
රොහාන් අයියාගෙන් මගේ ක්‍රීඩා ජීවිතයට ලැබෙන්නේ පුදුමාකාර සහයෝගයක්
මම මුලින්ම ජාතික මේස පන්දු කණ්ඩායමට එක්වෙද්දී ඔහු තමයි කණ්ඩායමේ නායකයා
එකට පියාඹන්නේ එක හා සමාන අත්තටු ඇති කුරුල්ලෝය. දෙහදක් එක් වන්නේ සිතුම් පැතුම් එක හා සමාන වන විටදීය. සිතුම් පැතුම් පමණක් නොව දෙදෙනා අතර පවතින අවබෝධයත් ප්‍රේමය මෙන්ම විවාහයත් සාර්ථක වීමට හේතුවයි. මේස පන්දු ක්‍රීඩාවෙන් රටක් දිනූ හිටපු ජාතික ශූර රොහාන් සිරිසේනත්, ජාතික ශූරිය ඉෂාරා මධුරංගිත් යුග දිවියට පිවිසියේ එය හරි අපූරුවට ගැළපීම නිසාය.
අවුරුදු 7ක්ම එක දිගට ජාතික ශූරයා ලෙස රොහාන් සිරිසේනත්, අවුරුදු 7ක් ජාතික ශූරිය ලෙස ඉෂාරා මධුරංගිත් ශ්‍රී ලංකාවේ මේසපන්දු ක්‍රීඩාව තනි තනිව දිග්විජය කළා පමණක් නොව දෙදෙනාම එක්ව අවුරුදු 7ක්ම මිශ්‍ර යුගල ජාතික ශුරතාවත් දිනා ගත්හ. එය දැන් දෙදෙනාගේම පෞද්ගලික ජීවිතයත් එකට යා කිරීමට සමත් වී ඇත.
පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී රොහාන් සහ ඉෂාරා අතිනත ගත්තේ මේස පන්දු ක්‍රීඩාවේ හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ, පුහුණුකරුවන්ගේ හා නිලධාරීන්ගේ සුබපැතුම් මැදිනි. මනාලියගේ පාර්ශ්වයෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපති අර්ජුන රණතුංග සහ මනාලයාගේ පාර්ශ්වයෙන් මේසපන්දු සංගමයේ හිටපු උප සභාපතිවරයකු වූ ආචාර්ය ලලිත් ලියනගේ සාක්ෂිකරුවෝ බවට පත් වූ අතර, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ජාතික ශූරයකු හා ජාතික ශූරියක අතිනත ගත් විරල අවස්ථාවක් ඉතිහාසයට එක් විය. රොහාන් - ඉෂාරා නව යුවළ යුග දිවියට පිවිසියද, මේස පන්දුවෙන් ඈත්වීමට නම් ඉඩක් ලැබුණේම නැත.
‘මම මුලින්ම ජාතික මේසපන්දු කණ්ඩායමට එක්වෙද්දී එයා කණ්ඩායමේ හිටියා. එයා තමයි නායකයා.‘ මේ වන විට ජොර්දානයේ ලෝක ටෙනිස් සම්මේලන මේස පන්දු තරඟාවලියකට සහභාගි වෙමින් සිටින ඉෂාරා ‘රසඳුන‘ සමඟ පිළිසඳරකට එක් වූයේ එලෙසිනි. ඇය ජොර්දානය බලා පිටත්ව ගියේ විවාහයෙන් දින දෙකකට පසුවය.
2004 වසරේ මුලින්ම ඇය ජාතික ශූරිය බවට පත්වෙද්දී 14 හැවිරිදි වියේ පසු වූ අතර, ඒ වන විට රොහාන් ජාතික මට්ටමේ පළපුරුදු ක්‍රීඩකයකුව සිටියේය. 1996 සිට 2019 දක්වා ජාතික කණ්ඩායම නියෝජනය කළ රොහාන් - ඉෂාරා ප්‍රේමය දළුලන්නට පටන් ගත්තේ මේසපන්දු පිටියේදීමය. මේස පන්දුවත් එක්කම හරි හරියට ප්‍රේමය පමණක් නොව දස්කම් ද මුවහත් විය. එය තවත් ඔප් නැංවුණේ පසුකාලීනව ඉෂාරාගේ පුහුණුකරු ලෙස රොහාන් පත්වීමත් සමඟය.
‘කාලයක් තිස්සේ ආදරය කළත්, අන්තිමේදී අපි විවාහ වුණේ ටිකක් හදිස්සියෙන් වගෙයි. අපි ඇත්තටම සැලසුම් කරලා තිබුණේ ලබන මාර්තු මාසයේදී විවාහ උත්සවය ගන්නයි. ඒත් රොහාන් අයියට ඒ කාලෙට නිවාඩු ගන්න බැරි තත්ත්වයක් ඇවිත් තිබුණා. ඒ නිසා ජනවාරි අන්තිමට විවාහ වෙන්න හිතාගෙන හදිසියේම සති දෙකකට ලංකාවට ආවා.‘ සැලසුම වෙනස් වුණු නිසා ආපහු සැරයක් අලුතින් හැමදේම හිතන්න වුණා. අපි විවාහය සැලසුම් කළේ දවස් දහයක් ඇතුළතයි‘ ඇය කීවාය.
