ඉන්දියානු තරුණියන්ගේ සිහින කුමරා සිද්ධාර්ත් සුපිරි නිළි කීරා සමඟ අතිනත ගනී... | සිළුමිණ

ඉන්දියානු තරුණියන්ගේ සිහින කුමරා සිද්ධාර්ත් සුපිරි නිළි කීරා සමඟ අතිනත ගනී...

කඩවසම් සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ අත ගන්නට බලා සිටි ඉන්දියානු තරුණියන්ගේ සිහින පහුගිය සතියේ හදිසියේම සුනු විසුනු වී ගියා. ඒ 38 හැවිරිදි සුපිරි නළුවාගේ හදිසි විවාහය නිසා. ලෝකයට මෙය එක්තරා විදියක හදිසි විවාහයක් වුණත් සිද්ධාර්ත් තම විවාහය ප්ලෑන් කළේ මාස 6ක විතර කාලයක සිට. සුරූපී නිළි කීරා අද්වානි සමඟින් සිද්ධාර්ත් අතිනත ගැනීම සිදුවුණේ පසුගිය 7 වැනිදා. ඒ රාජස්තානයේදී.

 

සිද්ධාර්ත් මුලින්ම සිනමාවට පිවිසුණේ කරන් ජෝහාර්ගේ My Name is Khan චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා විදියට 2010දී. තවත් අවුරුදු දෙකකට පස්සේ ඔහු මුළු ඉන්දියාවම අඳුන ගත්තෙ Student of The Year චිත්‍රපටයේ අභිමන්යු විදියට. පස්සේ කාලෙකදී තවත් සුපිරි තරු දෙකක් විදියට අභිෂේක ලබපු වරුන් ධවාන් වගේම ආලියා භාත්ගේත් පළමු සිනමා රංගනය Student of The Year වීම තමයි විශේෂත්වය.

දශකයක රංගන ජිවිතයේ සාර්ථක රංගන ශිල්පියෙක් විදියට වැඩ පෙන්වපු සිද්ධාර්ත්ට 2021 වසරේ තිරගත වුණු Shershaah චිත්‍රපටය ඉතාම වැදගත් වුණේ හේතු දෙකක් නිසා. ඒ එහි කරපු රංගනය වෙනුවෙන් හොදම නළුවා විදියට නාම යෝජනා ලැබීම නිසා. ඒ වගේම එම චිත්‍රපටියේ රූගත කිරීම් අතරේ එහි ප්‍රධාන නිළිය වුණු කීරා සමඟ ඇතිවුණු ප්‍රේම සම්බන්ඳය නිසා.

සිද්ධාර්ත්ට වඩා අවුරුදු 7කින් බාල කීරා අද්වානි බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක්. ඇය මුලින්ම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණේ M. S දෝනිගේ බිරිය විදියට. ඒ M. S. Dhoni ගේ The Untold Story චිත්‍රපටයේ. 2019 වසරේ IIFA හොඳම සහය නිළිය වුණත් කීරාගේ ජිවිතයේ මේ දක්වා වැදගත්ම සිනමාපටය තමයි Shershaah. ඒ ඇය සිද්ධාර්ත් එක්ක පටන්ගත්ත ආදර සම්බන්ධය නිසා විතරක් නෙවෙයි, ඒ චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් හොඳම නිළිය විදියට නාම යෝජනා ලැබීමත් නිසා.

සිද්ධාර්ත් - කීරා දෙදෙනාම ඉතාම සාර්ථකව තමන්ගේ සම්බන්ධය ලෝකෙට රහසක් විදියට තියාගත්තත් එය රහසක් නොවුයේ කරන් ජොහාර් සහ ෂහිඩ් කපූර් දෙන්නා නිසයි. බොලිවුඩයේ රහස්, අප්‍රකට සම්බන්ධ මේ හැම දේම ගැන හොඳටම ඇහැ ගහගෙන ඉන්න කරන් තමන්ගේ සුප්‍රකට Koffee With Karan වැඩසටහනේදී තමයි මේ කතාව මුලින්ම හෙළිදරවු කළේ. ‘ඔව් අපි දෙන්නා අතරේ යමක් තියෙනවා හැබැයි ඔය කියන වගේ එකක් නෙවේ ’ වගේ එකක් කියල කීරා ලිස්සලා යන්න හදත්දී ඒ වැඩසටහනේ අනික් ආරාධිතයා වුණු ෂයිඩ් කපූර්ගේ කටට බ්‍රේක් නැති වීම නිසා තමයි මුළු ඉන්දියාවම ඒ ගැන දැනගත්තේ. සමහරු කියන්නේ නම් මේක කරන් - සහිඩ් දෙන්නගේ ප්ලෑන් එකක් කියලයි.

