දැන් මම සිංගල් | සිළුමිණ

දැන් මම සිංගල්

ඉදිරියේදී ආදරයක් දැනෙයි ද කියන්න මම දන්නේ නැහැ

ගොසිප් කියන දේ මට නම් දැන් ඇත්තටම ජෝර්ක් එකක්

තමන්ගේ  රටේ ඉඳලා ජීවිතේ සාර්ථක කර ගන්න පුළුවන් නම්අන්න එතැනයි සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ

 

හසිනි සැමුවෙල් කියන්නේ කලක් බොහෝ දෙනා අතර දැඩි කතාබහකට ලක් වුණු චරිතයක්. විවාහයෙන් පස්සේ නිහඬ වුණු හසිනි දැන් පුංචි පුතෙකුගේ ආදරණීය මවක්. මේ ඇයත් සමඟ කළ කතාබහක්.

 

කොහොමද හසිනි ජීවිතේ?

ජීවිතේ හොඳයි. මම මගේ එදිනෙදා වැඩකටයුතු එක්ක හොඳින් ජීවිතේ ගත කරනවා.

 

2023 වසරේ මොන වගේ දේවල්ද කරන්න ඉන්නේ?

මේ අවුරුද්දෙත් මගේ නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සහ මගේ ව්‍යපාරික වැඩකටයුතු සාර්ථක කර ගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. තව මගේ ජීවිතේ අරමුණු බලාපොරොත්තු තියෙනවා ඒවාත් එකිනෙක සාර්ථක කර ගන්න එක තමයි මගෙ එකම අරමුණ.

 

ඔබ කලාවට ආ ගමනේ ආරම්භය ගැන සිහිපත් කළොත්?

මම මුලින්ම මේ ක්ෂේත්‍රයට ආවේ 2017 දී මිස් ටුවරිසම් පැජන්ට් එක හරහා. ඒ පැජන්ට් එකේ මම second runner up වුණා. එතැනින් පස්සේ මම මිස් ඒෂියා පැසිපික් පැජන්ට් එකට ඇප්ලයි කළා. එතැනදී මම ජයග්‍රාහණය කළා. ඊට පස්සේ මම පිලිපීනයේ මැනිලාවලදී මිස් ඒෂියා පැසිපික් ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට ශ්‍රි ලංකාව නියෝජනය කළා. එතැනදී මට පුළුවන් වුණා ශ්‍රී ලංකාව වෙනුවෙන් මිනි ටයිටල් එකක් දිනා ගන්න. ඒ හරහා තමයි මම ක්ෂේත්‍රයට එන්නේ.

 

මේ වෙද්දී ගොඩක් අය රට හැර යනවා. හසිනිට එහෙම අදහසක් නැද්ද?

අපි හැමෝම අපේ රට අතහැරලා ගියොත් මේ රට දියුණු කරන්නේ සහ අපේ රට ආදරෙන් රැක බලාගන්න ඉතුරු වෙන්නේ කවුද කියන ප්‍රශ්නය මගේ ඔළුවට එනවා. ඒ නිසා මගේ හිතේ කිසිවිටෙකත් අදහසක් නැහැ වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියලා. මම මගේ රටට ගොඩක් ආදරෙයි. තමන්ට පුළුවන් නම් තමන්ගේ රටේ ඉඳලා ජීවිතේ සාර්ථක කර ගන්න, අන්න එතනයි සාර්ථකත්වය කියන එක රැඳිලා තියෙන්නේ. නමුත් මම රට රටවල්වල සංචාරය කරන්න ගොඩක් ආස කෙනෙක්.

 

කොහොමද මේ දවස්වල ව්‍යාපාරික කටයුතු?

RADOLTE කියන මගේම බ්‍රෑන්ඩ් එක මම මේ වෙද්දී ලෝන්ච් කරලා තියෙන්නේ. එකේ වැඩ කටයුතු මම කරගෙන යනවා. බලමු ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා.

 

කොහොමද පුතා එක්ක ගෙවෙන කාලය?

