
- මගේ කන්කරච්චලය අහන් ඉන්න එකම ඇයගේ හොඳ ගුණාංගයක්
- මගේ අනාගත බලාපොරොත්තුව සිනමා අධ්‍යක්ෂකවරයෙකු වීමයි
- අපි තමයි අපිව දන්නේ ගීතය මමයි මාධවීයි බිහි කළ පළමු දරුවා
ඔහු අපූරු ලියන්නෙක්. හිතේ උතුරන හැඟීම්වළට ලාලිත්‍ය එක්කර ගී පද මවන්නෙක්. පුංචි පුංචි ආලවට්ටම් කතා එක්කොට සොඳුරු කතා ලියන්නෙක්. චිත්‍රපට මවන්නෙක් වගේම චිත්‍රපට කරන්නෙක්. ඔහු කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.
මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ කොහොමද?
ගොඩක් ආදරෙන් ජීවිතය ගලාගෙන යනවා.
කලා කටයුතුවළ විස්තර කිව්වොත්...
ඉදිරියට මියුසික් වීඩියෝ කිහිපයක් එන්න තියෙනවා. ඒ වගේම මගේ අධ්‍යක්ෂණයෙන් යුත් ටෙලි නිර්මාණයක් මේ වසරේ එළි දකිනවා. මීට අමතරව මම අධ්‍යක්ෂණය කරන දිගු සිනමාපටයක පූර්ව නිෂ්පාදන කටයුතු මේ දිනවල කරගෙන යනවා.
කොලිවුඩ් හා හෙළවුඩ් සිනමා නිර්මාණයක් වූ Second Show චිත්‍රපටිය ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූවා යැයි කීවොත්...
ඔව්, එය ඉන්දියානු චිත්‍රපටයක්. ඉන්දියානු නිෂ්පාදකවරු ලාංකීය ගීත රචකයා ලෙස එහිදී මාව තෝරාගත්තා. ඔවුන් මගේ මහන්සියට අවශ්‍ය වටිනාකම ලබා දුන්නා. චිත්‍රපටයේ ගීත තුනම රචනා කළේ මමයි. ඒ ගීත කසුන් කල්හාර, උරේෂා රවිහාරි, කුෂාණි සඳරේඛා ගායනා කළා. දකුණු ඉන්දියාවේ චිත්‍රපටිවලට කර්මාන්තයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා අපට විදේශීය සංස්කෘතිය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න අවබෝධයක් එයින් ලැබුණා. ඒ වගේම ශ්‍රී ලංකාව ඒ තුළ ස්ථානගත කරන්නේ කොහොමද කියල දැනුමත් එමඟින් ලැබුණා. ලංකාව තුළ රචකයෙකු වූ මට ලෝකය තුළ රචකයෙක් වීමට එයින් අවස්ථාව ලැබුණා. සිංහල හා දෙමළ භාෂාව යන ද්විත්වයෙන් එය ලංකාවේ පසුගිය වසරේ තිරගත වුණා.
ඔබ කලා ක්ෂේත්‍රයේ විවිධ අංශයන් ස්පර්ශ කරන්නෙක්. එකී සෑම අංශයකින්ම ඔබ කුමන හෝ මාර්ගයකට ඉණිමං බඳිනවා යැයි අපට හැඟෙනවා. ඒ ගැන කිව්වොත්?
මගේ අනාගත බලාපොරොත්තුව සිනමා අධ්‍යක්ෂකවරයෙකු වීමයි. මම දැනටමත් චිත්‍රපටි කීපයක් නිර්මාණය කර තිබෙනවා. ඒවා විදේශ රටවල සම්මාන උළෙලවල් සඳහා පවා තේරී පත්වී තිබෙනවා. මගේ එකම බලාපොරොත්තුව දිගු සිනමා අධ්‍යක්ෂකවරයෙකු වීමයි. එය මේ වසරේ සාක්ෂාත් කර කරගැනීමට හැකි වේ යැයි මම විශ්වාස කරනවා.
මෙවැනි අර්බුදකාරී සමයෙක සිනමා කර්මාන්තයේ නවක අධ්‍යක්ෂවරයෙකුට ස්ථානයක් ගොඩනඟා ගත හැකි යැයි ඔබ විශ්වාස කරනවද?
නවක අධ්‍යක්ෂකවරුන්ට වගේම නවක රංගන ශිල්පීන්ටත් ඉදිරියට එන්න ලේසි පාරවල් නැහැ. එය අපේ රටට පොදු වූ අර්බුද තත්ත්වයක් නෙමෙයි. මම මෙය එක රැයින් හැබෑ කරගත් හීනයක් නෙමෙයි. ඒ තුළ මගේ දහඩිය, කඳුළු, සුසුම්, ඉවසීම වගේම විඳවීම් බොහොමයක් අන්තර්ගතයි. එකී විඳවීම් පසු කාෙලක වඳීම් බවට පරිවර්තනය වෙනවා යැයි මම විශ්වාස කරනවා. මම කලාව තුළ තනියෙන් ගොඩනැගුණු මනුස්සයෙක්. මම පරම්පරාවක් නියෝජනය කරන්නේ නැහැ. එසේ තනියෙන් කලාව තුළ ගොඩනැගුණු මනුස්සයෙක්ට කර්මාන්තයක් නොමැති රටක කලාව බොහොම අමාරුයි. නමුත් මම එය තදින් අල්ලන් හිටියා. මගේ අධ්‍යාපනය හා සියලු වෘත්තීන් අතහැරලා කලාව තුළ මම එල්ලී ගෙන සිටින්නේ එයින් මා ගොඩනැඟුණු නිසයි. මෙය එක රැයින් සිදුවූ සිහින සැබෑ වීමක් නොවන නිසා එය මට ගොඩක් වටිනවා.
