මාව රූපවාහිනී තිරයෙන් දකිද්දි තාත්තා සතුටක් ලබනවා | Page 2 | සිළුමිණ

මාව රූපවාහිනී තිරයෙන් දකිද්දි තාත්තා සතුටක් ලබනවා

මගේ හැකියාවන් ඔප්නංවලා  ඒකට සහයෝගය දෙන්නේ කොහොමද කියන අවබෝධය ඔහුට තියෙනවා

තාත්තා කැමැති වුණේ මම ගායිකාවක් වෙනවා බලන්න

 

අමන්දා උත්පලී මුලින්ම ප්‍රේක්ෂක හදවත් දිනා ගන්නේ සහන් රන්වල ප්‍රමුඛ රන්වල බළකායේ යාවජීව සාමාජිකාවක් සහ ගායිකාවක ලෙසින්. මේ වෙද්දී නම් අමන්දා උත්පලී නවක නිළියක් ලෙස රංගනයට ද එකතු වී තිබෙනවා. කොහොම නමුත් අමන්ද්‍යා උත්පලී කියන්නේ ප්‍රවීණ සම්මානිත රංගන ශිල්පියෙක් සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞශල්‍යයන්ගේ බාල දියණිය. මේ ඉඩකඩ වෙන් වෙන්නේ අමන්දාගේ කලා කටයුතු වෙනුවෙන්.

 

මේ දවස්වල මොනවද වැඩ කටයුතු?

මුලින්ම කියන්න ඕනේ පරණ අවුරුද්දෙන් අලුත් අවුරුද්දට ආව වැඩේ තමයි ශිවගුරුනාදන් මහතාගේ key ටෙලි නාට්‍යය. ඉතින් key ටෙලි නාට්‍යය තුළ ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒකත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා. ඊට අමතරව අලුත් අවුරුද්දේ පටන් ගත්තේ

“නොනිමි“ ටෙලි නාට්‍යයෙන්. ඒකට මට ආරාධනා කළේ සුරාජ් මාපා අයියා. ඒකත් එක්ක ඉස්සරහට මාව දකින්න ලැබෙයි. ඒ එක්කම විශේෂත්වය තමයි මගේ අලුත්ම ගීතය රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජනවාරි මාසයේ 22 වෙනිදා.

නාඩගම්කාරයෝ හරහා තමයි මෑතකදී පුංචි තිරයේ රංගනයට එන්නේ. මේ වෙද්දි ඔබට ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොහොමද?

ඇත්තටම දැන් මාව ගොඩක් අය අඳුරනවා. පාරෙදී හමුවුණාම මා එක්ක ඇවිත් කතා කරනවා. මට කලින් නොලැබුණු විදියේ ආදරයක් ආකර්ෂණයක් තියෙනවා. පාර තොටේ විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය හරහා මට පණිවිඩ එවනවා.

දැන් පූර්ණකාලීනව කලාවට යොමු වෙලා ද?

ඔව්. පූර්ණකාලීනව කලාව කරනවා. ඒ එක්කම කියන්න ඕනේ මගේ සංගීත පන්තියේ කටයුතුත් ප්‍රායෝගිකව කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙක් කල් ඔන්ලයින් ක්‍රමයට සංගීත පන්තිය පැවැත්තුවේ. ඒක මේ අවුරුද්දේ ඉඳන් පොඩ්ඩක් වෙනස් කරලා පිළිවෙළකට සංගීත ආශ්‍රමයක් විදියට කැස්බෑවේ පටන් ගන්න ඉන්නවා. ඒ වැඩ කටයුතුත් සැලසුම් කරන ගමන් ඉන්නේ.

මුලින් කිව්වනේ මේ 22 වෙනිදා ගීතයක් එළිදැක්වෙනවා කියලා. ඒ ගීතය ගැන විස්තර ටිකක් කිව්වොත්?

