බිරිය ඝාතනයේ වරදට චූදිත සතාසිවම් නිදහස් | Page 5 | සිළුමිණ

බිරිය ඝාතනයේ වරදට චූදිත සතාසිවම් නිදහස්

මහාදේවන් සතාසිවම් සිය නඩුව වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ඇතුළු නීතිඥයන් සමඟ

- චූදිතට එරෙහි සාක්ෂි අධිකරණයේ දී ඔප්පු කිරීමට නොහැකි වෙයි
- විලියම්ගේ සහ ටැක්සි රියැදුරුගේ සාක්ෂි පරස්පරයි
- ලෝ සුපතල අධිකරණ වෛද්‍ය සිඩ්නි ස්මිත් විමර්ශනයට කැඳවයි

තාසිවම් මහත්මියගේ ඝාතනයෙන් දින දහයකට පමණ පසු මෙතෙක් අතුරුදන්ව සිටි විලියම් මාතර දී පොලිස් භාරයට ගැණුනු අතර ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පොලිසියට කළ ප්‍රකාශය විමර්ශනයන්ට වඩාත් වැදගත් විය. 

ඝාතනය සිදු වූ දින පෙ.ව. 9.30ට පමණ සතාසිවම් යුවල නිදන කාමරයේ දී විශාල ආරවුලකට මුල පිරූ බවත් ඒ වන විට සතාසිවම් මහත්මිය සතාසිවම් මහතාට එරෙහිව දික්කසාද නඩුවක් ගොනු කර තිබූ හෙයින් එය ඉවත්කර ගන්නා ලෙස ඔහු ඇයට තර්ජනය කළ බවත් විලියම් පැවසීය. සතාසිවම් මේ ගැටුම අවසානයේ බිරිය ඇඳ මතට තල්ලු කොට බිරියගේ ගෙල වැරෙන් පෑගූ බව තමන් දුටු බවත් ඔහු වැඩිදුරටත් විමර්ශන නිලධාරින්ට පවසා තිබිණි.

විලියම්ගේ සිරුරේ තිබුණු සීරීම් තුවාල ගැන පොලිසිය සොයා ගත් කරුණු විමසීමේ දී විලියම් පොලිසියට කියා තිබූණේ සතාසිවම් මහතා ඒ වනවිටත් පණ අදිමින් සිටි සතාසිවම් මහත්මිය ඔසවා ගෙන ගරාජයට පැමිණෙන ලෙස තමාට විධානය කළ බවය. එසේ ඇගේ සිරුර ඔසවාගෙන එන අවස්ථාවේ දී එම සීරීම් තුවාල සිදු වූ බව ද ඔහු පොලිසියට ප්‍රකාශකර තිබිණි.

ඒ වනවිටත් සතාසිවම් මහත්මියගේ වටිනා ආභරණයක් අතුරුදන් වී තිබූ අතර වැඩි දුර සොයා බැලීම්වලදී එය විලියම් විසින් විකුණා ඇති බවට පොලිසියට සාක්ෂි ලැබී තිබිණි. ඒ ගැන විලියම්ගෙන් කළ විමසීමේ දී ඔහු පොලිසියට පවසා සිටියේ ‘කට වසාගෙන සිටින ලෙස‘ පවසා සතාසිවම් මහතා විසින් එය තමාට ‘තෑගි කළ‘ බවයි.

විලියම්ගේ සාක්ෂිය සහ කුලී රථ රියදුරාගේ සාක්ෂිය එකිනෙකට පරස්පර වීම නිසා අධිකරණය ද දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්විය. මේ අතර සතාසිවම් මහත්මියගේ ඥාතීන් ප්‍රකාශ කර සිටියේ දික්කසාද නඩුව සතාසිවම් මහත්මියගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කිරීම හේතුවෙන් යම් හෙයකින් එය පැරදුණහොත් විශාල මුදලක් වන්දි ලෙස සතාසිවම් මහත්මියට ගෙවීමට සිදු වන නිසා සතාසිවම් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවත් එය සැඟවීමට කුලී රථ රියදුරුට මුදල් ලබා දී ඔහු නම්මවා ගෙන ඇති බවත්ය. මෙම හේතු සලකා බැලීමේ දී සතාසිවම් වෙත නැවත සැකය එල්ල විය. මහාචාර්ය ද සේරම්ගේ අධිකරණ වාර්තාව විලියම්ගේ කට උත්තරය සමඟ නොසැසඳීම සහ සතාසිවම් මහත්මියගේ වස්ත්‍රයෙහි ශුක්‍රාණු පැල්ලමක් නිරීක්ෂණය වීම මේ අවස්ථාවේදී පරීක්ෂණය වෙනත් අතකට ගෙන යන්නට සමත් විය. 

