ජීවිතයේ ඈතින් තබා ගත යුතු පුද්ගලයන් හඳුනා ගනිමු | සිළුමිණ

ජීවිතයේ ඈතින් තබා ගත යුතු පුද්ගලයන් හඳුනා ගනිමු

අපි ජීවිතේදී බොහෝ පුද්ගලයින් ආශ්‍රය කරනවා. ඉතින් මේ පුද්ගලයන් විවිධාකාර වෙනවා. ඔවුන්ට අපේ අදහස් ගැළපෙනවා වගේම සමහර අවස්ථාවලදී අදහස් නොගැළපීම් ද ඇති වෙන්න පුළුවන්. මිනිසුන්ගේ අදහස් විවිධ වන නිසාත් ගති පැවතුම් එකිනෙකට වෙනස් වන නිසාත් අප ආශ්‍රය කරන පුද්ගලයින් අපට නොගැළපෙනවා යැයි හැඟෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අපේ ජීවිතේ අනිවාර්යෙන්ම ඈත් කළ යුතු පුද්ගලයින් හත් දෙනෙක් ගැන තමයි මේ ලිපියෙන් කියවෙන්නේ. ජීවිතය සාර්ථක මනුස්සයෙක් වෙන්න නම් ජීවිතේ දිනන්න නම් අපි හැමෝටම අනිවාර්යෙන්ම උදව්වක් අවශ්‍ය වෙනවා. ඉතිං මේ උදව්වට උපකාරයට බාධා කරන කිසිම කෙළෙහි ගුණයක් නොදක්වන අපේ දියුණුවට බාධා කරන පුද්ගලයෙක් නම් ඔහුව අපි ජීවිතයෙන් ඈත් කළ යුතුමයි. මෙවැනි පුද්ගලයන් අපට හඳුනාගන්න තරමක් අපහසු වන නමුත් දිගු කාලයක් ආශ්‍රය කිරීමේදී අපට මේ වගේ පුද්ගලයින් හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ පුද්ගලයින් හත්දෙනා කවුද කියලා අපි දැන් බලමු.

 

1. උඩින් මිතුරුකමක් පෙන්වමින් සතුරකු ලෙස ක්‍රියා කරන පුද්ගලයෙක්

අපිට අපේ ජීවිතයේදී විවිධාකාර වූ පුද්ගලයන් මුණගැහෙනවා. ඔවුන් අපට සමහරවිට එක දවසක් හමුවී ඊළඟ දවසේ මුණ නොගැසුණු සමහර පුද්ගලයින් අපේ ජීවිත වලට ඇවිත් නවතිනවා. ඉතින් මේ වගේ අපේ ජීවිතවලට මිතුරුකම් පාමින් එන හැම පුද්ගලයෙක්ම සැබැවින්ම මිතුරු කමින් ඉන්නවද කියන එක පොඩි ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් වෙලාවට ඔයා දක්ෂ කෙනෙක් නම් ඔයා දියුණු වෙන්න හදන කෙනෙක් නම් ඔයත් එක්ක ගොඩක් මිතුරෝ ළං වෙනවා. මේ අතරින් සමහර මිත්‍රයන් ඇත්තටම මිතුරු කමක් දක්වන නමුත් සමහර මිතුරන් ඉන්නවා මිතුරන් වගේ සිටියට ඇත්තටම කරන්නේ සතුරුකම්. ඔබ වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ මෙන්න මේ වගේ පුද්ගලයින්ගෙන්. ඔවුන් ඔබට මිතුරෙකු වගේ ඉන්න නිසා ඔබ සමහරවිට රැවටීම්වලට හසුවෙන්න පුළුවන්. ඔවුන් සැබවින්ම කරන්නේ ඔබගේ දියුණුවට බාධා කරන එක. ඔබව අධෛර්යමත් කරන එක. එවැනි මිතුරන් ඈත් කර ගැනීමත් ඔබ කළ යුතුම දෙයක් වනවා. ඉතින් ඔබ කළ යුත්තේ උඩින් මිතුරුකම් යටින් සතුරුකම් කරන පුද්ගලයන් ඔබේ ජීවිතයෙන් ඈත් කර සාර්ථකත්වය කරා ඔබට අතහිත දෙන පුද්ගලයින් පමණක් ආශ්‍රය කිරීමයි.

