රසික හදවත් කම්පා කළ ටුනිෂා ශර්මාගේ අබිරහස් මරණය | සිළුමිණ

රසික හදවත් කම්පා කළ ටුනිෂා ශර්මාගේ අබිරහස් මරණය

නැගී එන නිළියක වූ ටුනිෂා ශර්මාගේ අභිරහස් මරණය 2022 වසරේ අවසන් සතිය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් පුවතක් බවට පත් වුණා. 20 හැවිරිදි වියේ පසුවූ ඇය මියගොස් තිබුණේ ‘අලිබබා දස්නාත් ඊ කාබුල්’ නම් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරතුර ගෙල වැලලා ගැනීමෙනි. මරණය සම්බන්ධයෙන් ඇගේ හිටපු පෙම්වතා මෙන්ම අලිබබා ටෙලිනාට්‍යයේ ප්‍රධාන නළුවා වන ෂිශාන් ඛාන් පොලිස් අත්අඩංගුවට පත් වුණා.

පසුගිය ජනවාරි 4 වැනිදාට සිය 21 වැනි උපන්දිනය සැමරීමට නියමිතව සිටි සුරූපී ටුනිෂා උපත ලැබූවේ චන්දිගාර් නගරයේදී ය. ලාබාල වියේදීම පියා අහිමි වීමෙන් මව සමඟ හැදී වැඩුණු ඇය සිය රංගන ජීවිතය ඇරඹුවේ වයස අවුරුදු 13 දී ‘මහර්ජන ප්‍රතාප්’ ටෙලි නාට්‍යයේ සහාය චරිතයක් නිරුපණය කරමිනි. ඇය ගැන මෙරට බොහෝ ප්‍රේක්ෂකයන් දන්නේ අධිරජ ධර්මාශෝක (චක්‍රවර්තීන් අශෝකා සම්රත්) ටෙලිනාට්‍යයේ අහංකාරා කුමරියගේ චරිතයෙනි.

ටුනිෂාගේ පෙනුම බොහෝ දුරට සුපිරි ඉන්දීය නිලි කත්රිනා කයිෆ්ට සමාන නිසා ඇයට සිනමාපට කිහිපයකම කත්රිනාගේ ළාබාල කාලය නිරුපණය කිරීමේ අවස්ථාව හිමි වුණා. ‘ෆිටුර්’ සහ ‘බාර් බාර් දේකෝ’ එවන් සිනමාපට ද්විත්වයක්. ඉදිරියේදී තිරගතවීමට නියමිත අබ්බාස් - මස්තාන් අධ්‍යක්ෂණයක් වන ‘3 - monkeys’ සිනමාපටයේද ඇය උප ප්‍රධාන චරිතයක් නිරූපණය කර තිබෙනවා.

පසුගිය නත්තල් දිනට පෙර දින, අලිබබා ටෙලිනාට්‍යයේ දර්ශන තලයේදී සිදුවූ ටුනිෂා ගේ අභිරහස් මරණය ගැන මේ වන විටත් ඉන්දියානු පොලිසිය පුළුල්ව විමර්ශනය කරමින් සිටින්නේ සියදිවි නසා ගැනීමක් බව මතුපිටින් පෙනී ගියද එම සිදුවීම සම්බන්ධ විවිධ සැකයන් මතුවීම හේතුවෙනුයි.

රංගන ශිල්පිනියක්ද වන ටුනිෂාගේ මව වන වනිතා ශර්මා සිය දියණියගේ මරණය සම්බන්ධයෙන් තමන්ගේ සැකය සම්පූර්ණයෙන්ම යොමු කරන්නේ ටුනිෂාගේ හිටපු පෙම්වතා වන ෂිශාන් වෙතටයි. ටුනිෂා සමඟ සම්බන්ධය පැවැත්වූ සමයේදී ඇයට නිරන්තර මානසික පීඩනයක් වූ වංචාකාර ෂිශාන් ටුනිශාට රහසේ තවත් තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක්ද පවත්වාගෙන ගොස් ඇති බව වනිතා වැඩිදුරටත් චෝදනා කරනවා. ඇගේ චෝදනාව සනාථ කරමින් මේ වන විට ෂිශාන් සමඟ සම්බන්ධය පැවති කාන්තාව ගැන අනාවරණය කර ගැනීමට ඉන්දියානු පොලිසිය සමත්වී තිබෙනවා. ඒ සම්බන්ධව ෂිශාන් විසින් මකා දැමු whatsapp පණිවුඩ මඟින් නැවත අනාවරණය වී ඇත්තේ ෂිශාන්ගේ මුහුණ අඳුරු කරමිනුයි.

ටුනිෂාගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය 18 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මේ වන විට අනාවරණය වී ඇති කරුණුවලට අනුව ෂිශාන් සහ ටුනිෂා සිය ප්‍රේම සම්බන්ධය නවතා ඇත්තේ පසුගිය නොවැම්බර් 30 වැනිදා සිටයි. එදින සිදුවූ මත ගැටුමකදී ෂිශාන්ගේ අත නැවතී ඇත්තේ ටුනිශාගේ කම්මුල මතයි. එම සිදු වීමෙන් පසු දිගින් දිගටම කල්පනා කරමින් සිට ඇති ටුනිෂා දින ගණනක් විෂාදයෙන් පෙළී ඇති බවත් පැවසෙනවා. ඇගේ මුහුණට යන්තමින් හෝ සිනහවක් පැමිණ ඇත්තේ දින ගණනාවකට පසුවයි. කෙසේ වෙතත් මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී ෂිශාන් පාර්ශ්වයෙන් තමන්ට කිසිදු සහායක් නොලැබෙන බවද පොලිසිය එරට අධිකරණයට වාර්තා කර ඇති බවද පැවසෙනවා.

