මං වගේ කෙනෙක් ඉන්නවද කියලවත් බොහෝ දෙනෙක් දන්නෙ නැහැ | සිළුමිණ

මං වගේ කෙනෙක් ඉන්නවද කියලවත් බොහෝ දෙනෙක් දන්නෙ නැහැ

ම් නිර්මාණයක සාර්ථකත්වය එම නිර්මාණයේ දෘශ්‍යමාන රංගන ශිල්පීන්ට පමණක් අයිති නැත. එකී නිර්මාණය පසුපස දරදිය අදින බොහෝ දෙනාගේ කැපකිරීම් දක්ෂතා ද එම නිර්මාණයේ සාර්ථකත්වයට ඍජු ලෙස බලපෑම් කරයි. එසේ නිර්මාණකරණය පිටුපස සිට අංගරචනා ශිල්පිනියක ලෙස කටයුතු කරන අසංකා මනෝරි සමඟයි අද අපගේ කතාබහ...

රූපලාවණ්‍ය පිළිබඳ හැදෑරූ බොහොමයක් දෙනා රූපලාවණ්‍යාගාරවල කටයුතු කරන විට ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ ඇයි? 

මම මනාලියන් ඇන්දවීම පිළිබඳව පමණක් හැදෑරූ කෙනෙක් නෙමෙයි. මම වෘත්තිමය රූපලාවණ්‍ය ශිල්පිනියක්. එනිසා රූපලාවණ්‍යාගාරයක කටයුතු කරනවාට වඩා වැඩි යමක් මට කළ හැකි යැයි මම විශ්වාස කරනවා. ඒ නිසා මාධ්‍ය ක්ෂේත්‍රය මම තෝරා ගත්තා.

ඔබගේ නිර්මාණ තුළ ප්‍රොස්තෙටික් මේකප් අප දකිනවා. සාමාන්‍යයෙන් කාන්තාවන් ප්‍රොස්තෙටික් මේකප් කිරීමට යොමු වෙනවා අඩුයි නේද?

ඒක ඇත්ත. චිත්‍රපටයක ප්‍රොස්තෙටික් මේකප් එකක් කළ මුල්ම ගැහැනු ළමයා මමයි. සාමාන්‍යයෙන් කාන්තාවන් එකී ශිල්පීය ක්‍රමය අනුගමනය කරන්නේ නැහැ. හෝන් චිත්‍රපටයේ ටීනා නිරූපණය කරන චරිතය තුළ දී ටීනාගේ ඇඟිල්ලක් ඇයම කපාගෙන ඇයම සවි කර ගන්නා අවස්ථාවක් නිරූපණය කිරීමට තිබෙනවා. ඒ ඇඟිල්ල මම කෘත්‍රිමව නිර්මාණය කරනවා. ඒ සඳහා මගේ ගුරුවරයා ජයන්ත රණවක සර් මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.

නිර්මාණවලට දායක වීමේ දී කාන්තාවක් වීම තුළ යම් යම් අර්බුදතා පැන නැඟුණේ නැද්ද?

හෝන් චිත්‍රපටය මගේ මුල්ම චිත්‍රපට අත්දැකීමයි. එයාලා මගේ හැකියාව ගැන උපරිම විශ්වාස කළා. නමුත් නිර්මාණයකට දායක වීමේ දී “ගැහැනු කෙනෙක් කොහොමද මෙවැනි නිර්මාණ කරන්නේ? “ගැහැනු කෙනෙක් නිසා කරන්න බැරි වෙයිද දන්නෙ නැහැ.“මේ වැඩේට හරියන්නේ කොල්ලෙක්..“ වගේ කතන්දර ගොඩක් දෙනෙක් කිව්වා. එකී මතිමතාන්තර, බාධක බිඳ දමන්නට මට ලොකු මහන්සියක් දරන්නට සිදු වුණා.

තාක්ෂණය හා ශිල්පීය දක්ෂතා පිළිබඳ අවබෝධය මඳකම මත ඇතැම් අධ්‍යක්ෂකවරුන් අංගරචනා ශිල්පීන්ගෙන් වැඩක් නොගන්නවා යැයි ඇතැමුන් චෝදනා කරනවා. ඔබ සිටින්නෙත් එවන් මතයක ද?

ලංකාවේ ශිල්පීන්ට උසස් ගණයේ මේකප් එකක් දැමීමට හැකියාව තිබෙනවා කියා බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම යම් නිර්මාණයක් දැක්කත් හිතන්නෙ ඒවා ග්‍රැෆික් නිර්මාණ කියලයි.