2. ඕපාදූප කාරයෝ

අපිට හම්බෙන පුද්ගලයන්ගෙන් සමහරු ඇත්තටම කරන්නේ අපේ ඕපාදූප ටික හැමතැනම කියන එක. තමන් ගාව ළඟින් සිටිමින් බොරුවට සුහද කමක් පාමින් තමන් නැති වෙලාවට තමන්ට බණින, තමන්ගේ වැරදි කියන තමන්ගේ අඩුපාඩු කම් කියන, තමන් කාටවත් නොකියන්න යැයි කියු රහස් කියන පුද්ගලයින්ට තමයි මේ ඔහු පොදු උපකාර ගැන කියන්නේ. ඉතින් මේ වගේ පුද්ගලයින් ගොඩක් අපි අතර ඉන්නවා. මොවුන් හැම වෙලාවෙම කරන්නේ ඔබේ දියුණුවට බාධා කරන එක. ඔවුන් නිසැකවම අපිට ඉරිසියා කරන්න පෙලඹෙනවා. ඔවුන් හැම වෙලාවෙම හිතන්නේ අපේ වැරැද්දක් කියලා සතුටක් ලබන්න. ඉතින් ඔබත් මෙවැනි ඕපදූපකාරයන්ගෙන් ඈත් වෙන්න වගබලා ගන්න ඕන.

3. හැඟීම් අවතක්සේරු කරන පුද්ගලයන්

අපට ජීවිතයේ විවිධ පුද්ගලයින් හමු වෙනවා. ඉතින් මේ අතරින් අපේ හැඟීම් තේරුම් ගත්ත පුද්ගලයෙක් අපිට හම්බෙන්නෙ කලාතුරකින්. අපි ගොඩක් වෙලාවට සතුටෙන් ඉන්නකොට අප වටා ගොඩක් පුද්ගලයින් එකතුවෙලා හිටියා. අපිට දුකක් කරදරයක් වුණාහම අප ළඟ ඉන්නේ ඉතාමත්ම සුළු පිරිසක් විතරයි. අපට දුකකදී පිහිටවන්න පුළුවන් අපගේ හැඟීම් තේරුම් ගන්න පුද්ගලයින්ට පමණයි. නමුත් මෙවැනි පුද්ගලයන් සොයා ගන්න ඉතාමත්ම අමාරුයි. ඔබ ළඟ සිටිනවා නම් ඔබගේ හැගීම් තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් ඔහුව ආශ්‍රය කළ යුතුමයි. නමුත් ඔබගේ හැඟීම්වලට විහිළු තහළු කරන ඔබත් සමඟ කරදරයකදී නොසිටින පුද්ගලයින් ඔබ ජීවිතයෙන් ඈත් කරගත යුතුයි.

4. එකම වරද නැවත නැවත කරන පුද්ගලයන්

පුද්ගලයෙක් අතින් වැරැද්දක් වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඔහු එම වැරැද්ද නැවත නැවත කරනවා නම් එයට සමාව දීම අපි නැවත නැවතත් කරනවා නම් එය ඇතැම්විට මෝඩකමක් වෙන්න පුළුවන්. ඔබේ ඉතාමත්ම සමීප හිතවතෙකුට යම් කිසි වැරැද්දක් කළ විට එය පෙන්වා දීමට උත්සාහ කිරීමේදී ඔහු එයට පිටුපානවා නම් ඔබ එම පුද්ගලයා අත හැරිය යුතුයි. ඔවුන් ඔබට සාර්ථකත්වය ළඟාකර දීමට කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. ඔබ සිටිනවාටත් වඩා පහත් තත්ත්වයට ඇද දැමීමට ඔවුන් කටයුතු කරනවා. ඉතිං මෙලෙස එකම වරද නැවත නැවත කරන පුද්ගලයෙකුට ඔබ සමාවදී එම වරද හදාගෙන ඔබේ ළඟින් තියා ගැනීමට හැකි වුවත් එසේ නොකරනවා නම් ඔබ එම පුද්ගලයාගෙන් ඉවත් වීම හෝ ඔබ ඔහුගෙන් ඉවත් වීම කළ යුතුයි.