රොහාන් අමෙරිකාවට ගියේ 2020 වසරේදී ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් වසරක් ගතවෙද්දීය. ක්‍රීඩාවෙන් සමුගත්තත්, ලැබෙන විවේකයේදී අමෙරිකාවේ මේසපන්දු තරගවලට එක්වන බව කියමින් රොහාන් ‘රසඳුන‘ සමඟ කතාබහට එකතු වුණේ නැවත අමෙරිකාව බලා පිටත්ව යෑමට කටුනායක ගුවන්තොටුපොළට ගිය මොහොතේදීය. ඔහුගේ සති දෙකක නිවාඩුව අවසන්වී තිබිණි.
‘අපි දෙන්නා මේ දවස්වල වැඩිපුරම අවධානය යොමු කරන්නේ ඉෂාරාගේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන්. ඉෂාරාගේ ලොකුම හීනය ලබන අවුරුද්දේ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මේසපන්දු තරග ඉසව්වට සුදුසුකම් ලබන්නයි. එයා ජොර්දානයේ තරඟාවලියට ගියේ අවශ්‍ය සුදුසුකම් තවදුරටත් එකතු කරගන්නයි.‘ රොහාන් සඳහන් කළේය.
දශකයකට වැඩි කාලයක් මෙරට මේසපන්දු ක්‍රීඩාවේ නොම්මර එකේ ක්‍රීඩිකාව ලෙස වැජඹුණු ඉෂාරාට ලබන වසරේ ඔලිම්පික් සුදුසුකම් ලැබීමට හැකි නම් එය වාර්තාවකි. ඉතිහාසයේ කිසිම අවස්ථාවක ශ්‍රී ලංකාව මේසපන්දු ක්‍රීඩාවෙන් ඔලිම්පික් සුදුසුකම් ලබා නැත. දැන් රොහාන්ගේ ඉලක්කය සිය බිරියගේ සිහිනය සැබෑ කිරීමය.
අවුරුදු 6ක්ම මෙරට නොම්මර එකේ ක්‍රීඩකයා ලෙස වැජඹුණු රොහාන්ට සිය බිරියගේ දස්කම් මුවහත් කිරීමට අවශ්‍ය සුදුසුකම් හා අත්දැකීම් එමටය. අමෙරිකාවට ගියද ඇගේ පුහුණුවීම් සඳහා නියමිත කාලසටහන සකස් කර දෙන්නේ රොහාන්ය.
ඔහු ඇගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ දෙදෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදා මේසපන්දු සංචිතයට ඇතුළත්ව සිටි කාලයේ සිටමය. 2009 සිට 2015 දක්වා ගුවන් හමුදා මේසපන්දු කණ්ඩායම නියෝජනය කළ ඉෂාරා සහ රොහාන් ගුවන් හමුදා මේසපන්දු කණ්ඩායමේ නායකයා සහ නායිකාව ලෙස කටයුතු කළ අතර, ජාතික මේස පන්දු කණ්ඩායමේ නායකයා සහ නායිකාව ලෙසත් ජාත්‍යන්තර තරග බිමට එක්වූහ.
විවාහයෙන් දින දෙකකට පසු ඉෂාරා ජෝර්දානයට ගිය අතර, රොහාන්ගේ නිවාඩුවේ ඉතිරි දින කිහිපය ලංකාවේ ගත විය. ඇය නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ 10 වැනිදාය. ඒ වෙද්දී රොහාන් අමෙරිකාවේය. රොහාන්ගේ සහ ඉෂාරාගේ කාර්යබහුල ජීවිතය ගෙවී යන්නේ එලෙසිනි.
‘ඇත්තටම රොහාන් අයියාගෙන් මගේ ක්‍රීඩා ජීවිතයට ලැබෙන්නේ පුදුමාකාර සහයෝගයක්. දෙන්නම ක්‍රීඩාවේ නිරතව සිටින නිසා ඒ අවබෝධය ඇති තරම් තියෙනවා. අපි දෙන්නගේම සිතුම් පැතුම් එක හා සමානයි. රොහාන් අයියා වගේ කෙනෙක් එක්ක විවාහ වෙන්න ලැබීම ගැන මට හරි සතුටුයි. එයා මගේ හෙවණැල්ල වගේ පස්සෙන් ඉන්නවා.‘ ඉෂාරා එසේ කියන්නේ හදපිරි සතුටිනි.