කොහොම වුණත් මේ සම්බන්දෙ මුලින්ම පටන් අරගෙන තියෙන්නේ 2018 කියලත් දැන් එළිවෙලා තියෙනවා. Lust Stories චිත්‍රපටියේ අවසාන රුගත කිරීම් දවසේ සාදයේදී තමයි දෙන්නා මුලින්ම හමුවුණේ කියල කීරා පහුගිය දවසක කියා තිබුණා. ‘ඒ රාත්‍රිය මගේ ජීවිතයේ විශේෂ රාත්‍රියක්’ ඇය සිද්ධාර්ත්ගේ ඇස් දෙක දිහා බලාගෙනම එහෙම පැවසුව බවත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. Shershaah චිත්‍රපටියේ සාර්ථකත්වය නිසා මේ දෙන්නා “හොඳට කැපෙන ජෝඩුවක්” විදියට ඉන්දියානු මාධ්‍ය විසිනුත් හඳුන්වලා දුන්න බවත් ප්‍රකටයි. පස්සේ පස්සේ මේ දෙන්නත් විවිධ රටවල ගිහින් ආදර නිවාඩු ගත කරපු බවට ඔවුන්ගේම INSTAGRAM ගිණුම්වල සාක්ෂිත් ඕන තරම් තියෙනවා.

කොහොමහරි පසුගිය 7 වැනිදා පවත්වපු මේ වසරේ බොලිවුඩයේ පළවෙනි නළු - නිළි විවාහයට දෙපාර්ශ්වයෙන්ම විශාල පිරිසක් සහභාගී වුණා. කරන් ජොහාර්, වරුන් ධවාන්, අනිල් කපූර්, සහිඩ් කපුර්, රෝහිත් ශෙට්ටි ඇතුළු ජනප්‍රිය බොලිවුඩ් තරු වගේම බිලියනපති අම්බානිගේ පුත්‍රයා වන අකාෂ් අම්බානිටත් ඒ අතරේ විශේෂ තැනක් හිමි වුණා. මුල ඉඳන්ම මේ සම්බන්ධෙට පො‍ෙහාර දාපු කරන්, සහිඩ් දෙන්න විවාහයට දවස් කීපෙකට කලින් ඉඳලම රාජස්තානේට ගිය බවත් ඉන්දියාවේ පැපරාසි මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

විවාහය වෙනුවෙන් ජනප්‍රිය ඇඳුම් නිර්මාණකරු මනිෂ් මල්හෝත්‍රා විසින් අති විශේෂ ඇඳුම් 150ක් නිර්මාණය කළ බවත් පැවසුණා. විවාහයෙන් පස්සේ සිද්ධාර්ත් - කීරා පදිංචි වෙන්න විශේෂ නිවසක් සිද්ධාර්ත් විසින් හොයල තියෙන්නේ මීට මාස 6කට විතර කලින් ඉඳලලු. අන්තිමට තමන් හොයපු විදියෙම නිවසක් ජුහුවලින් ගන්නත් මේ දෙන්නට පුළුවන් වෙලා තියෙනවා. නිවෙස වෙනුවෙන් ඔවුන් ගෙවූ මුදල ඉන්දියානු රුපියල් කෝටි 70කි. කෙසේ වෙතත් විවාහයෙන් පස්සේ මේ දෙන්න මුලින්ම යන්නේ සිද්ධාර්ත්ගේ පාලි හිල් වල මුහුදට මුහුණලෑ තියෙන සුඛෝපභෝගී නිවසට බව තමයි ආරංචි වෙන්නේ.

 

Comments