මම සංගීතය කරන්නේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් | සිළුමිණ

මම සංගීතය කරන්නේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්

ටෙලි නාට්‍ය, චිත්‍රපට සංගීත නිර්මාණකරණයට යොමුවීමට කැමැත්තෙන් ඉන්නවා

ගීත ගායනයට එතරම් ප්‍රියතාවයක් නැහැ

සංගීතයේ නවමානයන් සොයා යමින් මෙරට ගීත ලොවට සිය ගීත නිර්මාණ තිලිණ කරන නව පරපුරේ ප්‍රතිභාපූර්ණ සංගීතවේදී, ප්‍රාසාංගික කලාවේදී විශාරද කවීන් රූපසිංහ සමඟයි රසඳුන මේ සොඳුරු කතාබහ.

 

ගම්පහ පහළ යාගොඩ ගමේ ඉපදුන කවීන් පාසැල් අධ්‍යාපනය මුලින්ම ලද්දේ ගණේමුල්ල කොස්සින්න ශ්‍රී සීලානන්ද මහා විදුහලෙනි. ඉන් පසු ගම්පහ ශ්‍රී බෝධී ප්‍රාථමික විදුහල, ගම්පහ තක්ෂිලා මහා විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක මහා විදුහලෙන් අධ්‍යාපනය ලද කවීන් කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරී පත් වන්නේය.

 

විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ගැන මතක් කළොත්?

2008 වසරේ පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව විශ්ව විද්‍යාලය අධ්‍යාපනය සඳහා කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. එතැනදී උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශයට ඇතුළත්ව, උත්තර භාරතීය ශාස්ත්‍රීය වයලීන් විෂය ප්‍රමුඛ විෂයන් අධ්‍යනය කිරීමෙන් අනතුරුව “ප්‍රාසාංගික කලා වේදී (සංගීතය) විශේෂ උපාධිය“ සම්පූර්ණ කළා. ඒ එක්කම මම උතුරු ඉන්දියානු විභාග පාඨමාලව සම්පූර්ණ කරමින් “විශාරද“ පදවිය ද, සංගීත වාදනය - වයලීන් විෂයට අදාලව ලබා ගෙන තියෙනවා.

ඔබ පාසලේදීත් කලා අංශයෙන් කැපී පෙනෙන ශිෂ්‍යයෙක් ද?

පාසල් කාලයේ මුල් අවධියේදී, ඒ කියන්නේ 6 වසරේ සිට 10 වසර දක්වා පමණ මම බොහෝ සෙයින්ම සංගීත විෂයට වඩා ක්‍රීඩා කටයුතු වලට තමයි වැඩි නැඹුරුවක් තිබුණේ. ඒ කාලය තුළ පාසලේ ක්‍රීඩා නායකයා ලෙසත්, ක්‍රිකට් කණ්ඩායමේ නායකා විදියටත් කටයුතු කළා. ඒ වගේම 2002 වසරේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් හොඳම පිතිකරු වශයෙනුත් තේරී පත්වුණා. පාසල් කාලය තුළදී සංගීත විෂයට අදාලව පැවති සමස්ත ලංකා සංගීත තරග, බස්නාහිර පළාත් සංගීත තරග, ගම්පහ දිස්ත්‍රික් සංගීත තරග ආදියට සහභාගී වී ජයග්‍රහණය රැසක් හිමි කර ගැනීමට අවස්ථාව ලැබුණා. 2003 වසරේ දී පාසලේ පැවති කලා උලෙළේ දී එම වසරේ දක්ෂතම වයලීන් වාදකයා ලෙස ද සම්මාන හිමි කරගත්තා.

කොහොමද සංගීතයට නැඹුරු වෙන්නේ?

පාසලේ විෂයක් වශයෙන් සංගීත විෂය හැදෑරීමට පෙළඹවීම ඇති වන්නේ මගෙ මාමාගේ මඟ පෙන්වීම අනුවයි. ඔහු නමින් ජයසේකර මල්ලවආරච්චි. මේ වන විට විශ්‍රාමික සංගීත ගුරුවරයෙක්. සංගීත විෂය ඉගෙනීමටත්, වයලීන් වාදනය විෂය හැදෑරීමටත් අත්පොත් තබන්නේ එතුමාගෙන්. ඒ වගේම මම මේක අවස්ථාවක් කර ගන්නවා පාසල තුළදී මෙන්ම විශ්ව විද්‍යාලය තුළදීත්, සංගීත විෂයෙන් මා පෝෂණය කළ සෑම ගුරු මවුපියවරුන්වත් ඉතාමත් ආදරයෙන් මතක් කරන්න.

මුලින්ම සංගීතවත් කරපු ගීතය මොකක්ද?

මම මුලින්ම තනුව හා සංගීතය නිර්මාණය කල ගීතය තමයි “භවින් භ⁣වේ උතුම් ආදරෙන්“ කියන ගීතය. මෙම ගීතය පාසල් සමයේදී නිර්මාණය කල ගීතයක්. නමුත් පටිගත කිරීමට බොහෝ කාලයක් ගත වුණා. පසුව අහම්බෙන් වගේ 2012 වසරේදී මම විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබන සමයේදී , විශ්ව විද්‍යාලයේ මගේ මිතුරියක් වූ අපේක්ෂා ලෝචනී සොයුරියට රාජ්‍ය සංගීත සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කිරීමට ගීතයක් නිර්මාණය කරදෙන මෙන් ඇය විසින්ම පදරචනය කරන ලද ගී පද පෙළක් මා වෙත ලබා දුන්නා. එම පද රචනයට තනුව හා සංගීතය මා විසින් නිර්මාණය කර විශ්වවිද්‍යාලය තුළදීම සංගීත පටිගත කිරීම සිදු කෙරුණා. “සසර සුවඳ“ නමින් හැදින්වුණු එම ගීතය තමයි ප්‍රථමයෙන්ම තනුව හා සංගීතය නිර්මාණය කරමින්, සංගීතය හා හඩ පටිගත කරන ලද මා නිර්මාණය කළ ගීතය.