මේ ගීතයේ තියෙන විශේෂත්වය තමයි මේක ලියන්නේ මගේ තාත්තා. තාත්තා අවුරුදු ගාණකට කලින් ලියපු වචන ටිකක්. මේ අවුරුද්දේ මේක කරන්න ඕනේ කියලා මූලික වුණේ ශිවා අන්කල්. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතා මගෙන් ඇහුවා ඇයි පුතේ සින්දුවක් කරන්නේ නැත්තේ අපි කරමුකෝ ලස්සන වැඩක් කියලා. මාව දිරිමත් කළේ ශිවා අන්කල්. ඒ නිසා ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒකත් එක්ක මම තාත්තට කිව්වා අපි තාත්තා ලියපු සින්දුව කරමු කියලා. තනු නිර්මාණය සඳහා මම භාර දුන්නේ මගේ ගුරුවරයාට. සහන් රන්වල මහතා මට ලස්සන නාද මාලාවක් දාලා දුන්නා. ඒකත් එක්ක සංගීත සංයෝජනය කරන්න භාර දුන්නේ සංගීත් වික්‍රමසිංහ අන්කල්ට. ඉතින් සංගීත් අන්කල් හරිම ආදරෙන් වුවමනාවෙන් ඒ ඇරයුම භාර ගෙන ලංකාවේ ඉන්න දක්ෂම වාදන ශිල්පීන් යොදාගෙන මේ ගීතය නිර්මාණය කළා. ශිවා අන්කල්ගේ දායකත්වයෙන් ලස්සන රූප රචනාවක් එක්ක ලස්සන ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ ශිවා අන්කල්, සහන් සර් සහ සංගීත් අන්කල් කිසිදු අය කිරීමකින් තොරවයි මට මේ ගීතය නිර්මාණය කරලා දුන්නේ.

තාත්තා ගැන මතක් කරපු නිසාම තාත්තා ගැන කිව්වොත්, නැවත කලා කටයුතු පටන් අරන් ද තියෙන්නේ?

ඔව්. දැනටම කලා කටයුතු ටික ටික පටන් අරගෙන තියෙන්නේ. තාත්තාගේ කතුරු මිතුරු චිත්‍රපටයත් ළඟදීම දැකගන්න පුළුවන් වෙයි. ඒ එක්කම ප්‍රතිකාර කටයුතුත් කරගෙන යනවා. හිටියට වඩා සුව තත්ත්වයේ ඉන්නේ.

අමන්දාගේ රංගනයට තාත්තාගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාම උසස් ප්‍රතිචාරයක් ලැබෙනවා. නාඩගම්කාරයෝ එකේ රඟපාන්න පටන් ගත්ත දවසේ ඉඳන් හැමදාම මම ඉන්න එපිසෝඩ් එකක් ගියොත් තාත්තට කතා කරලා අහනවා බැලුවද කියලා. අදටත් මම key සහ නොනිමි නාට්‍යයේ මම ඉන්න කොටස් ගියාම මම කෝල් කරනවා. මගේ හොඳම විචාරකයන් දෙන්නා තමයි මගේ තාත්තා සහ මහත්මයා. තාත්තා කැමති වුණේ මම ගායිකාවක් වෙනවා බලන්න. ඒ නිසා මම පාසල් යන කාලේ රංගනයට ආව ඇරයුම්වලට පවා මාව යොමු කළේ නැහැ. නමුත් අද මාව රූපවාහිනී තිරයෙන් දකිද්දි තාත්තා සතුටක් ලබනවා කියන එක මට දැනෙනවා.

විවාහයෙන් පස්සේ රංගනයට සමුදෙන්න වෙනවා සමහර අයට, නමුත් අමන්දා රංගනයට එන්නේ විවාහයෙන් පස්සේ?

ඇත්තටම මගේ සැමියා සාරංග කළුගල. මගේ මේ ගමනට පිටුපස ඉඳන් ශක්තිය දෙන්නේ සාරංග. මම එයාගේ දකින දේ තමයි අවබෝධය. දෙන්නෙක් ජීවත් වෙනකොට අවබෝධයයි වැදගත්. මගේ හැකියාවන් ඔප්නංවලා ඒකට සහයෝගය දෙන්නේ කොහොමද කියන අවබෝධය ඔහුට තියෙනවා.