ටුනිෂාගේ මරණය සිදු වීමට පෙර අවසාන මිනිත්තු කිහිපයේදී දර්ශන තලය තුළ සිදුවූ සිදුවීම් ගැන පොලිස් පරීක්ෂණවල අවධානය දැඩිව යොමුව තිබෙනවා. ඊට අනුව ෂිශාන් සහ ටුනිෂා අතර එදිනද යම් බහින්බස් වීමක් සිදුව තිබෙනවා. ඒ සම්බන්ධ සාක්ෂි සහිත cctv දර්ශන ගණනාවක් මේ වන විටත් එරට පොලිසිය සතුව තිබෙනවා. එදින ටුනිෂාගේ මවද දර්ශන තලය වෙත පැමිණ තිබූ අතර, කෝපයෙන් පුපුරමින් සිටි ඇය සිය දියණිය වෙතින් ඉවත්ව සිටින ලෙස ෂිශාන්ට දැඩිව පවසා තිබෙනවා. “ඔහු ටුනිෂා විවාහ කරගන්නවා කියල ඇයට බොරු කළා. ඒ නිසා ඒ වගේ වංචාකාරයෙක් මගේ දුව එක්ක තවත් අනවශ්‍ය සම්බන්ධතා තියා ගන්නේ මොකටද? “අදාළ සිදුවීම ගැන වනිතා එසේ පවසා තිබෙනවා.

සුපුරුදු පරිදි සිදුවූ රූගත කිරීම්වලින් පසු ටුනිෂා සහ ෂිශාන් ප්‍රධාන නළුවා සහ නිළිය ලෙස සිය දිවා ආහාරය සඳහා ෂිශාන්ට වෙන්වූ වේශ නිරූපන කාමරයට ඇතුළු වී තිබෙනවා. ඊට පෙර ඇය සුපුරුදු පරිදි සහාය ශිල්පින් සමඟ විනෝදයෙන් කල් ගෙවා ඇති බවත් සඳහන්. දෙදෙනා ඇතුළු වූ පසු ශිෂාන්ගේ වේශ නිරුපණ කාමරය තුළ සිදුවූ දෙය තවමත් අභිරහසක්.

දිවා ආහාරයෙන් පසු සිය දර්ශනය සඳහා ෂිහාන් පිටව යත්දී කාමරය තුළ සිටි ටුනිෂා කෝපයෙන් එහි දොර වසා දැමූ බවත් එම සිදුවීමට මැදිහත්වූ ටෙලි නාට්‍ය සහාය අධ්‍යක්ෂකවරයා පවසා තිබෙනවා. ඉන්පසු රූගත කිරීමට නියමිත වූ ඊළඟ දර්ශනය සඳහා ඇය කැඳවාගෙන යාමට පැමිණි සහාය අධ්‍යක්ෂකවරයාට ටුනිෂා සුපුරුදු පරිදි ප්‍රතිචාර දක්වා නැහැ. දැඩි පරිශ්‍රමයකින් පසු ෂිශාන් සහ පිරිස එක්ව නාන කාමරයේ දොර කඩා දමා ඇත්තේ තවත් මොහොතකට පසුවයි.

යොවුන් නිළියගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණ පැවැත්වීම ඉන්දියානු පොලිස් කණ්ඩායම් කිහිපයක් සම්බන්ධ වී සිටිනවා. ඔවුන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය පරීක්ෂණ පවත්වාගෙන යමින් සිටින්නේ සියලුම ආකාරයේ සැකයන් ගැන අවධානය යොමු කරමිනුයි. ඒ අතර ටුනිෂා, ලව් ජිහාම් නම් ප්‍රකටව ඇති, ඉස්ලාම් පිරිමින් විසින් හින්දු කාන්තාවන් සිය ආගමට හරවා ගැනීම සඳහා කරන ආදර රැවටීමක ගොදුරක් වී ඇති බවටත් සැකයක් ඇති වී තිබෙනවා. ෂිශාන් සමඟ ප්‍රේම සම්බන්ධය ඇරඹීමෙන් පසු ටුනිෂා හිජාබයක් පැලඳීම ඊට සාක්ෂියක් ලෙස ඇගේ මවද පෙන්වා දෙනවා.

සුසාන්ත් සිංගේ මරණය සම්බන්ධ පසුගියදා අනාවරණය වූ මතභේදාත්මක කරුණුද හේතුවෙන්, ඇගේ මරණය ද අනිවාර්යයෙන්ම ඝාතනයක් බවට මේ වන විට තවත් නොයෙක් අය විවිධ ආකාරයේ මතවාද පළකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රත්යුෂා බැනර්ජිගේ පියාද පවසන්නේ මෙය අනිවාර්යයෙන්ම සැලසුම් සහගත මිනීමැරුමක් බවයි. හිටපු ජනප්‍රිය නිළියක්වූ ප්‍රත්යුෂාද මීට සමාන ආකාරයකින් මියගියේ 2016 වසරේදීයි.

 

 

Comments