ඇයි මම ලංකාවේ ඉපදුණේ කියලා මට සිය දහස් වර හිතුණා නමුත් දැන් මට එහෙම හිතෙන්නේ නැහැ | සිළුමිණ

ඇයි මම ලංකාවේ ඉපදුණේ කියලා මට සිය දහස් වර හිතුණා නමුත් දැන් මට එහෙම හිතෙන්නේ නැහැ

එවැනි මිනිසුන්ගේ දුර්වලතා මං මගේ කරගෙන දුක් වෙන්නේ නැහැ

මගේ ප්‍රේක්ෂකාගාරය සමාජයීය දැනුමෙන් ගොඩක් පොහොසත්. ඒ නිසා ඔවුන් ග්‍රහණය කරගන්න මට පහසුයි

 

එශාන් ඩයස් කිව්වම මුහුණ පුරා ඇදෙන හිනාව, කොණ්ඩෙ පස්සට විසි කර ගස්සන ගැස්සිල්ල, ලාලිත්‍යයට නළවන උකුල චිත්‍රපටි රාමු පෙළක් සේ එක පෙළට මතකයට නැඟෙන්නේ ඔහු ඒ තරමටම සහෘද සිත් කාන්දමක් සේ ඇද බැඳ ගත් නිසයි. එසේ සමාජ මාධ්‍ය තුළ අපූරු චරිතයක් වූ ඔහු ගැනයි මේ සටහන.

 

කොහොමද මේ දවස්වල ජීවිතේ..

මේ දවස්වල සාමාන්‍ය විදිහට වැඩ ටික, කරගෙන යනවා. ඒත් මම තරමක් කාර්යබහුලයි. අලුත් සංකල්පයකට ෆොටෝ ෂූට් එකක් කිරීමට ලෑස්ති වෙනවා. ඒ වගේම වීඩියෝ, ටික්ටොක්, ෆේස්බුක් හි සාමාන්‍ය වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව මියුසික් වීඩියෝ කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා. ඒවත් ඉදිරියේදී දක්නට ලැබේවි.

ෆේස්බුක්, යූ ටියුබ් හී වීඩියෝ පළ කරන්න මුලින්ම සිතිවිල්ල පහළ වුණේ කොහොමද?

මම කිසිම දැනුවත් කමකින් ෆේස්බුක් එකේ වීඩියෝ පළ කළේ නැහැ. මට ලොකු ආසාවක් තිබුණා චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න. ඒ නිසා මම ජාතික චිත්‍රපටි සංස්ථාවේ චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳව පාඨමාලාවක් කළා. එයින් පසුව ෆේස්බුක් එකට වීඩියෝ එකක් කරන්න මට හිතුණා. මම වීඩියෝ පළකරන්න ආරම්භ කළේ 2016 වර්ෂයේ දීයි. 2016 වර්ෂයේ ජුනි මාසය වනකොට මගේ වීඩියෝ එකක් වයිරල් වුණා. මට අවශ්‍ය වුණේ මගේ හැකියාව ප්‍රදර්ශනය කරන්න පමණයි. ෆේස්බුක් හරහා දිගු ගමනක් යෑමේ බලාපොරොත්තුවක් එ්කාලේ මට තිබුණේ නැහැ.

ඔබ ලංකාවේ හෝ ජාත්‍යන්තරයේ ෆලෝ කරන කෙනෙක් හෝ කණ්ඩායමක් සිටිනවා ද?

ඔව් මම යූ ටියුබ් එකට ආගන්තුක අවධියේදී ගප්පියාව ෆලෝ කළා. ලිලීසීන්, ලීසාකෝශි වැනි විදේශික යූ ටියුබර්ස්ලවත් මම ෆලෝ කළා.

කාන්තාවක් විදිහට අඳින පලඳින drag performer කෙනෙකු වීමේ සංකල්පය ඔබට ආවේ කොහොමද?

මගේ වීඩියෝස්වල වැඩිපුරම වීව්ස් තියෙන්නේ මම අම්මගේ චරිතය හෝ ලතාගේ චරිතය කරන අවස්ථාවලදීයි. ඒ නිසා එය මං ගත් ස්වාධීන තීරණයක් නෙමෙයි. වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා මම එයට යොමු වුණා. එය කලාවක්. ඒ වගේම එයටත් නමක් තියෙනවා කියලා මම දැනගත්තේ පසුවයි.

