
- නදීක අයියාටත් සතුටක් මේ වගේ ගීතයක් මිනිසුන් ආදරෙන් රසවින්ද එකට
- ගීතයේ අරුතට කිසිසේත් හානියක් නොවුණු රූප රචනාවක් බව තමයි බොහෝ දෙනාගේ අදහස
චතුර සහන් ගුණවර්ධන ගැයූ “සිහින සරුංගල්“ ගීතය මෑතක නිර්මාණය වුණු ගීත අතරේ වෙනස් තේමාවක් ගත් ගීතයක් බව නොරහසක්. ඒ නිසාම ඒ ගීතය සහ රූප රචනාව මේ වෙද්දී නැරඹුම් වාර 125000+ ඉක්මවා තිබෙන මොහොතේ මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා. එහි සහන් කියන විදියට නම් මේ ඔහු ජිවිතයේ ආසම කරපු දේ. මතක ඇති කාලේ ඉඳලාම තිබුණු සිහිනයක් සහ ඔහුගේ ශරීරය ඇතුළේ හොඳින්ම ආරෝපණය වුණ සංගීතයට ලැබෙන ප්‍රතිචාර බවයි. ඒ නිසාම සහන් සමඟ රසඳුන කළ කතාබහයි මේ...
කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර
මේ වෙද්දී ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ අතර විවිධාකාර අදහස් තියෙනවා. ගීතයේ පද රචනාව ගැන, සංගීතය ගැන පවා මගේ කටහඬ ගැන වගේම මෙහි එන රූප රචනාව ගැන කතා කරනවා. සමාජයේ සැඟවුණු මාතෘකාවක් ගැන කතා කරපු එක ගැන මිනිස්සු ගොඩක් හොඳ ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම මේ සමාජයේම ඉන්නවනේ ඒ වගේ මිනිසුන් එකතු වෙලා හදා ගත්ත සමාජ කුලක. ඒ societyවලින් මැසේජ් කරලා තියෙනවා ඒ අය වෙනුවෙන් කතා කරපු එක ගැන ප්‍රශංසා කරලා. මේ තත්ත්වය ඇති වෙන්නේ පුද්ගලයන් තුළ තියෙන හෝමෝන ක්‍රියාකාරිත්වයක් නිසා. ඒ අය කියන්නේ නම් love is love කියලා.
සහන්ගේ ගීත අතරේ ඉතා ඉක්මනින්ම ප්‍රේක්ෂකයන් වැලඳ ගත් ගීතයද මේ?
ඇත්තටම ඔව්. මෙතෙක් නිර්මාණය කළ ගීත අතරින් දවස් හයක් තුළ යූ-ටියුබ් විව්ස් ලක්ෂයක් ඉක්මවා ගිය සින්දුව. මේ වෙද්දී නම් නැරඹුම් වාර 130000+ ඉක්මවා තිබෙනවා.
ඒ කියන්නේ මේ ඔබේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්න පුළුවන්?
ඔව්. ඒක දැනටමත් වෙලා තියෙන්නේ. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කියන්නේ මම දැන් තමයි ට්‍රැක් එකට ඇවිත් තියෙන්නේ කියලා. මේ වගේ නිර්මාණ කරන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම හඬ භාවිතය ගැනත් හොඳ පිරිමි හඬක් තියෙන වොයිස් එකක් බවත් බොහෝ තැන්වල කතා වෙලා තියෙනවා. එහෙම පිරිමි හඬක් තියෙන වොයිස් අඩුයි කියන එකත් එක්ක. ඉතින් එහෙම අහන්න ලැබෙන එක මට සතුටට කරුණක්. සුභාවිත සංගීතයේ තියෙන හිඩැස පුරවන්න මේ හඬ යොදා ගන්න කියලා ආරාධනා බොහොමයක් තියෙනවා.
සහන්ගේ හඬ පරාසයට ගැළපෙන සංගීත අධ්‍යක්ෂණය කරන්නේ නදීක ගුරුගේ, නදීක අයියා දැන් මොකද කියන්නේ
එයාටත් ඇත්තටම සතුටුයි. නදීක අයියා හිතලත් නැහැ මේක මෙච්චර දුර යයි කියලා. නදීක අයියා යූ ටියුබ් නැරඹුම් වාර ලක්ෂය ඉක්මවා ගිය දවසේ කතා කළා. නදීක අයියාටත් සතුටක් මේ වගේ ගීතයක් මිනිසුන් ආදරෙන් රසවින්ද එකට. නදීක අයියා කියන්නේ ඉස්සරහටත් තව හොඳ වැඩ ටිකක් කරමු කියලා.