අද වන් තාක්ෂණය දියුණුව නොතිබූ අවධියක එය කාගේදැයි සොයා ගැනීමට නොහැකි වීමෙන් වඩාත්ම සිදු විය හැකි සිද්ධිය ලෙස නිශ්චිත වූයේ එම ශුක්‍රාණු විලියම්ගේ බවයි. ඒ වනවිට ලැබුණු තොරතුරු හා සාක්ෂි අනුව නිවසේ මෙහෙකරු හෙවත් දැනට චෝදනා ලැබ සිටින විලියම් ලිංගික අඩත්තේට්ටම් කිරීම සහ ආභරණ සොරා ගැනීම උදෙසා මෙම ඝාතනය සිදු කර ඇති බවට නිගමනය විය. එය එසේ වුවද සතාසිවම් මහත්මියගේ පාර්ශ්වයෙන් එය පිළිගැනීමට මැලි වූ අතර ශ්‍රී ලංකා අධිකරණ වාර්තාවේ මරණය සිදු වූ වේලාව ආසන්න මිනිත්තුවට නිශ්චය කර නොතිබීම ද ඔවුන්ගේ වාසියට හේතුවක් විය.

මේ ගැටලුකාරී තත්ත්වය නිසා මෙම ඝාතන නඩුව මෙරට අධිකරණයට පවා විසඳා ගත නොහැකි වූ අතර සතාසිවම් ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්ව සිටි ‘චරිතයක්‘ වූ නිසාම ඒ වන විට මෙම නඩුව ජාත්‍යන්තරයේ ද අවධානයට ලක්ව තිබිණි. එනිසාම මෙය විසඳා ගැනීම සඳහා ලෝ සුපතළ අධිකරණ වෛද්‍ය ‘සිඩ්නි ස්මිත්‘ මෙරටට කැඳවීමට ද තීරණය විය.

සාක්ෂි සියල්ල දැඩි විමර්ශනයට ලක් කළ සිඩ්නි ස්මිත් අවසන් නිගමනය ලෙස නිශ්චිතව ප්‍රකාශයට පත් කරනු ලැබූවේ මෙම මරණය සිදු වී ඇත්තේ උදෑසන 11න් පසුව බවයි. ඒ වනවිට සතාසිවම් නිවසින් පිට වී සිටි බවට මේ වන විටත් ඕනෑතරම් සාක්ෂි ගොනු වී තිබිණි. සතාසිවම්ට එරෙහිව පැහැදිලි සාක්ෂියක් නොමැති විය. මේ සියලු කරුණු තම සේවාදායකයාගේ වාසියට ගොනු කරගත් විත්ති පාර්ශ්වයේ නීතීඥ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ඉතා දක්ෂ අන්දමින් නඩුව මෙහෙයවමින් තම සේවාදායක සතාසිවම් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරගනු ලැබීය.

කෙසේ හෝ දියණියන් සිවුදෙනකුට ආදරණීය මවක් අහිමි කරමින් සිදු කළ මේ අමානුෂික ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න නිශ්චිත ලෙස අනාවරණය වීමක් නොමැතිවම නඩුව අවසන් විය. මෙය මෙසේ නොවිසඳීම සැඟවී ගියේ නීතීඥයාගේ දක්ෂතාව නිසා ද? එසේත් නැතිනම් සාක්ෂි තිබියදීත් එය නිසියාකාරව ඔප්පු කර ගැනීමට තරම් සුදුසු මට්ටමට තාක්ෂණය දියුණු නොවූ නිසා ද යන්න අදට ද ගැටලුවකි. බොහෝ දෙනා විශ්වාස කළ පරිදි සැකය සතාසිවම් දෙසට එල්ල වුවද ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම හේතුවෙන් කෝපයට පත් ජනතාව මිනීමැරුම අසල වංගෙඩියක් තිබීම හේතුවෙන් මෙය වං ගෙඩිය සිදු කළ මිනීමැරුමකැයි උපහාසාත්මකව නම් කිරීමට පවා පෙලඹිණි.

සියලු චෝදනාවලින් නිදහස් වූ සතාසිවම් හට බිරියගෙන් විශාල දේපළක් ද හිමි වූ අතර ඔහු ඒවා ද විකුණා දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආ අනියම් විදෙස් පෙම් සබඳකම මල්ඵල ගන්වමින් සිය පෙම්වතිය විවාහ කරගෙන විදෙස්ගත වූ බව ද සඳහන් වේ. සත්‍ය අදට ද සැඟව ගොසිනි. වර්තමානයේ මෙවන් දෙයක් සිදු වූයේනම් ඕනෑ තරම් විසඳුම් තිබෙන බව රහසක් නොවේ. පොලිසියේ වත්මන් ක්‍රියාකාරීත්වය මෙන්ම තාක්ෂණයේ දියුණුව අද වන විට අපරාධවල හතුරකු බවට පත්වී තිබීම කිසිවකු අපරාධයක් කරන්නට පෙර එක් වරක් නොව සිය දහස්වර සිතීමට පොලඹ වන්නකි.

සකස් කළේ - නාමලී ගමගේ

Comments