
මහේන් මට උදවු කරයි ඒ විශ්වාසය මට තියෙනවා
ඉක්මනින් විවාහ ගිවිස ගත්තේ මහේන් එක්ක කටාර් යන්නයි
හර්ෂි රසංගා කියන්නේ මේ දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක් වූ යුවතියක්. අවුරුදු විස්සක මේ පුංචි කෙල්ල තම වයසට වඩා මුහුකුරා ගිය වචන හැසිරවීම හා ඇගේ විලාසිතා නිසා තමයි කතාබහට ලක් වෙන්නේ. සුජාතා ටෙලි නාට්‍යයේ ළමා චරිතයකට පණ පෙවූ ඈ පසුගිය කාලයේ ළංවී කියන නාට්‍යයෙනුත් දකින්න ලැබුණා. ඇය පසුගියදා විවාහ ගිවිස ගත්තා. ඒ ගුවන් සේවයේ නියුතු තරුණයෙක් එක්ක. විවාහ ගිවිස ගැනිමත් එක්ක සම්පුර්ණයෙන්ම රංගනයට සමු දුන් ඈ විදෙස් ගත වෙනවා කියලා ආරංචියි. හර්ෂිගේ අලුත්ම තොරතුරු දැන ගන්න ඇය වෙනුවෙන් අපි ඉඩක් වෙන් කළා.
හර්ෂී ජීවීතේ අලුත් පිටුවක් පෙරළුවා, මේ පුංචි වයසට පවුල් ජීවිතයක් කියන එක බර වැඩි නැද්ද ..?
පහුගිය කාලේ බොහෝ දෙනෙක් කිව්වනේ මම මගේ වයසටත් වඩා මුහුකුරා ගිහින් කියලා. ඒ කතාව ඇත්ත. මම පුංචි වයසින්ම ජීවිතේ ගැන වෙනස්ම විදිහට හිතන්න වැඩ කරන්න පුරුදු වුණු කෙනෙක්. විවාහ ගිවස ගත්තේ ඒ ගැන දැනගෙන හා මට එයා එක්ක එකට ජීවත් වෙන්න පුළුවන් කියන හැඟීම දැනුණු නිසයි. එයා මට වඩා අවුරුදු හයක් වැඩිමහල්. ඒ නිසා මම හිටියා වගේම තව කෙනෙක් එක්ක ජීවීතේ බෙදා ගන්න එක කරන්නේ. ඒ ජීවිතේ බර නැහැ. ජීවිතේ බර වෙන්නේ මම තනියම ඔක්කොම බර ඇද්දොත් තමයි. මහේන් මට උදවු කරයි. ඒ විශ්වාසය මට තියෙනවා. ඒ නිසා ජීවිතේ තවම සැහැල්ලුයි.
ඔහුගේ පළමු මැසේජ් එකෙන්ම ඔබට ඔහුව හුරු බව දැනෙනවා..?
ඒක හරි පුදුමයි. මහේන් අනුරාධ තමයි එයාගේ නම. එයා ඉන්ස්ටර්ග්‍රෑම් මාව ෆලෝ කරනවා. මම අහසට ආදරේ කරන කෙනෙක්. නිතරම වගේ අහස ගැන ස්ටෝරිස් දානවා. දවසක් එයා මම දැම්ම අහස ස්ටෝරී එකකට ප්‍රතිචාර දක්වලා තිබ්බා. හරි වෙනස් විදිහට. ඒ නිසා මම එයාගේ ප්‍රොෆයිල් එක බැලුවා. එයා මට මැසෙජ් කරා. ඒක හරි හුරු පුරුදු ගතියක් දැනුණා. ඒ මැසේජ් එක කතාබහ දක්වා දුරදිග ගියා. කැමැත්ත ඇහුවා..මම කිව්වා ගෙදර ඇවිත් අහන්න කියලා. අපේ ගෙදරින් එයාට කැමැත්ත දුන්නා. ඊට පස්සේ තමයි අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නේ. අවුරුදු එකහමාරක් විතර ආදරේ කරා.
