සංසාරගත බැඳීමක් නිසා වෙන්න ඇති අපි ආයෙම හමුවුණේ | Page 2 | සිළුමිණ

සංසාරගත බැඳීමක් නිසා වෙන්න ඇති අපි ආයෙම හමුවුණේ

 

දරුවන් පියවරෙන් පියවර ලොකු මහත්වෙද්දි අම්ම කෙනෙකුට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්. ඒ ගෙවුණු කාලය විනාඩියකට දෙකකට රූප රාමු පෙළකට ලඝුකර දෙන්න පුළුවන් නම් ඒක ඒ මවට කොතරම් නම් වටිනා තෑග්ගක් ද? අද අපේ කතාබහත් එවන් උත්සාහයක් ගත් පුතෙක් ගැනයි. ඔහු තරිඳු පෙරේරායි. ඒ ඔහු මවට දුන් වටිනාම උපන්දින තෑග්ගයි. ඒ අපූරු තෑග්ග පසුගිය කාලයේ බොහෝ ජනප්‍රියත්වයට පත්වූ ‘අම්මා‘ මියුසික් වීඩියෝවයි.

 

තරිඳු අලුත් සින්දුවක් එළිදක්වනවා කියලා ආරංචියි. කවදද මේ කටයුත්ත සිද්ද වෙන්නේ?

මගේ අලුත්ම සින්දුවේ ඕඩියෝ වැඩ ටික අවසන්. වීඩියෝ එකේ පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒක ඉවර වුණ ගමන් මේ මාසේ අන්තිමට ප්‍රේක්ෂකයන් අතරට දෙන්න තමයි බලාපොරොත්තුව.

මේ ගීතයත් ඔබේ අම්මා ගීතය වගේම ජනප්‍රිය වේවි කියලා හිතනවාද?

මේක දැන් රැල්ලට ගැළපෙන විදිහට හදපු එකක්. පද රචනය අනෝෂ් ප්‍රනාන්දුගේ. සංගීතවත් කළේ අම්මා ගීතය කළ අශාන් ප්‍රනාන්දුමයි. මං හිතනවා මේකත් කාලයට ගැළපෙන නිසා හිට් වෙයි කියලා. තව ගීත දෙකක් ඉදිරියේ දී එළිදැක්වීමේ සූදානමක් තියෙනවා.

 

තරිඳුගේ අම්මා ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒක ඔබේ ජීවිතය ගැන ලියවුණු කතන්දරයක්. ඇයි ඒ වගේ එකක් කරන්න හිතුණේ?

ඇත්තම කිව්වොත් ඒක මගේ අදහසක් නොවෙයි. මගේ බිරිය අංජලීගේ වැඩක්. එයාට ඕනවෙලා තියෙනවා මගේ අම්මගේ උපන්දිනේට අමතක නොවන තැග්ගක් දෙන්න. ඒක මටත් හොරෙන් ප්ලෑන් කරපු වැඩක්. ඒත් ඉතින් ගායකයා නැතුව ගීතයක් සම්පූර්ණ වෙන්නෙ නෑනේ. ඒක රචනා කළේ ජනප්‍රිය ගීත රචක ශෙහාන් ගලහිටියාව. සංගීතවත් කළේ අශාන් ප්‍රනාන්දු. දක්ෂ ටෙලි හා චිත්‍රපට අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද තමයි වීඩියෝ එක කළේ. අංජලී ඒක ටෙලි නාට්‍යයක් කරනවා වගේ ප්ලෑන් කරලා තිබුණා. අවසන් කොටසේ මගේ අම්මත් ඉන්නවා. මගේ අම්මගේ තරුණ අවධිය නිරූපණය කළේ අංජලී. ඇත්තටම අපේ අම්මගේ තරුණ විය අංජලී වගේමයි. මේකෙ තවත් විශේෂත්වයක් තියෙනවා. ශෙහාන් ගලහිටියාව ගීත රචනා කළාට කවදාවත් රඟපාලා තිබුණේ නෑ. මේකේ ප්‍රින්සිපල් විදිහට ඔහුගේ රංගන දායකත්වයත් ලබා දුන්නා. අන්තිමට ඒක හරි ලස්සන වැඩක් වුණා.

 

තරිඳුගෙ කලා ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කළොත්?

