ජීවිතේ මම වග කියන චරිත කිහිපයයි මේ මහපොළවේ ඉන්නේ | Page 3 | සිළුමිණ

ජීවිතේ මම වග කියන චරිත කිහිපයයි මේ මහපොළවේ ඉන්නේ

සංගීත චිකිත්සකවරයා කියන එකට මම හරි ආදරෙයි

මම සඳ තරු ගැන සිහින මව මවා ඒ සිහින දිගේ ඉස්සරහට යනවා

මම එක එක වෙලාවට එක එක විදියයි

 

“රාමුවක් තියෙන්නේ කොටුවෙන්න නෙවෙයි සීමාවෙන් එහා දකින්න” මේ සටහන මම උපුටා ගන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් කමිල පෙරේරාගේ මුහුණු පොතෙන්. ඔහු නාවික නිලධාරියෙක්ට එහා ගිය සුන්දර කලා රසයක් හිමි අයෙක්. ගීතය, සංගීතය ඇසුරු කරමින් ඒවා තුළින් පර්යේෂණ, ගවේෂණ, අත්හදා බැලීම් කරමින් ගීතය තුළින් ජිවිතේ විවර කර ගන්නට මඟ කියන සංගීත චිකිත්සකවරයෙක්. ඒ වගේම ඔහු අභිප්‍රේරණ උපදේශකවරයෙක් සහ නායකත්වය පුහුණු උපදේශකවරයෙක්. මේ ඔහු ඔහුව ගොඩනඟා ගත් විදිය ගැන අපට කී කතාව

 

