
ඔහු ඔහුගේම ආරක් ගොඩනඟා ගත් අයෙක්. සුවිසල් වේදිකාවන් හඬ පෞරුෂයෙන් සෙලවූ පුංචි මිනිහෙක්. ඉංජිනේරුවෙක්, වැඩසටහන් මෙහෙයවන්නෙක් , නිවේදකයෙක්, ගායකයෙක්, ව්‍යාපාරිකයෙක් වගේම යෝගා ගුරුවරයෙක් වන ඔහු ක්ලීෆර්ඩ් රිචර්ඩ්.
මේ දවස් වල අලුත් වැඩ කටයුතු කොහොමද?
විශේෂ සැලසුමක් නැහැ. සුපුරුදු වැඩකටයුතු කරගෙන යනවා. මගේ මිතුරියක් වන ආශෙන්සනී වීරසිංහ සමඟ මේ වසරේ ටෝක් ශෝ එකක් කිරීමට සැලසුම් කර තිබෙනවා. “ආශි ඇන්ඩ් ක්ලීෆර්ඩ් අන්ලිමිටඩ්“ ලෙස එය නම් කර තිබෙනවා. ඊට අමතරව විදේශ සංචාර, යෝග පන්ති ආදී සියලු වැඩකටයුතු සමබර කරගෙන සතුටින් කාලය ගත කරනවා.
ක්ෂේත්රයන් ගණනාවක් ඔබ සමබරව කරගෙන යන්නේ කොහොමද?
මම කරන හැම ක්ෂේත්රයක්ම මම කැමති විෂයයන්. මම දෙයක් සිදු කරන්නේ එය කවුරුත් කරන නිසා නෙමෙයි. යමක් කැමති නම් වගේම යම් හැකියාවක් මට පිහිටා තිබෙනවා නම් එයින් උපරිම ප්‍රයෝජන මම ගන්නවා. එසේ කැමැත්තෙන් යමක් කරන විට කාර්යයන් සීයයක් කළත් එකී සියලු දෙයටම කාලය වෙන් වෙනවා.
බොහෝ දෙනෙක් මුල්‍යමය ප්රතිලාභ මත කලාවෙන් ඈත් වන යුගයක ඔබ කලාව තුළ ම රැඳී සිටින්නේ ඇයි?
එයට දිය හැකි කෙටිම පිළිතුර රුචිකත්වයයි. මම වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. නමුත් එකී ක්ෂේත්රයට අකැමැත්මැත්තක් නොමැති වුණත් මම කැමැත්තෙන් කලාවට යොමු වුණා. එය දෛවයේ අනුව සිදු වූවක්ද යන්න කියන්න දන්නේ නැහැ . නමුත් කලාව තුළ ගුණාත්මක දෙයක් කළොත් මුදල් ඉපැයිය හැකියි.
ජාත්‍යන්තරය සමඟ උරෙනුර ගැටෙන කෙනෙක් ලෙස ඊට සාපේක්ෂව ලංකාවේ කලාව තුළ සංවර්ධනය විය යුතු අංශයක් ලෙස ඔබ දකින්නේ මොනවා ද?
අපේ රටේ කලාව තුළ පවතින ප්‍රධානම අඩුපාඩුව විධිමත් පුහුණුව ලබාදෙන ආයතන නොමැති වීමයි. ජාත්‍යන්තරය තුළ ඕනෑම කලා ක්ෂේත්රයක විධිමත් අධ්‍යාපන ලබාගත හැකි පාසල් පවතිනවා. නමුත් ලංකාව තුළ යම් වෘත්තියකට අනුගත වෙමින් එහි රැඳී සිටිනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැහැ. එසේ අනුගත වීමට නොහැකි අය එකී වෘත්තියෙන් ගිලිහෙනවා. ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍ය පාවිච්චි නොකිරීම වගේම ඊට ලැජ්ජාශීලි වීමත් අපට ජාත්‍යන්තරය හා උරෙනුර ගැටීමට බාධාවක්. ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමේ දී යම් යම් වැරදීම් සිදු වුවත් එයට ලැජ්ජා විය යුතු නැහැ. මොකද ඒ අපේ භාෂාවක් නෙමෙයි. නමුත් අපේ භාෂාවක් නොවුණත් එය බැහැර කිරීමට අපට හැකියාවක් නැත්තේ එය ජාත්‍යන්තරය ග්‍රහණය කර ගැනීමට අත්‍යවශ්‍ය නිසයි. ලංකාවේ තිබෙන අනෙක් අර්බුදකාරී තත්ත්වය තමන් යම් දෙයක් නොදන්නා බව දන්නැති කමයි. යම් දෙයක් නොදන්නා බව දන්නවා නම් එය ඉගෙනීමට අවකාශ තිබෙනවා . නමුත් දන්නැතිකම නොදන්නා විට එකී සීමාව තුළම මිනිසුන් හිරවෙනවා.
