නව වෘත්තිකයන් පුහුණු කිරීමට එයිට්කන් ස්පෙන්ස් දැවැන්ත ආයෝජනයක | Page 2 | සිළුමිණ

නව වෘත්තිකයන් පුහුණු කිරීමට එයිට්කන් ස්පෙන්ස් දැවැන්ත ආයෝජනයක

මෙරට සංචාරක සහ සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහය සහ TUI Care පදනම සමඟ එක්ව පවත් වන එයිට්කන් ස්පෙන්ස් හෝටල් කළමනාකරණ ආයතනයේ 2023 වසර සඳහා බඳවා ගත් පළමු සිසුන් කණ්ඩායමේ පාඨමාලා පසුගියදා ආරම්භ කෙරිණි.

අවන්හල් සහ බීමහල් සේවාව (Restaurant & Bar Service) පිළිබඳ මෙම පාඨමාලාවට අයැදුම්කරුවන් 200ක් අතරින් තෝරා ගත් සිසුන් 50 දෙනකු ඇතුළත් වන අතර, පුහුණුව ලත් දේශක මඬුල්ලක් හා හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයන් විසින් සිසුන්ට න්‍යායික දැනුම ලබා දෙයි.

ඔවුන්ට ප්‍රායෝගික පුහුණුව ලබා දෙන්නේ දිවයින පුරා සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානවල පිහිටා ඇති එයිට්කන් ස්පෙන්ස් සමූහයේ හෝටල් වෙතිනි.

පාඨමාලා පිළිබඳ අදහස් දක්වමින් එයිට්කන් ස්පෙන්ස් සමූහයේ අධ්‍යක්ෂිකා, සංචාරක සහ විශ්‍රාන්ති අංශ ප්‍රධානී, එයිට්කන් ස්පෙන්ස් හොටෙල් මැනේජ්මන්ට් සමාගමේ සභාපතිනී ස්ටැශානී ජයවර්ධන පැවසුවේ, දේශීය හෝටල් ක්ෂේත්‍රයට පුහුණු වෘත්තිකයන් එක් වීමේ අඩුවක් දක්නට ලැබෙන බැවින් තරුණ වෘත්තිකයන්ට අධ්‍යාපනය හා පුහුණුව ලබා දී ඔවුන් ක්ෂේත්‍රයට එක් කර ගැනීම ඉතාම වැදගත් බව ය. මෙම පාඨමාලාව තුළින් හෝටල් ක්ෂේත්‍රයට එක් වීමට කැමති සහ ඊට දක්ෂතා දක්වන, එහෙත් අධ්‍යාපනය හා පුහුණුව සඳහා අවශ්‍ය මූල්‍ය හැකියාව නොමැති තරුණ තරුණියන් හට අගනා අවස්ථාවක් උදා වී ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෑතකදී ඇතුළත් කරගත් ශිෂ්‍ය කණ්ඩායම මේ ආකාරයෙන් අවන්හල් සහ බීමහල් සේවාව පාඨමාලාව සඳහා බඳවාගත් 5 වැනි ශිෂ්‍ය කණ්ඩායමයි.

එයිට්කන් ස්පෙන්ස් හෝටල් කළමනාකරණ ආයතනය විසින් පවත්වන මෙම පාඨමාලාව ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනයේ විෂය නිර්දේශය අනුව සකස් කර ඇති අතර, ආයතනය කළමනාකරණය කිරීම TUI Care පදනම සහ Sustainable Hospitality Alliance ආයතන සමඟ සහයෝගීතාවෙන් සිදු කෙරේ. එයිට්කන් ස්පෙන්ස් හෝටල් කළමනාකරණ ආයතනය සහ මෙම සංවිධාන දෙක අතර සහයෝගීතාව හරහා 2019 වසරේ සිට මේ දක්වා පුහුණු වෘත්තිකයන් 750 කට අධික සංඛ්‍යාවක් හෝටල් ක්ෂේත්‍රයට බිහි කර ඇත.

Comments