වෘත්තිමය අංගරචනා ශිල්පියෙක්ට තම වෘත්තීය හැකියාවන් ගොඩනඟා ගන්න සුදුසු පරිසරයක් ලංකාවේ ගොඩනැඟී තිබෙනවා ද?

ඇත්තටම නැහැ. මං වගේ කෙනෙක් ඉන්නවද කියලවත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා අපේ හැකියාවන් නිර්මාණවලට යෙදවීමට සුදුසු වටපිට පරිසරයක් තවම ගොඩනැගී නැහැ.

අංගරචන ශිල්පීන්ට උසස් අධ්‍යාපනය ලැබිය හැකි වගේම වෘත්තීය වටිනාකමක් ලැබිය හැකි පුහුණු පාසල් හෝ පාඨමාලා පහසුකම් තිබෙනවාද?

ලංකාවේ වෘත්තීය පුහුණුව ලැබිය හැක්කේ ජයන්ත රණවක සර් ළඟ පමණයි. ඒ වගේම මේකප් එකක් සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය බෙහෙවින් මිල අධිකයි. ලංකාවට උචිත ලෙස ආදේශක ද්‍රව්‍ය අප භාවිත කරනවා. අපිට නියමිත අමුද්‍රව්‍ය ලබාගත හැකි නම් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නිර්මාණ කිරීමට හැකියාව තිබෙනවා.

ඔබගේ මුල්ම චිත්‍රපටය ගැන ජයන්ත රණවක සර් දැක්වූයේ මොන වගේ අදහසක් ද? 

මනෝරි මගේ හොඳම ගෝලයෙක් මේ තරම් හොඳට මේ වැඩේ කරයි කියලා මං හිතුවෙ වත් නැහැ කියලා සර් කිව්වා. ඒ ආශිර්වාදය ඇත්තටම මට ලොකු ශක්තියක්.

අංගරචන ශිල්පියෙක් ලෙස තවත් ඉදිරියට යාමට ඔබ ගන්නා ව්‍යායාම මොනවාද?

මම මේ වන විට professional makeup nvq level4, hair and beauty NVQ level සහතික පත් ලබා තිබෙනවා. මීට අමතරව ඉන්දියාවේ කාන්පූර් විශ්ව විද්‍යාලයේ bsc (cosmetology digree) එක නිම කළා. මෙසේ මම ලැබූ වෘත්තිමය දක්ෂතා මත ලංකාවේ සොම්බි ෆිල්ම් එකක අංග රචනා ශිල්පිනිය ලෙස කටයුතු කරන්න මට ලොකු කැමැත්තක් තියෙනවා.

නිර්මාණයක පිටුපස සිටින පිරිස ඇගයීමට ලක් වෙන්නේ බොහොම අඩුවෙන්. ඒ ගැන ඔබගේ අදහස මොකක්ද?

මම චිත්‍රපටයකට දායක වුණා කියලා කවුරුත් දන්නෙ නැහැ. මම පොටෝ එකක් පෙන්නලා මේ චිත්‍රපටියේ අංගරචනා ශිල්පියා ලෙස කටයුතු කළේ මං කියලා කිව්වොත් හැරුණ කොට ඒ ගැන කිසිම කෙනෙක් දැනුවත් නැහැ. මේ වගේ චිත්‍රපටයකට ගෑනු ළමයෙක් මේකප් එකක් කළා කියලා මාව ඇගයීමකට පාත්‍ර කළේ නැහැ.

බොහොමයක් රංගන ශිල්පීන් යම් යම් නිර්මාණවල හිස මුඩු කිරීම සිදු කරනවා. නමුත් ප්‍රොස්තෙටික්වලින් එය සාර්ථකව කළ හැකි නේද?

ඔව්, ඇත්තටම. රංගන ශිල්පීන් නිරපරාදයේ හිස මුඩු කිරීම ඇත්තටම ලොකු අපරාධයක්. එය ස්වාභාවිකත්වයට සමාන ලෙසම ප්‍රොස්තෙටික් වලින් කිරීමට හැකියාව තියෙනවා. දිග කෙස් කලඹක් තිබුණත් එය සාර්ථකව කළ හැකියි. අධ්‍යක්ෂවරුන්ගේ අවබෝධයක් නොමැතිකම මෙයට බලපෑම් කරනවා.

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මගේ ලොකුම ආසාව චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙලා මගේ හැකියාව උපරිමයෙන් මිනිස්සුන්ට ප්‍රදර්ශනය කිරීමයි.

විශ්මි ප්‍රනාන්දු

Comments