ඔබ නිළියක් බව ඔහු දැනගෙන ද ආශ්‍රය කළේ..?
මම නිළියක් කියලා එයා මුල ඉඳලා දන්නවා. නමුත් නාට්‍ය බලලා තිබ්බේ නැහැ.
ආදරේ නිසා ආදරෙන් වැලඳ ගත් නිළිකමත් අහිමි වෙනවා නේද ..?
ගොඩක් අය කියන්නේ මම රංගනයෙන් ඈත් වෙන්නේ එයා නිසා කියලා. එයා අදටත් මට කියලා නැහැ රඟපාන්න එපා කියලා. මේක මගේ තීරණයක්. මම උසස් පෙළ කළේ නැහැ විදෙස් අධ්‍යාපනය ලබන අරමුණින්. නමුත් ඒ කාලේ ළංවී නාට්‍යයේ වැඩ. විදෙස්ගත වෙන එක කල් දැම්මේ ඒ නාට්‍ය නිසා. දැන් ඒකේ වැඩ ඉවරයි. ඉක්මනින් විවාහ ගිවිස ගත්තේ මහේන් එක්ක කටාර් යන්නයි. එහේ ගිහිං වැඩිදුර ඉගෙන ගන්නවා. ඊට පස්සේ අවුරුදු දෙක තුනකට පස්සේ වෙඩින් එක ගන්න ඉන්නේ. ඒ වගේම කියන්න ඕන මම අන්තිම කාලේ නිළිකම නිසා කළකිරීමකට ලක් වුණා. ඒකත් රටින් යන්න හේතුවක් වෙන්න පුළුවන්
ඔහු කෝටිපතියෙක්ලු..?
අනේ නැහැ. ඔහුත් මම වගේ සාමාන්‍ය කෙනෙක්. ඔහු කෝටිපතියෙක් නෙමෙයි. ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්.
ඔබේ විලාසිතාවලටත් ඇතැමුන් කතා කියනවා, මහේන්ගෙන් ඔබේ විලාසිතාවලට බාධාවක් නැද්ද ..?
මම හරි ආසයි විලාසිතා කරන්. ඒ නිසා මම කරනවා. එයා හරි ආසයි මම ලස්සනට අඳිනවට. අකමැති නැහැ.
ඔබ ප්‍රසිද්ධියේ කන්‍යාභාවය ගැන කතා කරලා චෝදනාවට ලක් වුණා. ඔබේ මවුපියන් බය වුණේ නැද්ද ඔබ ගැන ..?
මාව හොඳටම දන්නේ එයාලා. හැමෝටම පොදු දෙයක් මම කතා කරාම මොකද වෙන්නේ. මට නම් ඒක සාමාන්‍ය දෙයක්. මගේ අම්මා තාත්තා වුණත් සංස්කෘතිය කියලා ඒක මත්තේ ජීවත් වෙන දෙන්නෙක් නෙමෙයි. සංස්කෘතික දේවල්වලට ගරු කරනවා. මම විවාහ වෙනවට එයාලා කැමති වුණෙත් මම ගැන බයක් නැති නිසයි.
කලාවෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්නද කල්පනාව..?
නැහැ. රංගනයෙන් අයින් වුණාට මම ගායනය පැත්තට එනවා. අලුත් ගීත දෙකක් මේ දවස්වල කරමින් ඉන්නවා. ඒවා එළිදක්වනවා. ඒ වගේම මම කරපු නාට්‍ය කිහිපයක් එන්නත් තියෙනවා. මම නැති වුණාට ඒක දැනෙන්නේ නැති වෙයි. ඒ වගේම රසික ප්‍රතිචාර ගැන සතුටුයි. ඒ ප්‍රතිචාර ලබන්න ලංකාවේ ඉන්න නැති එක ගැන නම් දුකයි. වෙන කිසි දෙයක් ගැන මම දුක් වෙන්නේ නැහැ.
හර්ෂණී වීරරත්න