ඔබේ ළමා කාලය කොහොමද ගත වෙන්නෙ අපි එතැනින්ම කතාව පටන් ගමු

පුංචි කාලේ මම අවුරුද්දක් පාසලක් අහිමිව ගෙදර හිටිය පුංචි කොල්ලෙක්. මගේ මාමා තමයි මූලික වෙන්නෙ මට ගමේ පාසලක් හොයලා දෙන්න. ගමේ පාසලක් කියන්නෙ මම කොළඹ දිස්ත්‍රික්කයේම තමයි. අපි හිටියේ මාලිගාවත්ත ප්‍රදේශයේ කුලියට. කොළඹ දිස්ත්‍රික්කයේත් පාසල් වර්ගීකරණය කරලා තියෙනවනේ. ඒ නිසා ප්‍රාථමික මට්ටමේ තිබ්බ පුංචිම ඉස්කෝලයකින් තමයි මම ඉස්කෝලෙ යන්න පටන් ගත්තේ. ඒ යන්නෙත් අවුරුද්දක් පමාවෙලා දෙවන වාරයට. ඒ ගිහිල්ලත් මට මතකයි “උඹ පන්තියේ දෙවැනියා වුණා“ කියලා. එහෙම වපසරියක් තිබ්බෙ. ඒ කාලේ මම නම් හිතුවේවත් නැහැ මම මේ වගේ වෙයි කියලා. 1987 දී වගේ තමයි අපිටම කියලා ගෙයක් ලැබුණේ මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයෙන්. මම මොරටුවේ ඉඳන් කොළඹ ඉස්කෝලෙට යනවා. ඊට පස්සෙ හය වසරට ආවම මගෙ තව මාමා කෙනෙක්ගෙ මාර්ගයෙන් මොරටුව වෙල්ස් කුමර විදුහලට ඇතුළු වෙනවා. එතැනදී මට පොඩි අභිමානයක් ගොඩනැඟෙයි කියලා හිතුවට පුංචි කාලෙ ඉඳන් මගෙ තිබ්බ පෞරුෂත්වය එක්ක මට තරග කරන්න බැරි වුණා. මොකද මම හැදුන පවුල් සමාජය ඇතුළෙත් කොන් කිරීමක් මට තිබුණා. ඒක වුණේ කොහොමද කියන්න මම හරියට දන්නෙ නැහැ. මට අඩුපාඩු රැසක් තිබ්බ නිසා ලොකුවට මම සමාජගත වෙන්න ගියෙත් නැහැ. කාලයත් එක්ක මම සමාජය එක්ක ගැටෙන්න ගන්නවා. පාසලේ බාස්කට් බෝල් කණ්ඩායම සහ කැඩෙට් කණ්ඩායම තුළ මම ප්‍රමුඛ චරිතයක් බවට පත්වෙන්න පටන් ගන්නවා. මාව නැතුව බැරි චරිතයක් වෙනවා. මම දහම්පාසල් යන්න පටන් ගන්නවා බම්බලපිටිය වජිරාරාමයේ. එහෙදිත් මට මුණගැහෙනවා විශේෂිත යාළුවො. ඒ එක්කම විශාල සමාජ මෙහෙවරක් කරපු පැලෑනේ වජිරඥාන හාමුදුරුවෝ, ගංගොඩවිල සෝම හාමුදුරුවෝ, මඩිහේ පඤ්ඤාශීල හාමුදුරුවෝ, සහ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ යන අයගේ ඇසුර සහ ආභාෂය මට ලැබෙනවා. ඒ නිසා ප්‍රාථමික නායකත්වයක් සහ පෞරුෂයක් නිරායාසයෙන්ම ගොඩ නැඟෙනවා. ඒත් මට හොයා ගන්න බැරි වුණා කමිල පෙරේරා කවුද කියලා. උසස් පෙළින් පස්සෙ නාවික හමුදාවට සම්බන්ධ වුණාට පස්සෙ තමයි කමිල පෙරේරා කෙනෙක් සාමාන්‍යය මට්ටමින් ගොඩ නැඟුණේ. ඒත් සමාජයේ කවුරුවත් දන්නෙ නැහැ කමිල පෙරේරා කියන්නෙ කවුද කියලා. කමිල පෙරේරා ඇත්තටම නිර්මාණය වෙන්නෙ 2016 න් පස්සෙ. 2010 -2016 කාලය ගත්තම මගෙ ජීවිතේ අති ඛේදනීය කාලයක්. එතැනදී දැඩි විවේචන නිසා වෙන්නේ මාව නැතිවෙන එක. මට ලැබෙන්න තියෙන පිළිගැනීම නැති වෙනවා. ඒ ඇතිවුණ කලකිරීම සහ පසුබෑම එක්ක මට ඕන වෙනවා මාව වෙනස් කර ගන්න. මම ඉගෙන ගත්ත දේවල් එක්ක මගේ දැනුම එක්ක සටන් කරන්න වෙනවා. හැබැයි ඒ සටන් කරලා නැගිටින්නෙ වෙනස් සහ වෙනත් කෙනෙක් හැටියට. ළිඳකට වැටුණම ළිං කටින් ගොඩ වෙන්න ඕනේ කිව්වාට මම ආවේ වෙනස්ම තැනකින්. ඒ ආව කෙනා තමයි දැන් මේ ජීවත් වෙලා ඉන්නෙ. මේ හුස්ම ගන්නෙ.

 

එතකොට කමිල පෙරේරාගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ කොතනද?

මේ තැනට එන්න මට සෑහෙන කලක් ගියා. පර්යේෂණ කරලා තමයි මේ තැනට ආවේ. විශිෂ්ටයි කියන මිනිස්සුන්ගෙ කිසිම උදව් උපකාරයක් ලැබුණේ නැහැ මට. ලංකාවේ බොහෝ විශිෂ්ටයන් කියලා මවාගෙන ඉන්න කට්ටිය ආධුනිකයින්ට අත දෙන්න කැමති නැහැ. විශිෂ්ටයෝ කියලා කියා ගන්නා අයගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා තියෙන්නේ කුහකකම. ඒ හින්දා ඒ ඒ විෂයන්වලට අදාළව ආධුනිකයින් නැඟී එනකොට ඔවුන්ට අවශ්‍ය කරන මූලික දැනුම සහ ද්විතීයික දැනුම ලබා දෙන්න කවුරුවත් නැහැ. ඔය ඛේදවාචකය එක්ක මම මගේ පළමුවෙනි වැඩසටහන පටන් ගන්නවා මාතර පැත්තෙන්