මේ දවස්වල ආදරෙන් හිත පිරිල නේද ඉන්නේ...
ඔව්, පැහැදිලිවම.
ඔබ දෙපළ මුණගැහෙන්නේ....?
මාධවීව මට මුණ ගැසෙන්නේ සංසාරයේදීයි. ඇත්තටම ඇය සංසාරයක් පුරාවට මාව පතාගෙන ආ කෙනෙක්. ඒ ගීතය තුළ මට මුණගැසෙන්නේ මාධවී කියන නිළියව හා ගායන ශිල්පිනියවයි. මාධවී කියන ගැහැනියව මට මුණ ගැසෙන්නේ බොහෝ කාලයකට පෙරයි.
නිර්මාණකරුවෙක් නිර්මාණයක් කරන්නේ සත්‍යය, කල්පිතය අතර නිසා “අප තමයි අපව දන්නේ“ ගීතය තුළ අන්තර්ගත වෙන්නෙත් ඔබේ කතාව ද කියලත් හිතෙනවා...
නැහැ කියලා කියන්නත් බැහැ. මගේ සියලු නිර්මාණ තුළ මාව නියෝජනය වෙනවා. ඒ තුළ මගේ දර්ශනය, මගේ හැඟීම, මා පිළිගන්නා ආදරය අන්තර්ගතයි. මගේ සියලු නිර්මාණ මගේ දරුවො කියා මට හැඟෙනවා. “අපි තමයි අපිව දන්නේ” කියන ගීතය මායි මාධවීයි බිහි කළ පළමු දරුවා.
ඔබ මාධවීගේ දකින හොඳ ගතිගුණ මොනවාද?
මාධවී කියන්නේ හොඳ මවුවත් පෙම්වතියක්. ඇය මට හරියට අම්මා කෙනෙක් වගෙයි. ඇය හරිම කරුණාවන්තයි . ඒවගේම හරිම සංවේදීයි. ඇයගේ හැඟීම් හා වචන තුළ බොරුව අන්තර්ගත නැහැ. මං බොරුවට අකමැති කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් ඇය මගේ අම්මා වගේ කෙනෙක්.
මාධවී රසට ආහාර පිසින බව බොහොම ප්‍රසිද්ධයි. ඇය හදන ඔබ කැමැතිම කෑම මොකක්ද?
මාධවී හදන කෑමවලින් මම කන්න ආසම කිරිබත් කන්නයි. අපේ සම්බන්ධය ගොඩ නැඟීම තුළත් කිරිබත් හා බැඳුණු කතාවක් තිබෙනවා. මගේ ආහාර වට්ටෝරුව ගොඩක් වෙනස්. මම කෑම කන්නේ ගොඩක් තෝරා බේරාගෙනයි. මාධවී හදන කෑම වලට මම බොහොම ප්‍රියයි. ඇය ගොඩක් රහට කෑම හදනවා. ඒ වගේම මේ පැත්තෙන් බඩගින්නක් ආවොත් අනිත් පැත්තෙන් ඇය කෑම හදල ඉවරයි. ඒ තරම් ඉක්මනට වගේම රසට ඇය කෑම හදනවා.
කලා කටයුතුවලට මාධවීගෙන් ලැබෙන සහයෝගය කෙබඳු ද?
මගේ කලා කටයුතුවලට ඇයගෙන් සුවිශේෂී සහයෝගයක් ලැබෙනවා. ඕනෑම නිර්මාණයක් ඇයත් සමඟ බෙදා හදාගන්න මට හැකියාව තිබෙනවා. බොහොමයක් දෙනාට කලාව තේරෙන්නෙ නැහැ. නමුත් ඇයට කලාව වගේම කලාව තුළ මගේ භූමිකාව පිළිබඳ පුළුල් අවබෝධයක් තිබෙනවා. මම ලියන්නෙක්. ඒ වගේම වෘත්තිමය සිතන්නෙක්. ඒනිසා මගේ මානසික නිදහස පිළිබඳව ඇය වැඩි අවධානයක් යොමු කරනවා. ඇය මගේ ඔළුව කන්නේ නැහැ. එයත් මගේ නිර්මාණකරණයට පිටුවහලක්. මගේ හිතට නිර්මාණයක් ගැන යම් වස්තු බීජයක් පැනනැඟුණහොත් මම ඇය සමඟ එය බෙදා ගන්නවා. ඇය එයට හොඳින් සවන් දෙනවා වගේම එය වැඩිදියුණු කරනවා. මගේ කන්කරච්චලය අහන් ඉන්න එකම ඇයගේ හොඳ ගුණාංගයක්.