බොලිවුඩයට පායන අලුත්ම තරුව | Page 2 | සිළුමිණ

බොලිවුඩයට පායන අලුත්ම තරුව

සයිෆ් අලි ඛාන්ගේ කපාපු පළුවක් වෙන ‘තරුණ සයිෆ්’ රඟපාන මේ සිනමාපටය නම් කරලා තියෙන්නේ Sarzameen කියන නමෙන්. ත්‍රාසජනක වගේම හැඟීම්බර සිදුවීම් ‘කරන් ජෝහාර් වට්ටෝරුව’ට අනුව ගාණට මුසු කරපු මේ සිනමාපටයේ අනෙක් ප්‍රධාන චරිත රඟපාන්නේ කාජල් සහ සුපිරි මලයාලම් නළු ප්‍රිත්විරාජ්

බොලිවුඩ් සිනමාවේ තවත් අනාගත රජෙක් එළඹෙන සතියේදී තමන්ගේ ගමනේ පළවෙනි පියවර තියන්න සූදානම්. මේ කඩවසම් තරුණයාගේ සිනමා ආගමනය බොහෝ දෙ‍ෙනක් බලාපොරොත්තු වූ දෙයක්. ඒ තමයි ඉබ්‍රහිම් අලි ඛාන්. එහෙමත් නැත්නම් සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ගේ පළමු විවාහයේ පුත්‍රයා.

2001 වසරේ මාර්තු 5 වැනි දා උපන් ඉබ්‍රහිම්ගේ අම්මා අම්රිතා සිං කියන්නෙත් ජනප්‍රිය නිළියක්. තාත්ත සයිෆ් අලි ඛාන් සිනමාවේ ජනප්‍රිය වුණේ පෙම්වතා විදියට වුණත් ඉබ්‍රහිම්ගේ අම්මා නම් ගොඩක් දෙනෙක් දන්නේ රිදී තිරයේත් ‘අම්මා’ චරිතය ඉතාම සාර්ථකව නිරූපණය කළ නිළියක් විදියට. අනෙක් අතට අලි ඛාන් පවුල කියන්නේ ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය පවුලක්. ඉබ්‍රහිම්ගේ සීයා තමයි මන්සුර් අලි ඛාන් පතවුදී. එහෙම නැත්නම් හැමෝම දන්නා විදියට නවාබ් පතවුදී. තවත් විස්තර කරනවා නම් 60 දශකයේ ඉන්දියාව බිහි කළ දක්ෂතම පිතිකරුවා වගේම ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. මන්සුර් අලි ඛාන් විවාහ වෙන්නේ ඒ කාලයේ ඉන්දියානු සිනමාවේ හිටපු ජනප්‍රියම නිළියක් වුණු ශර්මිලා තාගෝර් එක්ක. ඉබ්‍රහිම්ගේ සහෝදරිය සාරා අලි ඛාන් කියන්නෙත් මේ වෙනකොට ඉන්දියාවේ ජනප්‍රිය නිළියක්.

උපතින්ම සිනමා තරුවක් වීමේ යෝගය අරගෙන ආ ඉබ්‍රහිම්ගේ පළවෙනි සිනමා කළ එළි බැසීම තවත් අතකින් විශේෂයි. ඒ තමයි ඔහුගේ පළමුවැනි නිෂ්පාදකයා වෙන්නේ කරන් ජොහාර් නිසා. කරන් කියන්නේ හැම සිනමා පවුලකම වගේ ඊළඟ පරම්පරාව හරිම වෙලාවට රිදී තිරයට හඳුන්වා දෙන ‘ගෝඩ් ෆාදර්’ වගේ කෙනෙක් විදියට තමයි ප්‍රකට. මීට කලින් ඔහු හඳුන්වාදීපු වරුන් ධවාන්, අලියා භාත්, ජාන්වී කපුර් විතරක් නෙවෙයි රන්විර් කපුර්, සිද්දාර්ත් මල්හෝත්‍රා වගේ අයත් දැන් සිනමාවේ ඉතාම සාර්ථකයි. බොලිවුඩයේ ‘ඥාති සංග්‍රහය’ ගැන කරන්ට ලොකුවටම චෝදනා එල්ල වෙන්නෙත් ඔහුගේ මේ තරු දරුවන් සිනමාවට හඳුන්වාදීමේ ප්‍රතිපත්තිය නිසාම තමයි.

කෙසේ හෝ සයිෆ් අලි ඛාන්ගේ කපාපු පළුවක් වෙන ‘තරුණ සයිෆ්’ රඟපාන මේ සිනමාපටය නම් කරලා තියෙන්නේ Sarzameen කියන නමෙන්. ත්‍රාසජනක වගේම හැඟීම්බර සිදුවීම් ‘කරන් ජෝහාර් වට්ටෝරුව’ට අනුව ගානට මුසු කරපු මේ සිනමාපටයේ අනෙක් ප්‍රධාන චරිත රඟපාන්නේ කාජල් සහ සුපිරි මලයාලම් නළු ප්‍රිත්විරාජ් සුකුමාරන්. ප්‍රිත්විරාජ් එක්ක කාජල් එකම සිනමාපටයක රඟපාන පළවෙනි අවස්ථාවත් මේක තමයි. හැබැයි කරන් - ප්‍රිත්විරාජ් මීට කලින් එකට වැඩ කරලා තියෙනවා. ඒ තමයි Selfiee සිනමාපටය.

ආරංචි වෙන විදියට කාජල් - ප්‍රිත්විරාජ් දෙන්න මේ සිනමාපටයේ රඟපාන්නේ සැමියා සහ බිරිය විදිහටලු. එත් ප්‍රධාන චරිතය නිරූපණය කරන ඉබ්‍රහිම්ගේ සිනමාපටයේ චරිතය රහසක් විදියට තියාගන්න තමයි නිෂ්පාදන කණ්ඩායම තීරණය කරලා තියෙන්නේ.

Sarzameen සිනමාපටයේ කතාවත් තවමත් රහසක්. දැනට එළිවෙලා තියෙන විදියට මේ සිනමාපටය ගලාගෙන යන්නේ කාශ්මීරය කේන්ද්‍ර කරගත්ත ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සහ ඉන්දියානු හමුදාවේ විශේෂ මෙහෙයුමක් එක්කලු. කොහොම වුණත් Sarzameen කියන්නේ පපුව ගැහෙන දැවැන්ත ක්‍රියාදාම වගේම ඇස් කඩාගෙන යන පාට ගෑවුණු සින්දු එක්ක නැටුම් තියෙන වාණිජ්‍යමය නිර්මාණයක් කියලත් කියනවා. මේ සිනමාපටය වෙනුවෙන් විශේෂ අධ්‍යක්ෂවරයෙකුත් හඳුන්වා දෙන්න කරන් තීරණය කරලා තියෙනවා. ඒ තමයි කෙයෝස් ඉරානී. කෙයෝස් කියන්නේ ජනප්‍රිය ඉන්දීය සිනමා නළු බෝමන් ඉරානීගේ පුත්‍රයා.

Comments