පහුගිය දිනෙක ඔබ මුහුණු පොතේ තබපු සටහනක් වැරදි විදියට සමාජ ගත වුණා, ඒ ගැන අදහසක් තියෙනවද?

අනේ මන්දා මට තේරෙන්නේ නැහැ. මම පවුලේ ඡායාරූපයක් එක්ක දාපු ලස්සන කියමනක් වැරදි විදියට අර්ථ ගන්වලා ගොසිප් නාලිකාවක දාලා තිබ්බා. ඒ දේවල් විශ්වාස කරලා ප්‍රතිචාර දක්වන පිරිසක් ලංකාවේ ඉන්නවා. මට ඒ වගේ ගොසිප් නාලිකා කරන අයට නම් කියන්න දෙයක් තේරෙන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ කියන එක තමයි අහන්න තියෙන්නේ. පොදු සාමන්‍යය ජනතාවට නම් කියන්න තියෙන්නේ දකින ඕනෙම දෙයක් විශ්වාස කරන්න එපා. තාත්තා අසනීප වුණු වෙලාවේ ඉඳන් එක එක දේවල් පැතිරුණා. දෙයක් දුටු පමණින් විශ්වාස නොකර ඒ ගැන සොයා බලන්න. රටක පුරවැසියෙක් විදියට මීට වඩා වගකීමක් තියෙන්න ඕනේ.

මේ වසර තුළ තියෙන අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ ලොකුම බලාපොරොත්තුවක් තාත්තාගේ චිත්‍රපටය තිරගත වෙන එක. මොකද චිත්‍රපටයේ තේමා ගීතය ඇතුළු ගීත දෙකක්ම ගායනා කරන්න අවස්ථාව ලැබුණා. එකක් අමරසිරි පීරිස් මහතා සමඟ අනෙක් එක තාරක ගුණරත්න කියන නව පරපුරේ ගායන ශිල්පියා සමඟ. ඒ ගීත දෙක සංගීතවත් කළේ රෝහණ වීරසිංහ සර් සහ සමන්ත පෙරේරා අන්කල්. ඒ දෙපළ මේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයින් දෙදෙනෙක්. ඔවුන්ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ ගායනා කරන්න ලැබීම වාසනාවක්. ඒ එක්කම සෝමරත්න දිසානායක මහතාගේ සිංහබාහු චිත්‍රපටයේ ගීතයක් ගායනා කරන්නත් මට අවස්ථාව ලැබුණා.

මෙතෙක් ආ ගමන් මඟ එක්ක ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

ජීවිතේ ගැන සතුටුයි. මම විශ්වාස කරන දෙයක් තමයි නිසි කාලයට මට වාසනාව තියෙනවා නම් දෙයක් ලැබෙයි. ඇත්තටම කියනවා නම් පාසල් කාලේ රංගනයට ආසාව තිබුණත් අවස්ථාව ලැබුණත් තාත්තා ඒකට යොමු කළේ නැහැ. නමුත් පාසල් කාලේ වේදිකා නාට්‍යය තුළින් ජයග්‍රහණ ලැබුණා. එක එක තැන්වලින් ජීවිතේට වෙනස් වෙනස් අත්දැකීම් එකතු වුණා. මම කොළඹ විශ්වවිද්‍යාලයට ගිහින් වෙනස්ම උපාධියක් හදාරන්නේ. අවුරුදු හතරක් පහක් වගේ කාලයක් පෞද්ගලික අංශයේ රැකියාවක් කළා. ඒ වගේම සමාජ විද්‍යාව විෂය තුළින් මගේ ශාස්ත්‍රපති උපාධියත් මම ලබනවා. 2011 ඉඳන් සංගීතය සහ රන්වල බළකාය එක්ක සම්බන්ධ වෙලා හිටියා. කොහොමත් හිමින් ගමනක් යන්නේ. මම විශාරද උපාධිය ලබලා ඉන්නේ. මේ වසරේ මම එළිදක්වන්නේ මම ගයන තුන්වෙනි ගීතය. ඒ හැරුණම චිත්‍රපටවලට වගේම අනෙක් අයගේ ගීතවලට දායක වෙලා තියෙනවා.

Comments