“පුනරාගමනය“ නමින්. ඒ මගෙ පළමුවෙනි සංගීත චිකිත්සක වැඩසටහන. ඒ ෂෝ එකම ෆේල්. ඔය අතරේ මට ලොකු අවස්ථාවක් ලැබෙනවා නාවික හමුදාවේ උපදේශන අංශයේ වැඩ කරන්න. එතැනදී මම බූස්සේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා නිපුන හි පුහුණු සැලසුම් සහ කළමනාකරණ ඒකකයේ අණභාර නිලධාරියා හැටියට කටයුතු කරනවා. එතැනදී තමයි මගෙ ජීවිතේ වර්ණවත්ම වෙන්නෙ. ඒ කාලේ මම යනවා ඉන්දියාවට. ඉන්දියාවට ගිහින් විශේෂ පාඨමාලාවක් කරනවා. ඒක කරන ගමන් මම මියුසික් තෙරපි ගැන රිසර්ච් කරන්න ගන්නවා. ඉන්දියාවේදී අපි ප්‍රයිවට් ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕනේ. එකේදී මම කතා කරන්නෙත් මියුසික් තෙරපි කියන්නේ මොකක් ද කියලා. ඒ අයටත් ඒක අලුත්. කාලයක් තිස්සේ රිසර්ච් කරලා තමයි අද මේ තත්වයට ඇවිත් තියෙන්නේ.

 

නාවික වෘත්තීය එක්ක කොහොමද කලාවට කාලය හොයා ගත්තේ

අපේ සංස්කෘතිය තුළ තමයි තියෙන්නේ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමථ කියන කියමන තියෙන්නේ. නාවික වෘත්තිය ගත්තම ඒ සම්බන්ධව පරතෙරට යන්න ඕනේ. එතැනට කිමිදෙන්න ඕනේ. මිනිසුන්ට වෙනස් වෙන්න ඕනේ තැන කොතනද? ඒ එක්කම මිනිසුන්ට වෙනස් වෙන්න කියන්න නම් මුලින්ම මම වෙනස් වෙලා ඉන්න ඕනේ. නාවික හමුදා නිලධාරියෙක්ට හිමි තැන සහ වෙනස් වෙන්න ඕනේ තැන මම වෙනස් කරලා පෙන්නුවා. මම කියන්නේ අර වගේ දුක්ඛිත ප්‍රාථමික අතීතයක් තිබ්බ මට ද්විතීයික අතීතය වෙනස් කරගෙන මේ වර්තමාන මහ පොළවේ වෙනස් වෙන්න ඕනේ කොහොමද කියලා මට මගේ දේශන කලාව තුළ කියන්නත් පුළුවන්. ඒක මටත් තියෙන ප්‍රශනයක්. හමුදා නිලධාරියෙක් තුළට මේ තරම් සියුමැලි හදවතක් ගෝචර වුණේ කොහොමද කියන එක මටත් හිතාගන්න බැහැ.

 

ඔබ කියන සංගීත චිකිත්සාව තුළ ඔබේ කාර්යභාරය මොකක් ද?

සංගීතය කියන්නේ චිකිත්සාවක්. මේක හරියටම කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. නමුත් ඒක හරියට භාවිතා කරන්නේ නැහැ. මම හැම තිස්සෙම කියන්නේ ගීතයෙන් ජීවිතේට යමක් ගන්න පුළුවන් කියලා. මම කියන්නේ ගීතයෙන් ජිවිතේ දකින්න කියලා. ඒක තමයි මගේ අරමුණ. මම ගීත රසය සහ අර්ථ රසය දෙකම එකතු කරලා මනසට හදවතට ස්පර්ශ කරන්න, අභිප්‍රේරණ ස්පර්ශක නායකත්ව ස්පර්ශක ගොඩ නඟනවා සංගීත චිකිත්සාව හරහා.

 

මේ සංගීත චික්ත්සාව මිනිසුන් අතරට අරන් යන්න මොන වගේ වැඩසටහන් ද තියෙන්නේ?

