සෙන්ගේ පියා) මහා සිනමාවේදියා සහ විචාරකයා වගේම ජපානයේ නගිෂා ඔෂිමා කියන දැවැන්ත සිනමා නිර්මාණකරු හවායි චිත්‍රපට උළෙලේ දී මට දැඩි ලෙස පැසසුම් කළා. මම ඒ දේවල් මෙතෙක් කාටවත් කියලා නැහැ. ඒ එක්කම ඩොනල්ඩ් රිචී කියන ඇමෙරිකානු විචාරකයා මට කොළයක සටහන් කරලා දුන්නා “කෙනෙක් තමන්ගේ බාහිර ස්වරූපය චරිතයක් සඳහා මෙලෙස අවගැන්වීම පිළිබඳව ඔබ කදිම උදාහරණයක්. ඔබට මගේ සුබ පැතුම් කියලා.“ මම ඒ ලිපිවත් එකතු කරලා නැහැ ඔය “හදවිල මත පිපි අරවින්දය” කෘතියට.

විරාගයේ රූ ගැන්වෙන කාලයට වඩා අද වෙද්දී අරවින්ද කියන චරිතය ඔබම කියවා ගන්නේ කොහොමද?

ඇත්තෙන්ම පහු කාලය වෙද්දී ලංකාවේ විවිධ ස්ථානවල මේ චිත්‍රපටය පෙන්වන තැන් වල දේශනා පවත්වන්න මටත් ආරාධනා තිබුණා. එතැනදී නරඹන්නන් එක්ක මම චිත්‍රපටය බලලා ඒ දේශන කරන්න යද්දී මට උපයෝගී වුණා චිත්‍රපටය කරන කාලේ මම සටහන් තබපු දේවල් සහ මම එදා හිතපු දේවල්. ඊට පසුව කොරෝනා කාලය එක්ක අපි හැමෝම නිවසට සීමා වීමත් එක්ක මට හිතුණා මේ දේ මම කොහේ හෝ සටහන් කළ යුතුයි නේද කියලා. අන්න ඒ සටහන තමයි මේ වෙද්දී “හදවිල මත පිපි අරවින්දය“ කෘතිය විදියට පත්වෙලා තියෙන්නේ. 

*මේ තුළ තියෙන්නේ ඔබ විරාගයේ අරවින්දට කළ කැපකිරීම පමණ ද?

ඔව්. විරාගයේ අරවින්ද ගැන පමණයි. නමුත් මේ කෘතිය හරහා මම උත්සාහ කරන්නේ විරාගයේ අරවින්ද ලෙස රඟපාන්න අවශ්‍ය වටපිටාව සකසා ගන්න කළ දුෂ්කර ක්‍රියාව ඔසවා තබන්න නෙවෙයි. වෙන ඕනේ කෙනකුට ඕනේ දෙයක් කියන්න පුළුවන්. නමුත් මම හදන්නේ මම යම්කිසි ආකාරයක සැලැස්මකට අනුව, පිළිවෙළකට අනුව මේ චරිතයට හානියක් නොවීම පිණිස යම් කිසි ආකාරයක අධ්‍යයනයක යෙදෙමින් සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කිරීම. ඒක කොයිතරම් දුරට ප්‍රතිපල සහිත ද කියන එක ඕනෙම කෙනකුට අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් මම මගේ හෘද සාක්ෂියට එකඟව මම දන්නවා කොයි තරම් ලෑස්ති වීමක් මම ඒ වෙනුවෙන් වුණාද? කියලා. ඒ නිසා වර්තමානයේ කෙනෙක්ට ත් මෙවන් චරිතයක් ලැබුණොත් මේ කෘතිය හරහා යම් ආකාරයක අල්පෙනෙති තුඩක හෝ පිටිවහලක් වෙනවා නම් ගොඩක්ම සතුටු වෙන කෙනා මම. ඒ නිසා මම මේ කෘතියෙහි යම් යම් දර්ශන ගැන පැහැදිලි කරලා තියෙනවා. ඇතැම් දර්ශන අපි රූගත කළත් චිත්‍රපටයේ තිබුණේ නැහැ. ඒවා කපා හැරලා තිබුණා. ඒ ගැන නම් දුකයි. හැබැයි ඒ දේවල් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. පසුකාලීනව මමත් මේ චිත්‍රපටය නරඹද්දී එදාට වඩා සංවේදී වුණා. එහෙම වෙන්නේ අරවින්ද වගේ හිතන පතන මනුස්සයෙක් මේ වගේ සමාජයක ජීවත් වුණේ කොහොමද කියන එකත් එක්ක.

