මිනිසුන් විවිධාකාරයි කියන එක ගීතයට ලැබෙන ප්‍රතිචාරවලින් මට දැනෙනවා | සිළුමිණ

මිනිසුන් විවිධාකාරයි කියන එක ගීතයට ලැබෙන ප්‍රතිචාරවලින් මට දැනෙනවා

සුමුදු සයනේ සිනිඳු සිරුරේ සිතුවමයි

වැතිර තෙපලන මිහිරි වදනේ උණුහුමයි

නුරා බැල්මෙන් අසංවර සිත චංචලයි

ඉවුරු කලතා ඔබේ ආදර රස ගඟයි

 

සිත් සන්තොසින් සපැමිණි

සමනල රෑනක සුන්දර දඩයම

සඳ සමඟ රමණයෙන්

අඳුරු ගොදුරු සොයා ඇදෙයි

 

සිනා සිසී සීසීකඩ

සිහින සරුංගල්

සැලි සැලී සරසර හඬ

නගන සමනලුන්

 

රුදුරු සැඩ සුළි සුළඟ හන්දා

සිදු වුණේ ආපසු හැරෙන්නයි

වෙනත් මිහිරක් තවත් නොපතමි

සිතේ තනිවම දිවි ගෙවන්නයි

 

ගායනය - චතුර සහන් ගුණවර්ධන

පද රචනය - ආචාර්ය බන්දුල ගුණවර්ධන

සංගීතය - නදීක ගුරුගේ

සංගීත සංයෝජනය - මංජුල බණ්ඩාර

 

දැනුම් තේරුම් ඇති කාලයේ පටන් සංගීත භාණ්ඩවලට ඇලුම් කරනවා වගේම සංගීතය විෂයක් විදියට විශාරද දක්වා හැදැරූ චතුර සහන් ගුණවර්ධන එතැනින් නොනැවති, තමන්ගේම ගීත කිහිපයක් නිර්මාණය කර ගන්නවා. සහන් ගුණවර්ධන මෙතෙක් ගැයූ ගීත ඔහුගේ YouTube නාළිකාව මඟින් අහන්න දකින්න පුළුවන්. අද මේ කතාබහ චතුර සහන් ගුණවර්ධනගේ අලුත්ම ගීතය වන “සිහින සරුංගල්“ ගැන

 

2023 පළවෙනි ගීත නිර්මාණය “සිහින සරුංගල්“ ගීතයේ නිර්මාණ පසුබිම ගැන කතා කළොත්?

මේ සින්දුව මට ලියලා දෙන්නේ මගේ පියා. එක්තරා සිදුවීමක් පසුබිම් කරගෙන කරගෙන මීට මාස හයකට වගේ උඩදී තාත්තා අහම්බෙන් වගේ ලියපු පද පෙළක්. ඒ තුළ අමුතු රැඩිකල් ගතියක් සහ සමාජයේ හැංගිලා කතා කරන තේමාවක් ගැන තිබ්බේ. තාත්තා ලියන විදියට සහ ඒ තුළ තියෙන සාහිත්‍ය රසයට මම ගොඩක් ආසයි. ඒ ඔක්කොම හේතු කරගෙන මම කිවුවා මේකෙන් සින්දුවක් කරමු කියලා. මම ලංකාවේ ෆලෝ කරන කෙනෙක් තමයි නදීක ගුරුගේ අයියා. ඔහු ඒ කාලේ ඉඳන් කරපු නිර්මාණ මම දැකලා තියෙනවා. මම පිටරට ගියත් නදීකා අයියාව තමයි මම ෆලෝ කරේ. ඒ නිසා මේ සිහින සරුංගල් සින්දුව දැනුණු වෙලාවෙත් මම තාත්තට කිවුවේ අපි මේක නදීක අයියාට දෙමු කියලා. නදීක අයියත් මම ආසම කරන විදිහේ මියුසික් කැටගරි එකක් වන ක්ලැසික් රොක් කියන එක තුළින් මේ පද පෙළට සංගීතය මුසුකරලා දුන්නා. ඒ විදිහට තමයි ගීතය නිර්මාණය වුණේ

 

සමාජයේ වෙනත් පැතිකඩක් මේ තුළ තියෙන්නේ, කොහොමද ලැබුණු ප්‍රතිචාර?

ඇත්තටම මේක අපි රිලීස් කළේ ජනවාරි 31. එදා ඉඳන්ම මම හිතුවේවත් නැති විදිහට ප්‍රතිචාර ලැබුණා. අපි යොදා ගත්ත රූප රාමුවට පවා විවිධ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම මිනිසුන් කොයි තරම් නම් විවිධාකාරයි ද කියන එක මේ සින්දුව ට ලැබෙන ප්‍රතිචාර තුළින් මට දැනෙනවා. ගොඩක් අය එක එක කෝණ වලින් ගීතය ගැන හිතන්න අරන් තිබුණා. හැමෝම කියන්නේ ලංකාව වගේ රටක් තුළ විවෘතව කතා නොකරන මාතෘකාවක් ඔස්සේ නිර්මාණය වුණු ගීතයක් කියලා. දැන් දැන් තමයි ටිකක් හරි මේ ගැන කතා වෙන්න පටන් ගෙන තියෙන්නේ. ඒකත් එක්තරා විදිහකට මානුෂිය හැඟීමක් සහ හෝමෝන ක්‍රියාකාරිත්වයේ දේවල් නිසා දැනෙන හැඟෙන දෙයක් බව. ඒ නිසා මෙහි එන පද පෙළ සංගීතය සහ ගායනාව වගේම විෂුවල් එක ගැන බොහෝ දෙනා මේ වෙද්දී ප්‍රතිචාර දක්වමින් ඉන්නවා. ලැබෙන ප්‍රතිචාර බොහොමයක් හොඳ ප්‍රතිචාර. ඒ ගැන සතුටක් තියෙනවා.