රූප රචනාවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගීතයේ අරුතට කිසි සේත් හානියක් නොවුණු රූප රචනාවක් බව තමයි බොහෝදෙනාගේ අදහස. එහි සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ දොන් මාධව කරුණානායකට. ඔහුටත් පෞද්ගලිකව කතා කරලා තිබුණා බුඩි කිර්තිසේන සහ ලක්මාල් ධර්මරත්න වැනි අය. ඒ අය සිනමාවේ සහ පුංචි තිරයේ ප්‍රවීණයන්. ඒ අය කතා කරලා මේ රූප රචනාව අගය කරලා තිබුණා. මේ දවස්වල ඔහු අවුරුදු දෙකකට ඔස්ට්‍රේලියාවට ගියා. මොකද ඔහුගේ රැකියාව වෙන්නේ ආහාර මෝස්තර සූපවේදියෙක් (Food stylist chef) නිසා. ඒ කොහොම වෙතත් කොහේ හිටියත් මගේ ඊළඟ නිර්මාණවලත් රූප රචනා කටයුතු කරන්නේ ඔහු.
මේ අවුරුද්දේ තව සින්දු එන්න තියෙනවද?
ඇත්තටම කරපු සින්දු වගයක් තිබ්බා. නමුත් මේ සින්දුව කළාට පස්සේ මට කට්ටිය ගීත රචනා කරලා එවන්න පටන් ගත්තා. මාව දන්නේවත් නැති මිනිස්සු මේ සින්දුව අහලා ඒ අය රචනා කරපු ගීත එවලා තියෙනවා. එතකොට සංගීත අධ්‍යක්ෂවරු මට කතා කළා. ඒ අය මා එක්ක නිර්මාණ කරන්න කැමතියි සහ ඒ අය ගාව දැනට තියෙන නිර්මාණ මට එව්වා. එහෙම ලැබුණු නිර්මාණ කිහිපයක් තෝරා ගෙන තියෙනවා. ඒ නිසා ඉස්සරහට වැඩ ටිකක් කරන්න තමයි හිතන් ඉන්නේ.
මේ වසරේදී ඔබේම සංගීත අධ්‍යක්ෂණයෙන් යුතු ගීතයක් අහන්න ලැබෙයිද?
ඔව්. ඉස්සරහට ගීත තුන හතරක් මගේ සංගීත අධ්‍යක්ෂණයෙන් එන්න තියෙනවා. ඒ එක්කම අනෙක් සංගීත අධ්‍යක්ෂකවරු නිර්මාණය කළ ගීතත් එන්න තියෙනවා. විශේෂයෙන් මගේ පුංචි රෝස මලේ ගීතය සංගීත අධ්‍යක්ෂණය කළ ඩෙනිස්ටන් පෙරේරා අතින් මගේ අලුත් ගීතයක් නිර්මාණය වෙනවා. ඒක ලිව්වේ ධම්මික බණ්ඩාර.
මේ මොහොතේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොනවද?
මම කුඩා කාලේ අහපු සංගීතය තුළ ගීතවල සාහිත්‍ය රසයක් තිබ්බා. දැන් මට මේ සින්දුව එක්ක බලද්දි සංගීතය සහ සාහිත්‍ය කියන රසය එක අද ගීතවල අඩු බව තමයි දැනුණේ. ඒ නිසා ඒ අය මගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේම ගීත මම නිර්මාණය කරයි කියලා. මමත් ඒකට ලෑස්ති වෙනවා. මමත් මින් පස්සේ ගීතයක් කරද්දී පද රචනා ගැන සංගීතය ගැන ලොකු සැලකිල්ලක් දක්වනවා. ඒ නිසා බොහොම හොඳින් තෝරා බේරාගෙන තමයි ගීත නිර්මාණය කරන්න වෙලා තියෙන්නේ. මොකද ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩ කරන්න බැරි නිසා. ඒ වගේම මේ විදියට මගේ ගීත රසවිඳලා මට ලබා දුන් ඒ අවංකම ආදරයට, ගෞරවයට, වටිනාකමට බොහෝම ස්තුතියි කියන්නත් මම මේක අවස්ථාවක් කර ගන්නවා.