නිවේදන කාර්යය වර්තමානයේ ගිරා සංස්කෘතිය තුළ හිර වී තිබෙනවා. ඒ වගේම අසැබි වචන භාවිතය විලාසිතා බවට පත් වී තිබෙනවා. මේ ගැන ඔබ කොහොමද දකිනේ?
ඒ ප්‍රවණතාවය පිළිබඳ සතුටු දායක මතයක මම නැහැ . ශබ්දකෝෂයට වචන වැඩිවීම සතුටුදායක තත්වයක්. නමුත් වචන ප්‍රේක්ෂකාගාරයට අමිහිරි නම් ගෝචර කරගැ
නීමට අපහසුයි නම් එය සාර්ථක ව්‍යායාමයක් නෙමෙයි. ඒ වගේම නිවේදන කාර්යයට බර වචන භාවිතා කිරීමත් ගැලපෙන්නෙ නැහැ. නොගැළපෙන හේතුපාඨ කීම මිනිසුන්ට ග්‍රහණය කර ගැනීමට අපහසු වෙනවා. සරල වීම තුළ අසන්නන් හා බලා සිටින්නන් අපට සම්බන්ධ කර ගැනීමට පහසුයි. සරල වචන සීයක් දැනගෙන එය නිවැරදිව හැසිරවීමට හැකියාව තිබෙනවා නම් එය වඩාත් වටිනවා.
නිවේදන කාර්යය තුළ ඔබ වෙනම හැඩයක් අනන්‍යතාවයක් ගොඩනඟා ගත් අයෙක්. එසේ ගොඩනැඟීමට ඔබ කළ ව්‍යායාම් මොනවාද?
යම් කාර්යයක් අපට භාර දුන් විට එය කළ යුත්තේ අපේම විලාසිතාවකට .එසේ නොවුණොත් අපගේ අනන්‍යතාවය ගිලිහෙනවා. යම් කාර්යයකට කෙනකුව අනුකරණය කළොත් එහි අනන්‍යතාවය නැති වෙනවා. එක් එක් අයට වෙන්වූ අනන්‍යතාවය එකිනෙකා තේරුම් ගත යුතුයි. මට භාර දෙන වැඩේ සුවිශාල කාර්යයක් වුනත් සරල, කුඩා කාර්යයක් වුණත් මගේ ක්‍රමවේදයේ වෙනසක් සිදුවෙන්නෙ නැහැ. යම් කෙනෙක් මාව යම් කාර්යයකට තෝරා ගන්නවා නම් ඔහු හෝ ඇය තෝරාගන්නේ නිවේදකයෙක් තෝරාගැනීමේ පරමාර්ථයකින් තොරව ක්ලීෆර්ඩ් රිචර්ඩ්ව තෝරා ගැනීමේ අරමුණින් නම් මම එතැනදී සාර්ථකයි. ඇතැම් වැඩසටහන් වලට මට සහභාගි වෙන්න අපහසු වූ දින මාරු කිරීමට පවා සංවිධායකයන් පෙලඹෙන්නේ ඒ කාර්යයට මාව අත්‍යවශ්‍ය පුද්ගලයකු බවට පත්වූ නිසයි. එවැනි ප්‍රතිරූපයක් ගොඩනැගී තිබෙන්නේ මටම ආවේණික වූ විලාසිතාවක් මා සතු නිසයි.
ඕනෑම සාර්ථක පිරිමියෙක් පිටුපස ආදරණීය බිරිඳ සිටිනවා යැයි කියනවා. ඔබගේ බිරිඳත් එවැන්නියක්ද?
ඇය මාෂල්. ඇය කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. නමුත් ඇය සමාජයේ හොඳ නරක සියුම් ග්‍රහණය කරගන්න පහසු කෙනෙක්. රේඩියෝ වැඩසටහන්වලින් මගේ වෘත්තිය ජීවිතය ආරම්භ කරනකොට ඇය මගේ වැඩසටහන රෙකෝඩ් කරනවා. ඒ රෙකෝඩින් නැවත නැවත අසමින් මම මගේ අඩුපාඩු නිවැරදි කර ගන්නවා. ඇය කලාවට සම්බන්ධ නොවුණත් මගේ කලා ජීවිතයේ ගොඩනැඟීමට සුවිශාල සහායක් ලබා දුන් කෙනෙක්. ඒ වගේම මගේ දුව ජසින්තා වගේම පුතා ඇල්වන්වත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කළ යුතුයි.