විරාගයේ අරවින්ද සහ සැබෑ ජිවිතේ සනත් කියන්නේ බොහෝ දුරට අදහස් වලින් සමානයි ද?

චිත්‍රපටයේ යම් යම් අවස්ථාවන් වලදී 60%ක් විතර මේ චරිතය හිතන විදියට හිතීම සාධාරණයි කියලා මටම හිතුණ අවස්ථාවන් තියෙනවා. මට වඩා හොඳ කෙනෙක් ගාවට සරෝජනීට යන්න තිබ්බ අවස්ථාවන්වලදී මම ඇයට යන්න දුන්නා. අද වෙනකම් ඔබත් දන්නා මාත් දන්නා මගේ යම් යම් සම්බන්ධතා තිබුණත්. ඒ කිසිම කෙනෙක් ගැන මගෙන් කිසි දෙයක් අහගන්න බැහැ. මම හැමදාම කියන්නේ තුන්වෙනි පාර්ශ්වයක් සම්බන්ධ නිසා ඒ දේවල් හෙළි කරන්නේ නැහැ කියන එක. අරවින්දත් එහෙමයි. එයත් කිසි වෙලාවක කියන්න ගියේ නැහැ. මගේ පුද්ගලික ජීවිතේ යම් යම් සිද්ධීන් නිසා අරවින්ද කියන්නේ මේ මමම නේද කියලත් හිතිලා තියෙනවා. අරවින්ද කුපිත වුණු තරහා ගිය අවස්ථා තියෙනවා. ඒ දේවල් මටත් අදාළයි. මම අසාධාරණ අයුක්තිය වෙනුවෙන් කටවහන් ඉන්න කෙනෙක් නෙවෙයි. මම බොහොම නිර්භයව පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්. ඒ වගේම මා තුළ තියෙන කරුණාවන්තභාවය සහ තව කෙනෙක්ට උදවු කිරීමට තියෙන කැමැත්ත කවදාවත් නැති කර ගන්නේ නැහැ. මම ඇඟ අඩුකර ගැනීමේ මුල වෙන්නේ රෑට පැපොල් විතරක් ආහාරයට ගැනීම. ඒක අදටත් පුරුද්දක් විදියට සැහැල්ලු ආහාරයක් ගන්නවා. එහෙමයි කියලා මම අරවින්ද තුළම හිටියේ නැහැ. ඊට පස්සේ බොහෝ විවිධ චරිත කළා.

බතී - “අපි ආවේ මහත්තයාව අපේ අහ එක්ක යන්න. කවුරුවත් ඕනෑ නැහැ. මේ අත් දෙකේ හයිය තියනකං මම මහත්තයව බලා ගන්නම්”

අරවින්ද - “බතී කරදරයක් වෙන්නේ මොකටද? මං වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ. ඒ ටිකත් මෙහෙම ගෙවිල ගියාවේ”

බතී - “මහත්තයව බලා ගන්න එක මට කරදරයක් නෙවි මහත්තයෝ සතුටක්. මහත්තයා මට කරල තියෙන උදවු උපකාර ජාති ජාතිවත් ගෙවල ඉවර කරන්න බැහැ.”

ජීවිතේ බැඳීම් ඇතිවීම් නැතිවීම් එක්ක ආ ගමන්මඟේ අද ආපස්සට හැරිලා බලද්දී ජීවිතේ ගැන පසුතැවෙනවද?