මේ වෙද්දී ඔබ ගීත කීයක් නිර්මාණය කරලා තියෙනවා ද ?

මේ වන විට ගීත නිර්මාණ 92 සඳහා තනු හා සංගීතය නිර්මාණය කරලා තියෙනවා. එම ගීත අතර ප්‍රවීණ ගායක ගායිකාවන් වන ගායක ගායිකාවන් ගයන ගීතත් නිර්මාණය කරලා තියෙනවා. එ් හැරුණම හරවත් ගී පදරචනා නිර්මාණය කරන ප්‍රවීණමෙන්ම, නවක ගීපද රචකයින් බොහෝ පිරිසක් සමඟත් නව ගී නිර්මාණය කිරීමට අවස්ථාව ලැබුණා. ඔවුන් සියළු දෙනාවත්, සංගීත පටිගත කිරීම් ආරම්භයේ සිටම මාගේ නිර්මාණ සඳහා සංගීත භාණ්ඩ වාදනයෙන් දායක වූ ප්‍රවීණ, නවක සෑම වාද්‍යය ශිල්පී ශිල්පිනියන් සියළු දෙනාමත්, සංගීත පටිගත කිරිමේ හා නාද සංකලනය කිරීමේ ශිල්පීන් සැමත් ඉතා ආදරයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා.

ගායනය පැත්තට උනන්දුවක් නැත්ද?

මුල් අවධියේදී සිටම මම ගොඩක් ප්‍රිය කළේ වයලීන් වාදකයෙක් විදියට නිර්මාණ සඳහා දායකත්වය ලබාදෙන්න. ගීත ගායනයට එතරම් ප්‍රියතාවයක් නැහැ. නමුත් පසුකාලීනව වයලීන වාදනයත් ක්‍රමයෙන් මඟහැරි සංගීත නිර්මාණකරණයට වැඩි නැඹුරුවක් ඇති වුණා.

ඔබ වෘත්තීය මට්ටමින් ද සංගීතය කරන්නේ?

ඇත්තටම නැහැ. මම වෘත්තීය වශයෙන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස සේවය කරනවා. මම සංගීත නිර්මාණකරණයේ යෙදිලා ඉන්නේ හේතු 2ක් නිසා. එකක් තමයි මම අධ්‍යාපනය ලැබූ විෂය ක්ෂේත්‍රය තුළින් ලබාගත් දැනුම හා ශිල්පීය කුසලතා උපයෝගී කරගනිමින්, මට හැකි අයුරින් පවතින සුභාවිත ගීත කලාව පෝෂණය කිරීමට. මම සංගීතය කරන්නේ මගෙ ආත්ම තෘප්තිය වෙනුවෙන්.

ඔබේ නිර්මාණ වලට ඇගයුම් ලැබුණු අවස්ථා මතක් කළොත්

2014 රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ දී මා විසින් තනුව හා සංගීතය නිර්මාණය කල “ධා ප්‍රේම රැගුම් රඟනා“ ගීතය එම වසරේ ප්‍රශස්ථතම ගායනය පිරිමි (නවක) තරග අංශයෙන් නිර්දේශිත නාම ත්‍රිත්වය අතරට පත් වුණා. එම ගීතය ගායනය දිනේද්‍ර ජයවීර බණ්ඩාර විසින් සහ පදරචනය ලහිරු ඉරන්ත සොයුරාගේ. එමෙන්ම 2015 රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ දී මා විසින් තනුව හා සංගීතය නිර්මාණය කල “සඳ ගඟ දිගේ“ ගීතය එම වසරේ ප්‍රශස්තතම ගායනය පිරිමි (නවක) තරග අංශයෙන් නිර්දේශිත නාම ත්‍රිත්වය අතරට පත් වුණා. එම ගීතය ගායනය දිනේද්‍ර ජයවීර බණ්ඩාර. ගීතයේ පදරචනය ශාන්ත කුමාර විතාන. ඒ එක්කම 2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙලට සමගාමීව පැවති “සුභාවිත ගීත නිර්මාණය“ යන වැඩමුලුවට ද මට සහභාගී වීමට අවස්ථාව ලැබුණා.

ඉදිරි අරමුණු බලාපොරොත්තු මොනවාද ?

මට ඉදිරි අරමුණු බලාපොරොත්තු කියලා ලොකූ දේවල් නැහැ. මනුෂ්‍යයෙක් විදියට සරලව සතුටින්, කිසිවෙකුටවත් කරදරයක් නොවී ජීවත් වීම තමයි ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම සංගීත ක්ෂේත්‍රය තුළ, සරල ගී නිර්මාණ කරණයෙන් ඔබ්බට ගොස් ටෙලි නාට්‍ය, චිත්‍රපට සංගීත නිර්මාණකරණයට සහ චිත්‍රපට සංගීත නිර්මාණකරණයට යොමුවීමට කැමැත්තක් සහ බලාපොරොත්තුවක් තිබෙනවා.

 

 

Comments