ඇත්තම කියනවා නම් මම පුතා එක්ක ගෙවන කාලය තමයි ගොඩක්ම සතුටින් ගත කරන්නේ. ඒ කාලය හරිම සුන්දරයි. පුතා හරිම හුරතල් සහ එයා ගොඩක් දඟයි. මට වෙලාව යනවා දැනෙන්නෙවත් නැහැ.

 

ඔබ දැන් නිරූපණයට වැඩි ඉඩක් වෙන් කරලා ද තියෙන්නේ?

මම දැන් දිගටම වැඩ කරගෙන යනවා. මට එන ආරාධනා අනුව ෆොටෝ ෂූට්, වීඩියෝ වැනි දේවල් වලට මගේ දායකත්වය ලබා දෙනවා. ඒ නිසාම මේ කාලයේ මම තරමක් කාර්යබහුල ජිවිතයක් ගත කරන්නේ.

 

රංගනයට එහෙම ඇරයුම් ලැබිලා තියෙනවද?

රංගනයට ඇරයුම් ලැබුණා. නමුත් තවම මම ඒ දේවල් වලට යොමු වුණේ නැහැ. ඒ ගැන ඉදිරියේදී හිතලා බලන්න ඕනේ.

 

ගොසිප් ගැන හසිනි මොකද හිතන්නේ

කටකතා ගොසිප් ගැන නම් මට හිනා යනවා. ඇත්තටම මට දැන් ඒවා විහිළුවක්. අපේ රටේ මිනිස්සු ඉස්සර වගේ නෙවෙයි ගොඩක් බුද්ධිමත්. ඒ නිසා මිනිස්සු දන්නවා මේ බොරු දේවල් සමාජගත කරලා තම තමන්ගේ පේජ්වල රිච් එක වැඩි කර ගන්න හදන්නේ කියන එක. ඒ නිසාම කට කතා ගොසිප් විශ්වාස කරන ප්‍රතිශතය දැන් ගොඩක් අඩුයි. ඒ නිසා මම කටකතා ගොසිප් ගැන බලන්නේ නැති තරම්. කටකතා ගොසිප් කියන දේ මට නම් දැන් ඇත්තටම ජෝර්ක් එකක්.

 

තනිවීම ගැන දුකක් නැද්ද?

දුකක් නැත්තේ නැහැ. දුකක් තියෙනවා. නමුත් ජීවිතේ හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදාගෙන ඉන්නවා.

 

ආයෙමත් ආදරයක් හිතට දැනිලා නැද්ද?

මෙහෙමයි ආදරේ කියන දේ හිතට දැනෙන්නේ නැත්තේ නැහැ. ආදරේ කියන්නේ හැඟීමක්. කතාවටත් කියනවනේ ලෝකයේ තියෙන සුන්දරම දේ තමයි ආදරේ කියන්නේ කියලා. පෞද්ගලිකව මට දැන් ආදරේ කියන දේ දැනෙන්නේ සහ ලැබෙන්නේ මගේ මවුපියන්ගෙන්, දරුවාගෙන් සහ මට හිතවත් යාළුවන්ගෙන්. එතැනින් එහාට ආදරේ කියන දේ මම අත්වින්දේ මීට අවුරුදු ගාණකට කලින්. දැන් මම කාලයක් තිස්සේ සිංගල්. ඉදිරියේදී ආදරයක් දැනෙයි ද කියන්න මම දන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ තමයි තීරණය කරන්නේ.

 

හැමදාම පුතා එක්ක ඔහොම ඉන්නද කල්පනාව?

ඔව්. මට ඕනේ මගේ පුතාට හොඳම හොඳ අම්මා කෙනෙක් වෙන්න.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ ජීවිතේ සාර්ථක කරගෙන මගේ අරමුණු ඉලක්ක වෙත යන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. මම විශ්වාස කරනවා ඒ දේවල් කරගන්න මට දෙවියන් වහන්සේ ශක්තිය ධෛර්යය ලබා දෙයි කියලා. ඒ වගේම කලා ක්ෂේත්‍රය පැත්තෙනුත් දිගු ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා.

 

Comments