ඇත්තටම සංගීත චිකිත්සකයෙක් හැටියට නෙවෙයි සංගීත විචාරකයෙක් හැටියට මුලින්ම අත්පොත් තියන්න ගත්තේ ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහනෙන්. මෙතැනදී මම අමතක නොකරම මතක් කරන්න ඕනේ මහේෂ් නිශ්ශංක. ඔහු තමයි මේ වේදිකාව මේ තෝතැන්න මට නිර්මාණය කරලා දෙන්නේ. අදටත් ලංකාවේ කමිල පෙරේරා කියන නම එළියට ගන්න දායකත්වයක් දුන්න එකම පුද්ගලයා මහේෂ් නිශ්ශංක. ඊට පස්සේ තමයි විචාර කලාව බද්ධ කර ගන්නේ මම සංගීත අභිප්‍රේරණයට. මම එක එක වෙලාවට එක එක විදියයි. අභිප්‍රේරණය උගන්වන වෙලාවට අභිප්‍රේරණ උපදේශකයෙක්. නායකත්ව ගුණාංග වර්ධනය කරන වෙලාවට මම නායකත්ව ගුණාංග වර්ධනය කරන දේශකවරයෙක්. අනිත් වෙලාවට මම සංගීත චිකිත්සකවරයෙක්. මම මේ කලා තුනෙන්ම සංගීත චිකිත්සකවරයා කියන එකට මම හරි ආදරෙයි. මොකද ඒක හරි නැවුම්. හරි පරිස්සමට මිනිසුන්ගේ හදවත් මනස අරමුණු කරා දියුණු කරන්න පුළුවන් පුදුමාකාර අභිප්‍රේරණ මෙවලමක්. ඒ නිසා මේකට හරි කැමතියි. “පුනරාගමනය, වර්ෂා, තාරකා ඇස්, දෙපයින් නැගිටිමු“ වගේ වැඩසටහන් මම කරගෙන යනවා. මේ ටිකේ ගොඩක්ම කතාබහට ලක්වෙන්නේ තාරකා ඇස් වැඩසටහන.

 

ආපස්සට හැරිලා බලද්දී ආ ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?

අර මුලින් කිව්ව තැනට මම ආයෙම එනවා. දැන් මට අවුරුදු 45ක් වෙනවා. මම තවම අරගලයක් කරනවා. ඒ පිළිගැනීම හොයා ගන්න. අදටත් මට ඒ පිළිගැනීම තවම ලැබෙන්නේ නැහැ. මෙතැනදී මම පිළිගැනීම කියන්නේ උපදින හැම කෙනෙක්ටම දැනෙන්න ඕනේ මේ මහපොළව විසින් ඔවුන්ව රැක ගන්නවා කියලා. මේ රටේ එක එක සමාජ පන්ති තියෙනවා. පහළම සමාජ පන්තියක උපදින කෙනෙක්ට ඉහළට එන්න මොනතරම් අමාරුද? එයාව පිළිගන්නවද මේ සමාජයෙන්. ඕකට තමයි මම මේ තනියම අරගල කරන්නේ. මේ අරගලය තුළින් කාටවත් හිංසාවක් පීඩාවක් වෙන්නේ නැහැ. මේක මම තනියම විඳදරාගෙන කරන අරගලයක්. ඒ හින්දා කලකිරීමක් තියෙනවා. හැබැයි කලකිරුණා කියලා ජිවිතේ නතර කරන්නේ නැහැ. මට තියෙනවා සිහින.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

ජීවිතේ මම වග කියන චරිත කිහිපයයි මේ මහපොළවේ ඉන්නේ. ඒ හැමෝටම සාධාරණයක් කරන්න මට ඕනේ වෙලා තියෙනවා. මම මේ කාටවත් නොකියපු පැත්තක් කියන්නේ. එක චරිතයක් තියෙනවා ඒ චරිතය වෙනුවෙන් මම ජීවත් වෙනවා කියලා දන්නවා. අනිත් එක කෙනෙක්ටවත් මට ඔවුන් වෙනුවෙන් ලොකු සාධාරණයක් කරන්න පුළුවන් වෙයි ද කියන්නවත් මම දන්නේ නැහැ. නමුත් මා විශ්වාස කරනවා ඔවුන්ටත් ඉතා ලොකු සාධාරණයක් කරන්න මට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අවසාන මොහොතේ මම සුවදායි මරණයක් අපේක්ෂා කරනවා.

 

Comments