හැම වීඩියෝ එකකම සංකල්පය දෙබස් නිර්මාණය කරන්නේ ඔබමද?

අපි එදිනෙදා ඇහෙන දකින සිද්ධි පාදක කරගෙන හිතට දැනෙන අදහස් මං එවෙලෙම නෝට් කරගන්නවා. නැත්නම් වොයිස් මැසේජ් එකක් දාගන්නවා. එහෙම නැතුව ස්ක්‍රිප්ට් එකක් ලියන්න කියලා හිතුවොත් කවදාවත් ලියන්න අදහස් හිතට එන්නේ නැහැ. මම කරපු ගොඩක් වීඩියෝස් මගේ පිටපත්වලට කළ නිර්මාණයි. වීඩියෝ තුනකට පමණ පාඨකයන්ගේ අදහස් හා මගේ දන්න අයියා කෙනෙක් ලියන දුන්නා. ඒවත් මට අවශ්‍ය ලෙස මම වෙනස් කර ගත්තා.

යූ ටියුබ් චැනල් බහුතරයක් ප්‍රහසනය පාදක කරගෙන නිර්මාණය කරන නිසා ඉෂාන්ට එය අභියෝගයක් වුණේ නැද්ද?

තරඟයක් නැතිවම නෙමෙයි. නමුත් එෂාන් ඩයස් කරන දේ වෙන කාටවත් කරන්න බැහැ. පිරිමි කෙනෙක් ගැහැනු කෙනෙක් විදියට ඇඳගෙන නිර්මාණ කළත් මගේ නිර්මාණවල තියන සංකල්ප කාටවත් ගන්න බැහැ. ඒ නිසා එය තරඟයක් ලෙස මම හිතන්නේ නැහැ.

බාල විහිළුවලට හිනා වෙන බහුතර ප්‍රේක්ෂකාගාරයක් උසස් ප්‍රහසනයකට ලඝු කරන්න අපහසුයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද

ඒක ලොකු ප්‍රශ්නයක් .පොඩි ළමයෙක්ව හිනස්සන්න ශබ්දයක් පිට කළත් ඇති. නමුත් දැනුමෙන් වැඩි පුද්ගලයෙක්ව හිනැස්සීම බොහෝම අසීරු කර්තව්‍යයක්. එහෙම බුද්ධි මට්ටම වැඩි කෙනෙක්ව හිනස්සන්නනම් මහන්සි වෙලා ඒ ජෝක් එක කරන්න ඕනි. ලංකාවේ බහුතරයකට නොසරුප් වචනයක් කියලත් එයාලව අවුස්සන්න පුළුවන්. බාල මට්ටමේ ප්‍රේක්ෂකාගාරයක් වුවත් තිබිය යුතුයි. නමුත් මගේ ප්‍රේක්ෂකාගාරය සමාජීය දැනුමෙන් ගොඩක් පොහොසත්. ඒ නිසා ඔවුන් ග්‍රහණය කරගන්න මට පහසුයි. සමස්ත ප්‍රේක්ෂකාගාරය සතුටුදායක මට්ටමක නැහැ. නමුත් මගේ නිර්මාණය එම සමස්තයට කොටු කරන්නේ නැහැ.

චිත්‍රපටිවල රඟපාන්න කැමැති නිසා වීඩියෝ කරන්න පෙලඹුණා වගේම වීඩියෝ නිසා චිත්‍රපටිවල රඟපාන්න ආරාධනා ලැබුණේ නැද්ද?

මේ වන තෙක් චිත්‍රපටි වලට ආරාධනා ලැබී නැහැ. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා වගේම නාට්‍යයකට රංගනයෙන් දායක වුණා. තවත් ආරාධනා කිහිපයක් ලැබී තිබෙනවා. තවම ඒවාහි දින වකවානු සාකච්ඡා මට්ටමෙහි පවතිනවා.

අද පවතින ජනප්‍රියත්වය හෙට නැති නිසා ආර්ථිකය යහපත් මට්ටමින් පවත්වාගෙන යන්න දෙවෙනි සැලසුමක් ඔබට තිබෙනවාද?

