
මෙවර 26 වැනි වරටත් පැවති 2020 සහ 2021 සුමති ටෙලි සම්මාන උලෙළ අති උත්කර්ෂවත් අන්දමින් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිඳී පසුගිය 9 වැනිදා පස්වරුවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කොරියා තානාපති සන්තුෂ් වුන් ජින් ජියොන්ග්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උලෙළ සඳහා එහි නිර්මාතෘ තිලංග සුමතිපාලයන් ඇතුළු කලාකරුවෝ රැසක් සහභාගි වූහ.
2020 සහ 2021 වසරවල දී මෙම සම්මාන උත්සවය නොපැවැත්වුණ අතර එම වසර දෙකම අලළා ශිල්පීන් ඇගැයීම මෙම සම්මාන උලෙළේදී සිදු විය. ක්ෂේත්‍රයේ තරු පිරිවරාගෙන පැවැති මෙම සම්මාන උලෙළේදී ඇගයීම් ලද්දන් බොහෝ පිරිසක් වූ අතර ස්වාධීන රූපවාහිනී සේවය සඳහා වසර දෙක උදෙසා සම්මාන 33ක් හිමිවීම ද විශේෂත්වයකි.
මෙවර ජනප්‍රිය නිළිය ලෙස පාර දිගේ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් දුෂේණි මියුරංගි ද ජනප්‍රියම නළුවා ලෙසින් එම නාට්‍යයේම උද්දික ප්‍රේමරත්න ද සම්මානයෙන් පිදුම් ලැබීය.
2020 වසරේ හොඳම නිළිය ලෙස උදාරි වර්ණකුලසූරිය සහ 2021 වසරේ හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්න සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2021 වසරේ හොඳම නළුවා ලෙස තුසිත් ලක්නාත් සහ 2020 වසරේ හොඳම නළුවා ලෙස දසුන් පතිරණ සම්මාන ලැබීය.
2021 හොඳම ටෙලි නාට්‍යය ලෙස ‘සකර්ම‘ සම්මානයට පාත්‍ර වූ අතර 2020 වසරේ හොඳම ටෙලි නාට්‍ය ලෙස ‘තණමල්විල කොල්ලෙක්‘ නාට්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
2021 වසරේ හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහනට හිමි සම්මානය හිමිකර ගත්තේ ස්වාධීන රූපවාහිනී සේවයේ මංජුල අතුලය. ඒ නැසීගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා පිළිබඳ සැකසූ ‘ජනමාධ්‍ය පොකුරේ සුපිපි සියපත‘ වැඩසටහන වෙනුවෙනි. 2021 වසරේ හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන ලෙස සම්මානය හිමිවුයේ චන්දිමා ප්‍රේමරත්න නිෂ්පාදනය කළ කලා මංජරි වැඩසටහනටය.
2020 වසරේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍ය වෙනුවෙන් සම්මානය හිමිකර ගත්තේ එහි අධ්‍යක්ෂ රොෂාන් රවීන්ද්‍රය. 2021 වසරේ හොඳම ටෙලි නාට්‍ය ලෙස සම්මාන ලැබුවේ සකර්ම නාට්‍යයි. 2020 සහ 2021 වසරවල විශිෂ්ටතම ටෙලි නාට්‍ය විකාශය කිරීම උදෙසා ස්වාධීන රූපවාහිනි සේවයට සම්මානය හිමි විය.
2020 වසරේ හොඳම ටෙලි නාට්‍ය ගීත ගායනය ලෙස සම්මාන හිමි වූයේ පුළිඟු ටෙලි නාට්‍යයේ සඳුන් සුවඳ පතුරන්නම් ගීතය ගායනා කළ ශෂිකා නිසංසලා හා දුමාල් වර්ණකුලසූරියයි. 2021 වසරේ හොඳම ගායනය වෙනුවෙන් සම්මාන හිමිකර ගත්තේ මහපොළොව හාන්දුරුවනේ ගීතය ගායනා කළ තුසිත සිම්සන් හා සචිනි නිසංසලාය.
මෙවර සම්මාන උලෙළේදී ජීවිතේ එක් වරක් පමණක් පිදෙන යූ. ඩබ්ලිව් සුමතිපාල අනුස්මරණ සම්මානය හිමි වූයේ සම්මානනීය රංගන ශිල්පී සනත් ගුණතිලක හා ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරාටය.
2020 වසරේ හොඳම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක පළමු ස්ථානයට හිමි සම්මානය දිනාගත්තේ අද දෙරණ ප්‍රවෘත්ති නිවේදක කළිඳු කරුණාරත්නය. 2020 වසරේ හොඳම රූපවාහිනි ගවේෂණශීලී වාර්තාකරණය ප්‍රථම ස්ථානයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ PCR පරීක්ෂණවල අවශ්‍යතාවය යන වැඩසටහන නිෂ්පාදනය කළ නයෝමි ප්‍රනාන්දුය. එමෙන්ම 2021 හොඳම රූපවාහිනි ගවේෂණශීලී වාර්තාකරණයට හිමි දෙවෙනි ස්ථානය දිනාගැනීමට අවන්ති දේවි ළමා නිවාසයේ ලිංගික හිරිහැර පිළිබඳව අනාවරණය කළ උකුස්සා විශේෂාංගය වෙනුවෙන් දිනේද්‍ර රන්සිරි හිමිකර ගත් අතර 2020 වසරේ හොඳම පූරක සම්මානය දෙරණ රූපවාහිනියේ විකාශය වූ “අම්මාවරුනේ“ වැඩසටහන වෙනුවෙන් වසන්ති නානායක්කාරට හිමිවිය.
මෙයට අමතරව තවත් සම්මාන රැසක් විවිධ වැඩසටහන් සඳහා හිමි විය.
සම්මාන උලෙළේ විවිධ අවස්ථා කිහිපයකි මේ.
සටහන - වජිර ලියනගේ
සේයාරූ නිශ්ශංක විජේරත්න සුදත් මලවීර