ප්‍රථම වරට ගෝල්ඩන් ගෝබල් සම්මානය ඉන්දීය තෙලිඟු චිත්‍රපටයක් වූ RRR හී NAAATU NAATU ගීතයට | Page 3 | සිළුමිණ

ප්‍රථම වරට ගෝල්ඩන් ගෝබල් සම්මානය ඉන්දීය තෙලිඟු චිත්‍රපටයක් වූ RRR හී NAAATU NAATU ගීතයට

ඉන්දියාව මේ වෙනකොට හැම අතකින්ම පාහේ ලෝකය ඉදිරියේ තමන්ගේ බල පරාක්‍රමය විහිදවමින් ඉන්න බව රහසක් නෙවෙයි.මේ වෙනකොට හොලිවුඩ් සිනමාවට ඉන්න තියුණුම සහ හොඳම තරගකරුවා තමන් බව ඔවුන් ඔප්පු කරමින් ඉන්නවා. ප්‍රධාන පෙළේ භාෂා 16 කින් චිත්‍රපට නිපදවන ඉන්දියානු සිනමාව වාණිජ්‍යමය වගේම කලාත්මක ලෙසටත් තමන්ගේ සිනමා කර්මාන්තය ලෝක සිනමා සිතියමේ ඉහළින්ම ස්ථානගත කර අවසන්. එහි අලුත්ම පුවත පසුගිය සතියේ වාර්තා වුණා. ඒ සුප්‍රකට ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී වසරේ හොඳම විදෙස් භාෂා සිනමාපටය ලෙසින් වගේම හොඳම ගීතය ලෙසින්ද සම්මානයට පාත්‍ර වීමට සුප්‍රකට තෙලිඟු සිනමාපටය වන RRR සමත්වීමත් සමඟින්ය.

 

සුප්‍රකට ඔස්කාර් සම්මාන උලෙළට පමණක් දෙවැනි වන හොලිවුඩයේ පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe) සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ 80 වැනි වරටයි. Hollywood Foreign Press Association (HFPA) විසින් හැම වසරකම ජනවාරි මාසයේදී සංවිධානය කරන මෙම සම්මාන උලෙළේදී ඊට පෙර වසරේදී ලොව වටා තිරගතවූ හොඳම සිනමාපට සහ විකාශනය වූ හොඳම රූපවාහිනී වැඩසටහන් ඇගැයීමට ලක් කරනවා. මෙම සම්මාන උලෙළ විචාරකයන් හඳුන්වන්නේ ඔස්කාර් සම්මාන උලෙළේ පෙර ගමන් කරුවා ලෙසටයි.

මෙවර සම්මාන උලෙළේදී වසරේ හොඳම ගීතය ලෙසද RRR හි ජනප්‍රියතම ගීතය වූ NAAATU NAATU සම්මාන ලැබුවේ සුප්‍රකට බටහිර ගායිකාවන් වන රිහානා හස ටේලර් ස්විෆ්ට් ආදීන්ගේ ගීත ද පරාජය කරමින් වීම විශේෂත්වයයි. ඉන්දියාවට ප්‍රථම වරට ගෝල්ඩන් ග්ලෝබ් ආඩම්බරය ලබා දුන් NAAATU NAATU ගීතය M. M කීරවානි විසින් සංගීතවත් කළ අතර එය වෙනුවෙන් හඬ මුසු කළේ රාහුල් සිප්ලිගුන්ජ් සහ කාලා බයිරවා දෙදෙනා විසිනුයි. තෙලිඟු සිනමාවේ සිටින සුපිරිතම රංගන ශිල්පින් දෙදෙනෙකු වන N.T.රාම රාඕ (කනිෂ්ඨ) සහ රාම් චරන් එහි රංගනයට එක්වීමද ගීතයේ දැවැන්ත සාර්ථකත්වයට හේතුවූ බව නොරහසක්.

මෙම සම්මාන දෙකට අමතරව හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම දෘශ්‍ය ප්‍රයෝග යන සම්මාන සඳහා RRR නාම යෝජනා ලැබීමත් ඉන්දියානු සිනමාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා. එය ඉන්දියානු සිනමා නිර්මාණකරුවන් දායකවූ සිනමා නිර්මාණයක් හොලිවුඩයේදී ලැබූ අග්‍රගණ්‍යයේම ඇගයීම ලෙසත් එරට විචාරකයන් හඳුන්වා දෙනවා.

ඉන්දියානු රුපියල් කෝටි 550ක් වැයකර නිර්මාණය වී එමෙන් දෙගුණයක් ලාබ ලැබූ RRR අධ්‍යක්ෂණය කළේ වර්තමාන ඉන්දියානු සිනමාවේ ‘ජේමිස් කැමරන්’ ලෙස හැඳින්වෙන S. S. රාජ්මෝලි විසිනුයි. මිට පෙර ඔහු නිර්මාණය කළ Baahubali සිනමාපට ද්විත්වයද අතිසාර්ථක වූ අතර, මේ දක්වා ඔහු නිර්මාණය කළ සිනමාපට 12ම BOX OFFICE වාර්තා තැබීමත් විශේෂත්වයක්. එම සියලුම සිනමා නිර්මාණයන්ගේදී රාජ්මෝලිගේ සාර්ථකත්වයේ සෙවණැල්ල බවට පත්ව සිටින්නේ ඔහුගේ පියා වන V. විජේන්ද්‍ර ප්‍රසාද් බවත් ප්‍රකට කරුණක්. සිනමා අධ්‍යක්ෂකවරයකු මෙන්ම තිර කතා රචකයෙකුද වන ඔහු රාජ්මෝලි නිර්මාණය කළ සියලුම සිනමාපට වල කතා රචකයායි.

1920 දශකයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට එරෙහිව සිය රට වෙනුවෙන් සටන් වදින ඉන්දීය විප්ලවවාදීන් දෙදෙනකු වටා ගෙතුණු මෙම දැවැන්ත සිනමාපටය සඳහා අජේ දේව්ගන්, ආලියා භාත්, ශ්‍රියා සරන් ඇතුළු තවත් දක්ෂ ඉන්දියානු රංගන ශිල්පින් පිරිසකගේ ආලෝකයද ලැබී තිබෙනවා. මේ වන විට එදා මෙදාතුර වැඩිම ආදායම් ලැබූ ඉන්දියානු සිනමාපට ලයිස්තුවේ තෙවැනි තැන රැඳී සිටින RRR පසුගිය වසරේදී ලෝක සිනමාව තුළ නිර්මාණය කෙරුණු හොඳම සිනමාපට 10 අතරට නම් කිරීමට National Board of Review විසින් කටයුතු කර තිබෙනවා.

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ අතරතුර RRR කණ්ඩායම හමුවූ සුප්‍රකට හොලිවුඩ් සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් RRR සිනමාපටය ගැන සිය ප්‍රසාදය ඉහළින්ම පළකර තිබෙනවා. ස්පිල්බර්ග්ගේ අගයකිරිම ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයටද වඩා ඉහළින් සලකන අධ්‍යක්ෂක රාජ්මෝලි ඒ ගැන සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ ගෝල්ඩන් ග්ලෝබ් සිනමා උලෙළේදී ‘මට දෙවියන් හමුවුණා’ යනුවෙනුයි. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී හොඳම සිනමාපටය (නාට්‍යමය) සහ හොඳම අධ්‍යක්ෂණය යන සම්මාන ද්විත්වය හිමිකරගත්තේ ස්පිල්බර්ග් විසිනුයි. ඒ ඔහුගේ The Fabelmans සිනමාපටය සඳහායි.

Comments