 

මෙහි රූප රචනාව ගැනත් කතා කළොත්?

රූප රචනාව කරන්නේ මගේ සහෝදරයෙක්. ඔහු තමයි මගේ කලින් ගීත වන “මගේ කියා“ සහ “ඔබ නැති ලෝකය” කියන දෙකේම රූප රචනාව කළේ. මේ ගීතය නිර්මාණය වෙද්දී මම ඔහුට තමයි කිවුවේ මෙහෙම වැඩක් තියෙනවා පොඩි ෆිල්ම් වැඩක් කරමු කියලා. එතැනදී ඔහුත් හිටියේ දැන් තියෙන මේ විෂුවල් සම්ප්‍රදායෙන් ටිකක් එළියට ගිහින් වෙනස් විදියේ අලුත් කොලිටි වැඩක් කරමු කියන තැන. ඔහු නමින් දොන් මාධව කරුණානායක. ඔහුත් මගේ ආච්චිගේ ගම වන වග - පහත්ගම කියන ගමේ. ඔහු තමයි මෙම විෂුවල් එකේ පිටපත සහ කාස්ටින් එක කරේ. ඒ සියල්ලටම මම ඔහුට උපරිම නිදහස දුන්නා.

සිහින සරුංගල් ඔබේ කීවෙනි ගීතයද?

මේ හතරවෙනි ගීතය. මුල්ම ගීතය වෙන්නේ සකුන්තලා. ඊට පස්සේ ඔබ නැති ලෝකේ සහ මගේ කියා කියන ගීත දෙක නිර්මාණය වුණා.

 

ඔබ ගායකයෙක් දක්වා පැමිණි ගමන් මඟ ගැන කිවුවොත්?

මම 2006 දී උසස් පෙළ කරන කාලේ විශාරද විභාගය සමත් වුණා. ගායන සහ වයලින් වාදන කියන දෙඅංශයෙන්ම. මට අවශ්‍ය වෙලා තිබ්බේ සංගීතඥයෙක් වෙන්න. මාව ළඟින් ආශ්‍රය කරපු හැමෝම දන්නවා ඒ. ආර්. රහුමාන් කියන නම මම බිත්තියේ ගහගෙන හිටිය කෙනෙක්. මම ආස කළේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න. නමුත් උසස් පෙළින් පස්සේ ගෙදරින් කැමති වුණේ වාණිජ අංශයෙන් උපාධිය සහ මාස්ටර් එක ලබා ගන්නවට. ඒ නිසා විදෙස්ගතව ඒ පැත්තෙන් ඉගෙනීම් කටයුතු කළා. නැවත ලංකාවට ආවට පස්සේ මට ඕනේ වුණා සංගීතය කරන්න. ඒ අනුව තමයි 2019දී නැවත සංගීත කටයුතු පටන් ගත්තේ. මම අවුරුදු තුනේදී මුකුත් නොතේරෙන වයසේදී ඉන්දියාවේ ගිහින් මුලින්ම අල්ලලා තියෙන්නේ සර්පිනාවක්. ඒක අදටත් මගේ ගාව තියෙනවා. මම ඇත්තටම ආටිස් කෙනෙක් සහ මගේ වෘත්තීය වෙන්නේ කෘෂිකර්මය. මම වගා කරනවා. වගා කරන්නෙත් වස විසෙන් තොරව. 2014දී වගා කරන්න ගත්තේ. කවුරුත් හිතන්නේ නැති පැතිවලින් මම යන්නේ. මම කැමැති මාව ආටිස් කෙනෙක් විදිහට සහ ව්‍යාපාරිකයෙක් විදියට පිළිගන්නවාට. මොකද ඒක තමයි පොඩි කාලේ ඉඳන්ම මගේ එකම බලාපොරොත්තුව.

 

පසුබිම් ගායනයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණද?

මේ වෙද්දී පුංචි තිරයේ නිර්මාණ දෙකකට පසුබිම් ගායනයෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එකක් ළඟදීම එන්න තියෙන “එහෙම වුණොත්” කියන නාට්‍යය. ඒ වගේම සරත් කොතලාවලගේ චිත්‍රපටයේ පසුබිම් ගායනයට ආරාධනා ලැබිලා තියෙනවා. එය සංගීතවත් කරන්නේ ගයත්‍රී කේමදාස.

 

ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

ජීවිතේ ගැන තෘප්තිමත්. මම නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඒ නිසයි මෙහෙම ඉන්නේ. මේ ආපු කෙටි ගමන තුළ සහ කරපු දේවල් තුළ නිවිච්ච ගතියක් තියෙනවා. ඒ නිසා ජීවිතේ ගැන සතුටුයි.

Comments