අවුරුදු කුමරිය ලෙස තේරුණු නිසයි මගේ හීනයට යන පාර හැදුණේ | සිළුමිණ

අවුරුදු කුමරිය ලෙස තේරුණු නිසයි මගේ හීනයට යන පාර හැදුණේ

නැන්දා තමයි අප්පච්චිට කිව්වේ මෙයාට අවස්ථාවක් දෙමු කියලා

පොඩි කාලේ ඉඳන්ම කැමැත්තෙන් හිටියේ නිළියක් වෙන්න

 

මේ දිනවල ඔබ ආසාවෙන් බලන නාට්‍යය නිර්මාණ දෙකක් තමයි කෝලම්කුට්ටම සහ කියාදෙන්න ආදරේ තරම් කියන්නේ. අද මේ කතා බහ කෝලම්කුට්ටමේ සංගීතා සහ කියාදෙන්න ආදරේ තරම් හි චමදරී සමඟ. මේ චරිත හරහා ඔබේ ආලින්දයට එන්නේ අලුත් මුහුණක්. ඇය නමින් සචින්ත්‍යා අරුන්දතී. මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබ මුලින්ම කලාවට සම්බන්ධ වන්නේ 2022 සිරස වසන්ත කුමරිය ලෙස අබිසෙස් ලැබීමත් සමඟය.

 

 ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම 2022 සිරස වසන්ත කුමරිය ලෙස අබිසෙස් ලැබුවා. ඒ ඔස්සේ තමයි මට රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබුණේ. සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ව මතක් කරන්න ඕනේ. සර් මා ගැන විශ්වාසය තියලා සර්ගේ නිර්මාණයට මාව සම්බන්ධ කර ගත්තා. ඒක මට ලොකු ගෞරවයක්. ඒ වගේම ආදරෙන් සහ ගෞරවයෙන් ධනුෂ්ක රත්නායක අයියාව මතක් කරන්න ඕනේ. ධනුෂ්ක අයියාගේ කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලබා දුන්නා. ධනුෂ්ක රත්නායක අයියා කියන්නේ ගොඩක් නවකයින්ට අවස්ථාව ලබා දෙන කෙනෙක්. ඒ එක්කම සිරස ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔවුන්ගේ සිරස වසන්ත කුමරිය ලෙස තේරීම නිසා තමයි මගේ හීනයට යන පාර හැදුණේ. මගෙ මුල්ම නාට්‍ය කෝලම්කුට්ටම ටෙලි නිර්මාණයයි.

 

කොහොමද ඒ අත්දැකීම?

එය මට ගොඩක් ලොකු අත්දැකීමක් කිවුවොත් නිවැරැදියි. මගේ ජීවිතේ ප්‍රථම රංගනය. රූපවාහිනියෙන් නාට්‍යය බලලා තිබුණට නාට්‍යයක් කොහොමද හැදෙන්නෙ කියලා දැකලා තිබුණේ නැහැ. ඉතින් ඒකම මට ලැබුණු ලොකු අත්දැකීමක් වුණා. ඒ එක්කම කෝලම්කුට්ටම නාට්‍යයේ ගොඩක් අපිට තිබ්බෙ ගඟ මැද ඉස්සන් කොටු ළඟ ෂූටින්. ජීවිතේ පළමු වතාවට ඉස්සෝ කොටුවක් දැක්කෙත් එදා තමයි. කාවින්ද්‍යා දුල්ශානි අක්කා එක්ක තමා මට වැඩිපුරම ෂූටින් තිබ්බෙ. අපි ඔරු පැද්දා. මම හරිම ආසාවෙන් වින්ද අත්දැකීම් ගොඩක් තියෙනවා කෝලම්කුට්ටම නාට්‍යය හරහා.

 

ඔබ කවදා හරි නිළියක් වෙන්නම ද ආසා කළේ?

ඒක එහෙම කිවුවොත් තමයි හරි. මම පොඩි කාලෙ ඉඳන්ම කැමැත්තෙන් හිටියේ නිළියක් වෙන්න. මම අම්මට අප්පච්චිට නිතරම කියලා තියෙනවා මට නිළියක් වෙන්න ඕනේ කියලා. එයාලා මට කිවුවෙ මුලින්ම හොඳට ඉගෙන ගන්න. හොඳින් ඉගෙන ගත්තොත් නිළියක් වෙන්න අවස්ථාවක් දෙන්නම් කියලා. ඒ අවස්ථාව අද වෙද්දි ලැබිලා තියෙනවා. ඒ ගැන හරිම සතුටුයි. මගෙ අම්මා ගුරුවරියක්. අප්පච්චි රාජ්‍ය නොවන සංවිධානයක විධායක අධ්‍යක්ෂවරයෙක්. මගෙ මල්ලි දැනට ශ්‍රී ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉගෙන ගන්නවා. මේ හැමෝගෙම සහාය මට ලැබෙනවා.