සමාජ මාධ්‍ය තුළ ලැබෙන ආදායම අස්ථාවරයි. ඒ නිසා ස්ථිර රැකියාවක් ලෙස එය කිරීමට අපහසුයි .මම මේ වන විට පෞද්ගලික අමතර පන්ති පවත්වනවා. එවැනි කාලයක් උදා වුණොත් මම එය දියුණු කරාවි.

මිනිස්සු නිර්මාණයක් රස විඳිනවාට වඩා නිර්මාණ ශිල්පියාගේ පෞද්ගලික ජීවිතයට එබිකම් කරනවා වැඩියි. ඔබට එය බාධාවක් වුණේ නැද්ද?

ඔව් එය මට දරුණු වේදනාවක් ලෙස දැනුණා. 2016 වර්ෂයේ දී යූ ටියුබ් එකේ වීඩියෝ කරන්න පටන් ගත්තත් මට පසුව පැමිණි යු ටියුබ්ස් ලා ස්ථාවර තත්ත්වයට පත් වුණා. මම ඒ වන විටත් ස්ථාවරයක් ගොඩනඟා ගන්න අරගල කරනවා. මම අනුග්‍රාහකයන් ළඟට ගියාම ඔවුන් මට අනුග්‍රහය දක්වන්න මැලි වුණා. සාමාන්‍ය පිරිමි ළමයෙක්, ගැහැනු ළමයෙක් වීඩියෝ එකක් කරාම ඒක බලලා හිනා වෙලා එතනින් ඉවර කරනවා. ඒත් මගේ පෞද්ගලිකත්වය හොයල, ඒකට කටකතා පතුරවලා වෙනම සංකල්පයක් මිනිස්සු ගොඩනඟනවා. ඒ නිසා ඒ බාධක කඩාගෙන මට ඉස්සරහට යන්න සිදුවුණා. මුලින්ම මගේ වීඩියෝ බැලුවත් ඒවා ශෙයා කළේ නැහැ. මගේ වීඩියෝ එකක් එයාලගේ වෝල් එකට ශෙයා කරගන්න එක ලැජ්ජාවක් කියලා එයාලා හිතුවා. ඒ නිසා එය මට දරුණු මානසික පීඩනයක් වුණා. ඇයි මම ලංකාවේ ඉපදුණේ කියලා මට සිය දහස්වර හිතුණා.

ඔබ මේ වන විටත් සිටින්නේ ඒ වගේම කලකිරුණු හැඟීමකද?

ඇත්තටම දැන් මට එහෙම හැඟීමක් දැනෙන්නෙ නැහැ. මගේ මනස පුහුණු වෙලා තියෙන්නෙ ධනාත්මක දේවල් ග්‍රහණය කරගන්න පමණයි. ඉස්සර මං මිනිස්සුන්ගේ කමෙන්ට් බලලා පෞද්ගලිකව හිතලා දුක් වුණා. යම් පුද්ගලයෙක් කමෙන්ට් කරන ආකාරය මත ඔහුගේ හෝ ඇයගේ මානසික තත්ත්වය පැහැදිලි වෙනවා. ඒ නිසා එවැනි මිනිසුන්ගේ දුර්වලතා මං මගේ කරගෙන දුක් වෙන්නේ නැහැ. ඒක ඔවුන්ගේ ගැටලුවක් විනා මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ වන විට මගේ ප්‍රේක්ෂකාගාර බහුතරයකට මං ගැන තියෙන්නෙ ධනාත්මක ආකල්පයක්. ඒනිසා සෘණාත්මක හැඟීමක් මටත් දැනෙන්නේ නැහැ.

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මගේ ලොකුම බලාපොරොත්තුව චිත්‍රපටියක් කිරීම වගේම එහි රඟපෑමයි.

විවාහයක් කරගන්න මේ හොඳම කාලේ කියලා හිතෙන්නේ නැද්ද?

මම විවාහයට ප්‍රතිවිරුද්ධ අදහස් දරන කෙනෙක් නෙමෙයි . නමුත් එය කරන්නන්වාලේ කරන්න මගේ අදහසක් නැහැ. විවාහය කියන්නේ හැමෝටම අයිති විය යුතු දෙයක් කියලා මම විශ්වාස කරනවා. ආදරය කරන දෙන්නෙක් එකිනෙකාව තේරුම් ගත්තම අදාළ කාලයේදී එය සිදුවේවි. එය මටත් වලංගුයි

 

 

Comments