
හද කොනිත්තන
නෙතු ඇසිල්ලක
කඳුළු හැංගුණු ස්නේහයේ...
චපල හිතකට
පෙම් කෙරූ මට
උරුම දුකම ද ජීවිතේ..
ළඟම ඉන්නට ඉහ ළඟින්
පෙරුම් පිරුවේ මුළු හදින්...
සුසුම් සුළඟේ දිව ගිහින් පැන
කඳුළ විතරක් ළඟ තියන්..
මලක් වී මම නුඹ ළඟින්..
පිදුවෙ විකසිත සුවඳ පැන්
බඹර කුලේ බඹරිඳු
ලෙස පැන දුවන
බව නොදැන මං...
පද - දර්ශ කපුගේ
සංගීතය - ගයාත්‍රි කේමදාස
ගායනය - රෙෂ්මා පෙරේරා
ආදරයෙන් බැඳෙන්නේ ආදරණිය සිත්ය. හැඟිම් බැඳිම් එක්ක එක්වන සිත් ජීවිතය අවසන් වනතුරුම ආදරයෙන් බැඳි තියේ. එහෙත් ආදරය යැයි කියා ආදරය ළඟ තැවෙන දැවෙන රැවටෙන සිත්ද නැතිවාම නොවේ. ආදරයෙන් පැරදී ඒ වෙනුවෙන් තැවෙන දැවෙන හිතක් ළඟ නතර වී ලියූ කතාවක් බඳූ ගීතයක් පසුගිය දිනවල මුහුණු පොතින්, යූ ටියුබයෙන්, විවිධ ගුවන්විදුලි නාළිකා ඔස්සේත් අසන්නට දකින්නට ලැබුණා. ඒ අපේ මිත්‍රයකු වන කලක් දිනමිණ පුවත්පතේ චිත්‍ර ශිල්පියකු ලෙස සේවය කළ දර්ශ කපුගේ ලියූ
“හද කොනිත්තන
නෙතු ඇසිල්ලක
කඳුළු හැංගුණු ස්නේහයේ...
චපල හිතකට
පෙම් කෙරූ මට
උරුම දුකමද ජීවිතේ.. යන ගීතයයි.
දවසින් දවස අලුුත් ගීත බිහිවෙන කලා ලොවේ මේ අලුත් ගීතය ද බොහෝ රසිකයන් ආදරයෙන් වැලඳගත් බව නම් නොරහසකි.
පුවත්පත් කලාවේදියෙක්, චිත්‍ර හා කාටුන් ශිල්පියෙකු ද වන දර්ශ ගීතය ලියන්නට පෙලැඹුණේ මීට කලකට පෙරය. “බඹර කුලේ“ නමින් පසුගියදා එළිදැක්වූ මේ ගීතය ගයන්නේ සංගීත ශිල්පිනි රෙෂ්මා පෙරේරාය. ඇය නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී සෙල්ටන් පෙරේරාගේ දියණිය වේ. ගීතය සංගීතවත් කර ඇත්තේ කේමදාස මාස්ටර්ගේ දියණිය වන ගයාත්‍රී කේමදාසය.
මේ ගීතය පිළිබඳ අප විමසු විට දර්ශ අප හා කියුවේ මෙවැනි කතාවක්.
“මම මීට පෙරත් ගීත කිහිපයක් ම ලියා තිබෙනවා. අද අපට අසන්නට විඳින්නට ලැබෙන්නේ ඒකාකාරි ගීත කලාවක්. ඔය අතරේ තමයි මට හිතුණේ වෙනස්ම ගීතයක් ලියන්න ඕන කියලා. මේ ගීතය විරහා ගීතයක්. දෑස් අඳ ගැමි තරුණියක හා ප්‍රේමයෙන් බැඳෙන ඒ ගමේම සල්ලාල තරුණයකු ඇයව මුළාකර පලායන අයුරු තමයි මට ගීතයෙන් කියන්න ඕනෑ වුණේ. ඒ අදහස මුලික කරගෙන ලියැවුණ මේ ගීතය ටික කලක් මා ළඟම තිබුණා. රෙෂ්මා පෙරේරා. මම ගීතය ලිව්වෙත් ඇගේ ඉල්ලීමකට. රෙෂ්මා කියන්නේ මගේ දිගුකාලීන යෙහෙළියක්. ඒ වගේම ගීතයේ සංගීතය නිර්මාණය කරන්නේ ගයාත්‍රී කේමදාසයන් විසින්. ගයාත්‍රි හරි අපූරුවට ගීතයම සංගීතවත් කරනවා. ඒ නිසාම තමයි ඉතාම කෙටි කලකින් මේ ගීතයට රූප රචනාවක් සැකසෙන්නේ. මම කලකට පෙර චිත්‍රපට කිහිපයකම සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කටයුතු කර තිබෙනවා. ඒ වගේම ගීත කිහිපයකටම රූප රචනය කර තිබෙනවා. ඒ නිසා මේ ගීතය සඳහා මමම රූප රචනාව කරන්න ඕනෑ කියා හිතුණා. මට ඕන වුණේ ගීතයේ පදවලට නිර්මාණාත්මක වෙනසක් කරන්න. ඒ වෙනස කිරීමේදී මම සාර්ථකයි කියලා අද මට හැඟෙනවා ...දැනෙනවා. එහෙම හැඟෙන්නේ ... දැනෙන්නේ ගීතයට ලැබෙන යහපත් ප්‍රතිචාර නිසයි. ඒකාකාරි ගීත අතර වෙනස්ම ගීතයක් කරන්නට ගත්ත උත්සාහය සාර්ථකයි කියන හැඟිම අද මට තියෙනවා. බඹර කුලේ ගීතය වෙනස්ම නිර්මාණයක්. බොහෝ දෙනෙක් ඒ ගීතය ශ්‍රවණය කිරීමෙන් නැරඹිමෙන් ඒ ගැන දක්වන ප්‍රතිචාරවලින් මට මගේ සාර්ථක බව දැනෙනවා. මෙහිදි කැමරා අධ්‍යක්ෂණයෙන් ජනිත් සුසෙව්හේවාද, සංස්කරණයෙන් භවන්ත ගමගේ, වේශ නිරූපණය මනීෂා යන අයගේ සහාය අපට ලැබුණා. ඒ හැරුන විට ‘බඹර කුලේ‘ ගීත රූප රචනාවට සවිනි යකුපිටිය සහ විශ්මිත ප්‍රභාත් යන නැගි එන නළු නිළි දෙපළ වගේම ළමා නිළි සයුනී විහන්සා රංගනයෙන් දායක වෙනවා. මේ ලැබෙන ප්‍රතිචාරත් සමඟ තවත් ගීත නිර්මාණය කරන්න හරි අපූරු දිරියක් ලැබෙනවා.“
ගීතයේ පසුබිම් කතාව හා ඒ වටා පිටාව ගැන විමසූ විට දර්ශ දුන්නේ එවන් පිළිතුරකි.