5. පෞරුෂය මවා දක්වන පුද්ගලයන්

පෞරුෂය මවා දක්වන පුද්ගලයන් කියලා කියන්නේ තමන්ගේ ඉදිරියේ එක් ආකාරයකටත් තවත් කෙනෙකු ඉදිරියේ තවත් ආකාරයකටත් හැසිරෙන පුද්ගලයන්ට. ඔවුන් හැම විටම කරන්නේ රඟපෑමක් පමණි. ඔවුන්ට ඇති පෞරුෂයක් නැත. ඔවුන් කරන්නේ ඔබ ඉදිරියේදී හොඳ පුද්ගලයෙකු වීමට හොඳ විදියට හැසිරෙනවා. තවත් කෙනෙකු ඉදිරියේ ඔබගේ ආත්මගරුත්වය නැතිවෙන ආකාරයට හැසිරෙනවා. මෙලෙස මවාපාමින් පෞරුෂය ගොඩනගා ගන්නා සූදානම් වන පුද්ගලයින් ඔබගේ ඇසුරෙන් ඉවත් කළ යුතුයි. නැතිනම් ඔබගේ සාර්ථකත්වයට මෙන්ම ඔබගේ ජීවිතයට ද මොවුන් බලපෑම් කිරීමට සැරසෙන්නේ ඔබ නොසිතන ආකාරයකින්.

6. සර්ව අසුබවාදී පුද්ගලයන්

ඒ කියන්නේ හැමදේම අසුභ බව දකින පුද්ගලයින්ට. ඔවුන් හැම වෙලාවේම හැමදේම අයහපත් විදිහට දකී. එයින් ඔබේ මානසික මට්ටම ද පහත හෙළන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබ යම්කිසි අධිෂ්ඨානයකින් ඉන්නවා නම් එම අධිෂ්ඨානය නැති කර දැමීමට මේ සර්ව අශුභවාදී පුද්ගලයන්ට හැකියාවක් තියෙනවා. උදාහරණයක් ලෙස ඔබ යම් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැරසීමේදී ඔබ එය ඔබ අසල සිටින පුද්ගලයකුට පවසනවා නම් එම පුද්ගලයා ඔබට එම ව්‍යාපාරය පිළිබඳ පවසන්නේ ධනාත්මක සිතුවිලි නොව අසුබවාදී සිතුවිලි නම් එවැනි පුද්ගලයින් ඔබ ඇසුරෙන් ඉවත් කළ යුතුයි. එයින් ඔබට මෙන්ම ඔබගේ චිත්තවේග වලට ද ඇතිවන්නේ අසුභදායි බලපෑමක්.

7. අනෙක් අය සමඟ වාසිය තකා කටයුතු කරන පුද්ගලයන්

අප සමාජයේ බොහෝ පුද්ගලයින් සිටින්නේ අන් එකෙකුගෙන් වාසියක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන පුද්ගලයින් ය. ඉතින් මෙවැනි පුද්ගලයෙක් ඔබ ළඟට ළන්වෙන්නෙත් ඔබගෙන් වාසියක් පමණක් බලාපොරොත්තුවෙන්ය. මෙවැනි පුද්ගලයින් හඳුනා ගැනීමට වඩා වැදගත් වෙන්නේ එය ඔබේ සාර්ථකත්වයට ඔබගේ මුදල් පසුම්බියට ද හිතකර වන බැවිනි. ඇතැම්විට ඔබගේ මිතුරෙක් ලෙස ඔබට ළං වන පුද්ගලයා ඔබ සමඟ මිතුරෙකු ලෙස රඟපාමින් ඔබගෙන් වාසි ලබා ගැනීමට සැරසෙන බවක් දැනේ නම් ඔබ එම පුද්ගලයාගෙන් ක්‍රමානුකූලව ඉවත් වීම කළ යුතුයි.

Comments