 

රංගනය ගැන හැදෑරීමක් කරනවද?

මම පාසලේදී පාසල් වේදිකා නාට්‍යය කළා. ඊට පස්සෙ මම ධනුශ්ක රත්නායක අයියා මෙහෙයවන වීණාවි ඇක්ටින් ස්කූල් එකට සම්බන්ධ වුණා. ඒ නිසා මම මේ වෙලාවේ ධනුශ්ක රත්නායක අයියාට සහ ප්‍රියන්ත ලාල් සර්ට ස්තූතිවන්ත වෙනවා.

 

මේ දවස්වල කෝලම්කුට්ටමේ චරිතය සහ කියාදෙන්න ආදරේ තරම් හි චරිත ගැන පොඩ්ඩක් කියමුද?

කෝලම්කුට්ටමේ සංගීතා කියන්නේ ගම්බද චරිතයක්. කෝලම් මුහුණු හදන ගෙදරක දුවක්. හරිම කෙළිලොල් ගම්බද චරිතයක්. කියාදෙන්න ආදරේ තරම් හි චමදරී කියන්නේ නුවර හැදිලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගෙන නැවත නුවර ඇවිත් ඉන්න චරිතයක්. ඒ චරිතයත් ටිකක් කෙළිලොල් චරිතයක්. හැබැයි එකිනෙකට වෙනස් වූ චරිත දෙකක්.

 

ඒ චරිත දෙකට මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර මොනවාද?

කෝලම්කුට්ටමේ සංගීතාට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම යූ - ටියුබ් එකට දාලා තියෙන කමෙන්ට්ස් කියවනවා. කියාදෙන්න ආදරේ තරම් හි චමදරී කියන චරිතය මෑතකදී නාට්‍යයට එකතු වුණේ. දැනටමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තවම මම මේ කලාවට ආවා විතරයි. ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාර දකිද්දී මට ලොකු සතුටක් දැනෙනවා. ඉදිරියටත් ප්‍රතිචාර ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

 

මොන වගේ චරිත ද කරන්න කැමැති?

මට දැනට ලැබිලා තියෙන්නේ ටිකක් දඟකාර කෙළිලොල් චරිත. ඒ නිසා මම ආසයි ටිකක් අහිංසක තැන්පත් චරිතයක් කරන්න. ඒ වගේම විලන් චරිතයක් කරන්නත් ආසයි. මොකද හැම චරිතයක් තුළින්ම අත්දැකීම් ලබන්න පුළුවන් නිසා විවිධ චරිත කරන්නයි කැමැත්ත.

 

දිගටම රඟපාන්න ද ආසාව?

මම දැනට ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙන ගන්නවා. ඒ නිසා අධ්‍යාපන කටයුතු කරගෙන යනගමන් හොඳ නිර්මාණවලට අවස්ථාව ලැබුණොත් දායක වෙනවා. දිගටම රංගනයේ යෙදෙන්න තමයි ආසාව තියෙන්නේ. බලමු ඉතින් ඉස්සරහට.

 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ නැන්දාව. මුලින්ම අප්පච්චි කැමති වුණේ නැහැ. මම අවුරුදු කුමාරි තරඟයට යනවට. නැන්දා තමයි අප්පච්චිට කිවුවේ මෙයාට අවස්ථාවක් දෙමු කියලා. නැන්දා තමයි මට පාර හදලා දුන්නේ එදා අවුරුදු කුමරි තරඟයට යන්න‍.

ඒ වගේම නංගිත් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ෂූටින් යද්දී මගේ තනියට එයත් එනවා. ඒ එක්කම කැම්පස් එකේ මගේ යාළුවො මතක් කරන්න ඕනේ. මම කැම්පස් එකේ හොස්ටල් එකේ ඉඳලා ෂූටින් යද්දී එයාල එනවා මගේ තනියට. මගේ ගමනට මගේ යාළුවො තුන්දෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ හැමෝම හරිම ආදරෙන් මතක් කරනවා.

 

අනාගත බලාපොරොත්තු මොනවාද?

උසස් අධ්‍යාපනය ලබන ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියටම යන්නයි මගේ බලාපොරොත්තුව. ඒ එක්කම කවදා හරි සම්මානනීය නිළියක් වෙන්න ලොකු ආසාවක් තියෙනවා.

 

ප්‍රේක්ෂකයන්ට මොන වගේ දෙයක් ද කියන්න තියෙන්නේ?

තවම මට ලොකු ප්‍රේක්ෂකයින් පිරිසක් නැහැ. ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රශංසා සහ විවේචන මම හරිම ආදරෙන් භාර ගන්නවා. මම මේ මොහොතේ ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලන්නේ මගේ අඩුපාඩු තියෙනවා නම් පෙන්වා දෙන්න කියලා.

 

Comments