මගේ ගම රත්මලාන. අපේ අයියලාට ස්ටාර් ෆ්ලවර්ස් කියලා බෑන්ඩ් එකක් තිබුණා. ඒකේ ඩ්‍රම්ස් වාදකයා විදිහට මාව ගත්තා. ඔය අතරේ වෝල්ටර් ප්‍රනාන්දුගේ පුතා සුපුන් ප්‍රනාන්දුගේ මාර්ගයෙන් සමන් ද සිල්වාගේ සියැක් බෑන්ඩ් එකට සම්බන්ධ වුණා. පස්සේ සමන් ඇන්ඩ් ද ක්ලෑන් සංගීත කණ්ඩායමේ ඔක්ටපෑඩ් 

වාදකයා බවට පත්වුණා. ඔය අතරේ තමයි ඩුබායි ගිහින් ප්‍රේම් ජයසිංහගේ ‘සිටි ක්‍රික්‘ බෑන්ඩ් එකට සම්බන්ධ වුණේ. ඒකත් එක්ක යුරෝපය ඇතුළුව සංචාර රැසකට සහභාගි වුණා. 2008 දී මං ආයිත් ලංකාවට ආවා. 2010 දී නැවත විදෙස්ගත වුණා. ඒ අතරේ තමයි ‘සිටි ක්‍රික්‘ එක්ක නැවත සම්බන්ධ වුණේ. සහරාන්ගේ ප්‍රහාරයත් එක්ක බෑන්ඩ් එකේ වැඩ නතර වුණා. ඊට පස්සේ ‘සින්තාල්‘ කියලා මගේම බෑන්ඩ් එකක් පටන් ගත්තා. ඒකෙ මාත් එක්ක සාමාජිකයන් 6ක් හිටියා. ඔය අතරේ මං එස්. එල්. බී. සී. ඔකෙස්ට්‍රා එකෙත් හිටියා. ගායන, වාදන දෙපැත්තෙන්ම ෆ්‍රීලාන්ස් විදිහටත් වැඩ කරනවා. කොංගෝ බොංගෝ වගේ තාල වාද්‍ය භාණ්ඩ තමයි මේ දවස්වල මං වාදනය කරන්නේ.

 

ඔබේම නිර්මාණ ගැන සඳහන් කළොත්?

2007 දී තමයි මගේ මුල්ම ගීතය නිර්මාණය වුණේ. සඳ බලන්න බෑ කියලා. ඒක පද රචනය සන්ෆලවර්ස් සංගීත කණ්ඩායමේ නෙල්සන් වාස්ගේ. ඊට පස්සේ මේ අවන්හලේ කියලා හේමසිරි හල්පිට රචනා කළ නිරෝෂන් ප්‍රනාන්දු සංගීතවත් කළ ගීතයක් කළා. ඒ ගීතය ‘ඉතිං ඊට පස්සේ‘ කියන ටෙලි නාට්‍යයටත් ගත්තා. තරිඳු සිල්වා රචනා කළ සංසාලියේ කියන ගීතය කළේ ඊට පස්සේ. ඒකෙ සංගීතය ප්‍රගීත් පෙරේරාගේ. අපි තුන්දෙනාම එකම පාසලේ. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ. ඊටත් පස්සේ තමයි අම්මා ගීතය කළේ.

 

ඉදිරි නිර්මාණ ගැනත් සඳහන් කරමු ද ?

මගේ අලුත්ම ගීතය රිලීස් වුණාට පස්සේ තව ගිත දෙකක් එන්න තියෙනවා. ඒ දෙකත් ඉක්මනින්ම රිලීස් කරනවා. ඒ වගේම ලලිත් රෝහිතගේ චිත්‍රපට තුනක තේමා ගීත ගායනයට ආරාධනා ලැබුණා. ඒ වගේම වෙළෙඳ දැන්වීම්වල ගීත කරපු ඒවත් ඉදිරියට එන්න තියෙනවා. මේ වෙනකොට විදෙස් සංචාර කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. මේ මාසේ අන්තිමේ බංග්ලාදේශ සංචාරයට වගේම නොවැම්බර්වල යුරෝපා සංචාරයට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ.

 

 ඔබේ බිරිය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කොහොමද ඒ හමුවීම සිදුවුණේ?

අංජලී පාසල් කාලෙ ඉඳන්ම මගේ යාළුවෙක්. එයා ගියේ උසස් බාලිකාවට. මං ගියේ වේල්ස් කුමර විද්‍යාලයට. ඉස්සර පාසල ඇරෙද්දි හැමදාම යනවා ඇය බලන්න. හැලහැප්පීම් ගොඩක් සිද්ධ වෙලා කාලයක් ඒ ආදරෙන් දුරස් වෙන්න වුණා. සංසාරගත බැඳීමක් නිසා වෙන්න ඇති කාලයක් ගිහින් හරි අපි ආයෙම හමුවුණේ. එයාගේ පෙනුම, ගතිගුණ අපේ අම්මාට ගොඩක් සමානයි. ඒකම වෙන්න ඇති මගේ හිත බැඳුණේ. අංජලී මට ලොකු සහායක් දෙනවා. හරි ආදරෙන් එයා මාව බලා ගන්නවා.

 

Comments