ජීවත් වන්නේ විදේශයක වුවත් දේශීයත්වයට මුල්තැන දෙන නර්තන ශිල්පීන් | Page 2 | සිළුමිණ

ජීවත් වන්නේ විදේශයක වුවත් දේශීයත්වයට මුල්තැන දෙන නර්තන ශිල්පීන්

දුවයි පුතයි නර්තනය හැදැරීම මට සතුටක්

ලෝකේ කොහේ ගියත් තමන්ගේකම අමතක නොකළ අය අපට ඕනෑ තරම් හමුවේ. ඒ අතරින් දේශීයත්වයට මුල්තැන දෙමින් තමන්ගේකම ලෝකයට කියන්නට වෙහෙසෙන ගුරුවරිය මෙන්ම මවක පසුගියදා අපට හමුවුවාය. ඇය භාග්‍යා පළිහවඩනය.

 

මෙරට සිටියදී වෘත්තියෙන් නර්තන ගුරුවරියක වූ ඇය කලකට පෙර ඔස්ට්‍රෙලියාවේ පදිංචියට යන්නීය. ඒ දෙදහ වසරේදීය.

අනුන්ගේ රටකදී තමන්ගෙ‍කම අගයමින් භාග්‍යා එරට වෙසෙන සිංහල පවුල්වල දරුවන්ට නර්තනය ඉගැන්වීමට

කටයුතු කළාය.

අද වන විට භාග්‍යාගේ දියණිය සහ පුතණුවන්ද සිය නර්තන කටයුතු මෙන්ම නර්තන පාසැලේ ඉගැන්වීම් කටයුතුවල සහාය දක්වන බව ඇය පවසන්නේ බොහෝ සතුටිනි.

“ මගේ මහත්තයා ලකී රදලියගොඩ. මම ඔස්ට්‍රෙලියාවේ පදිංචියට ගියේ 2019 දී පමණ. ලංකාවෙ ඉන්න කාලේ මම පාසල් කිහිපයකම නර්තන ගුරුවරියක් ලෙස සේවය කළා. තල්පාවිල මධ්‍ය මහා විද්‍යාලය, ශාන්ත තෝමස් කාන්තා විද්‍යාලය, මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය යන පාසල්වල ඉගැන්වීම් කටයුතු කළා. මගේ නර්තන ගුරුවරිය තමයි මාතර සුජාතා විද්‍යාලයේ රණසූරිය ගුරුමහත්මිය. මගෙ පුතා රිචඩ් සත්සර. දුව ලෝචනා රදලියගොඩ. මුල් කාලයේ පුතා නර්තනයට ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් දැන් නම් පුතා වෛද්‍ය විද්‍යාව හැදෑරුවත් නර්තනයට. දුව නම් නර්තනයට හරිම කැමැතියි. මගේ කලායතනයේ දුව කුඩා කාලයේ සිටම නර්තනය උගන්වනවා. ඇය දැනට උසස් පෙළ අධ්‍යාපය ලබනවා. මේ කොහොම වුණත් ඒ දෙන්නා වෙනත් දේ ඉගෙන ගත්තත් දුවයි පුතයි නර්තනය හැදැරීම මට සතුටක්.

දැන්නම් දුවයි පුතයි දෙන්නම නර්තනයට යොමු වෙලා ඉන්නේ. පුතා නම් විවේකය තියෙන වෙලාවට තමයි.

අපි මේ වසර පහකින් තමයි ලංකාවට ආවේ. කොරෝනා උවදුර නිසයි එන්න බැරි වුණේ. මෙවර අපි ආවාම ඒ කියන්නේ ජනවාරි 4 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ කොන්සට් එකක් කළා. එහි ප්‍රධාන කතා නායකයා දුටුගැමුණු රජු හා ස්වර්ණමාලි කුමරිය. මෙහි දුටුගැමුණු රජතුමා ලෙස රඟපෑවේ පුතා. ස්වර්ණමාලි කුමරිය ලෙස රඟපෑවේ දුව.

දුව නම් කිසිසේත්ම නර්තනය අතහරින්න සූදානම් නැහැ. එයාට ඕන තවදුරටත් මේ නර්තන කලාව ඉගෙන ගන්න. දේශීය නර්තන කලාව ඉගෙන ගන්න අතරේම එයා බැලේ නර්තන කලාවත් වසර හතරක් ඉගෙන ගත්තා. අපි ප්‍රසංග කිහිපයක්ම මීට පෙරත් එරටදී පැවැත්වුවා.

සිය දරු දෙදෙනා මෙන්ම තමන්ගේ නර්තන පාසලේ ඉගෙනුම ලබන දරුවන් ගැනද තොරතුරු පවසන භාග්‍යා දේශීය නර්තන කලාව ගැන කතා කරන්නේ මහත් ආඩම්බරයෙනි.

අපි පදිංචි වෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර. භාග්‍යා නර්තන පාසැල පැවැත්වෙන්නේ ඉරිදා දිනවල. මේ වන විට අපේ පාසැලේ දැනට දරුවෝ පණහක් පමණ ඉගෙනුම ලබනවා. වයස අවුරුදු දෙකහමාර සහ වයස අවුරුදු තුනක් වයසැති දරුවොත් මේ පාසැලේ ඉගෙන ගන්නවා. ඇත්තම කිව්වොත් මෙහි වෙසෙන සිංහල පවුල්වල මවුපියන් කැමැතියි සිය දරුවෝ නර්තනය හදාරණවට. අපි මුලින්ම 2003 වසරේ තමයි සත්සර රංගන ප්‍රසංගය කළේ. ඉන් පසුව සිව්සඳ රූ ප්‍රසංග 2013 කළා. අවසන් වරට ඔසට්‍රේලියාවේදී කළ සිව්සඳ රූ ප්‍රසංගය සදහා නුවන් රංජිත් ප්‍රියංග, ජයම්පත් සුරේන්ද්‍ර, අකිල පළිපාන, කේ.ජී චන්ද්‍රසිරි, කේ. නිමන්ත, යන අය වගේම ඔදස්ට්‍රේලියාවේ දුලාන් වීරකෝන්, නෙල්සන් විජේසිංහ යන නර්තන ගුරුවරු සහභාගි වුණා. දුලාන් වීරකෝන් සර් තමයි මට මේ කාර්යයයේදී බොහෝ උදව් කළේ.

මේ කොහොම වුණත් මට හරි ආඩම්බරයක් දැනෙනවා. අපි විදෙස් රටක ජීවත් වුණත් මගේ දරුවෝ දෙන්නා දේශීය නර්තන කලාවට දක්වන ඇල්ම ගැන. දුව ජීවත් වෙන්නේ විදෙස් රටක වුණත් දරුවෝ දෙන්නාටම ලංකාව ගැන පුදුමාකාර උනන්දුවක් ආදරයක් තියෙන්නේ. මගේ දුව අනෙක් අය වෙනුවෙන් කැපවී කටයුතු කරන කෙනෙක්. දුවට ඕන ලංකාවට ඇවිල්ලා අපේ අය වෙනුවෙන් එයාට කළ හැකි දේ කරන්න.

මගේ දරුවන් දෙන්නා එක්ක නර්තන කලාව පැත්තෙන් යමක් කරන්න තමයි මටත් ඕනෑකම තියෙන්නේ.“

භාග්‍යා සිය දුව, පුතා ගැන මෙන්ම හෙට දවස ගැන අප හා පැවැසුවේ එලෙසිනි

Comments