ජීවිතේ සමහර අවස්ථාවන් වලදී මට ලැබිය යුතු දේවල් නොලැබී යනවා. ඒ ජීවිතේ බෙදා හදා ගන්න දේවල් වෙන්නත් පුළුවන්. නමුත් ඒ දේවල් මට හිමි නැහැ කියලා මම හිතනවා. ඒ එක්කම සමහර දේවල් මගෙන් උදුරා ගත් අවස්ථාවන් තියෙනවා. සම්මාන වගේ දේවල්. මට ඒ දේවල් දැනෙනවා. හිත් වේදනාවන් ඇතිවෙනවා. හැබැයි මම කුපිත වෙන්න ගියේ නැහැ. තරුණ කාලයේ යම් යම් ප්‍රකාශ කරලත් තියෙනවා. ඒ වගේම මාව ලේසියෙන් යමකට නම්මාගන්නත් බැහැ. ජීවිතේ මට වැරදුණු තැන් තියෙනවා. මම වැරැදි කරලත් තියෙනවා. ඒවා මම පහුකාලීනව මම හදා ගත්තා. ඒ හදා ගැනීම්වලදී අරවින්ද හිතපු විදිය ගැන හිතලා ඒ දේවල් උත්තේජනය කර ගත්තා. ජීවිතේ පිළිබඳ පසුතැවිලි නොවෙනවාම නෙවෙයි. මම විරාගය කරන්නේ 1985. ඒ මීට අවුරුදු 38කට කලින්. ඒ පරිසරයට වඩා අද වෙනස් පරිසරයක් තියෙන්නේ. එදා කොසොල් රජ්ජුරුවෝ දැක්ක හීන 16 අද අපි සැබෑවටම දකිනවනේ. ඒ පසුතැවිල්ල මට තියෙනවා. මාත් ඒ හීන යම් ප්‍රමාණයකින් නවත්තන්න ගිහින් දේශපාලනයෙන් පවා ඇත් වුණු කෙනෙක්. සිස්ටම් චේන්ජ් එකක් අදත් ඉල්ලනවා. මොකක් ද ඒ කියලා හරියටම කියන්න කවුරුත් දන්නේ නැහැ. ඒ කලකිරීම තුළ අපේ සිනමාව කලාව කඩා වැටිලා තියෙන තැන් ගැනත් කලකිරීමක් තියෙනවා.

කෘතියට මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර ගැන තෘප්තිමත් ද?

සැබවින්ම. මේ කාලයේ තියෙන ආර්ථික අර්බුදය නිසා පොත ජනගත කිරීම සිදු වුණේ ඉතා කෙටි පිළිසඳරකින්. එහෙම නැතුව මේ සම්බන්ධ දැවැන්ත කතිකාවතක් ඇති විය යුතුයි කියන ලාභ පටු අරමුණක් ඇතිව නෙවෙයි කෘතිය පළ කළේ. නමුත් මට සතුට ට තියෙන්නේ එදා පොත එළිදැක්වුණු දා පටන් අපි මේ කතා කරන මොහොත දක්වා එන දුරකතන ඇමතුම් ප්‍රමාණය එක දෙයක් සහතික කරනවා. ඒ තමයි සනත් ගුණතිලක පැත්තකින් තිබ්බත් අදටත් මාර්ටින් වික්‍රමසිංහ මහතා, තිස්ස අබේසේකර මහතා වැනි ශ්‍රේෂ්ඨයින් පාඨකයින් ප්‍රේක්ෂකයින් තවමත් අමතක කරලා නැහැ කියන එක.

ඒ ගුණය එන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන්. ඔවුන් තුළ තිබ්බා වූ තවත් කෙනකුගේ කඳුළක් එක්ක දුක් වෙනවා වගේම තවත් කෙනෙක්ගේ සිනහවක් එක්කත් කිසිම ඊර්ෂියාවකින් තොරව එකතු වෙන්න පුළුවන් මානුෂිය ගුණධර්ම අදටත් තියෙනවා. ඒ දේවල් මේ වගේ අවස්ථාවක අවදි වෙනවා. ඒ නිසා තමයි මේ “ හදවිල මත පිපි අරවින්දය” කෘතිය මේ විදියට ආදරෙන් භාර ගෙන තියෙන්නේ.

Comments