මම ආවේ හෙමින් ගමනක් වුණාට මගේ ඉලක්කවලට ඇවිත් තියෙනවා | සිළුමිණ

මම ආවේ හෙමින් ගමනක් වුණාට මගේ ඉලක්කවලට ඇවිත් තියෙනවා

මට ඕනේ වුණේ කලාව ඇතුළේ ජනප්‍රිය චරිතයක් වෙන්න නෙවෙයි

අපි මහේන්ද්‍ර පෙරේරා වෙන්න ගියාඒ නිසා අපිට වැඩ නැතිව ගියා

 

සාමාන්‍යයෙන් ජීවිතේ අපි එක එක කාලවලදී දකින සිහින සැබෑ කර ගන්නට කොතෙකුත් කැපවීම් කරනවා. ඒ වගේ කලකට පෙර නළුවෙකු වෙන්න සිහින දුටු ඔහු දැන් අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් සිය ස්ථාවරත්වය ගොඩනඟා ගනිමින් සිටිනවා. ඔහු නමින් විරාජ් මාලිංග. නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු කලාවට පිවිසෙන්නේ පාසල් වියේ සිටමයි.

 

ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

2002 වසරේදී වෙළෙඳ දැන්වීමක පෙනී සිටියා. ඒකත් එක්කම මගේ හිතේ කලාවට තිබ්බ ආසාව වැඩි වුණා. ඒ තිබ්බ උනන්දුව නිසා මට රංගනය පිළිබඳව ඉගෙන ගන්න ලොකු වුවමනාවක් අවා. මොකද ඒ වෙනකම් අපේ හත්මුතු පරම්පරාවේ කිසිම කෙනෙක් හිටියේ නැහැ ටෙලිවිෂන්වල. ඒ කාලේ තිබ්බ ඇම්මට ගැම්මට හොයාගෙන යන එකක් නිසා කාගෙන්වත් උදවු ඉල්ලුවට කවුරුවත් උදවු කරෙත් නැහැ. ඔය අතරේ ස්වර්ණවාහිනියේ ගිය tv වැඩසටහනකට ඇවිත් මහේන්ද්‍ර පෙරේරා අයියා කිවුවා එයයි ජයලාල් රෝහණයි එකතුවෙලා රංගන පාසලක් පටන්ගන්නවා කියාලා. මට අද වගේ මතකයි මම ඒ වැඩසටහන බලලා ඉවර වුණ ගමන් අම්මාගෙන් රුපියල් 200ක් ඉල්ලගෙන ඒ තැන හොයාගෙන මහරගම - නාවින්නට ගියා. එදා එතැන හිටියේ වැඩට ඉන්න කෙනා විතරයි. ඔහු කිවුවා තව දවස් දෙක තුනකින් පටන් ගන්නේ. අහවල් දවසට එන්න මෙතන ඔඩිෂන් එකක් තියෙනවා කියලා. එතැනින් තමයි වැඩේ පටන් ගත්තේ. ගයාන් වික්‍රමතිලක, චාමර ප්‍රසාද්, අනුරුද්දිකා පාදුක්ක, තිසර ඉඹුලාන, තිසර මංගලබණ්ඩාර, ගාමිණි එස් බණ්ඩාර අපි ඔක්කොම එකට වැඩේ පටන් ගත්තේ. ඒ මතකයන් හරිම සුන්දරයි. දසුන් ආවේ අපෙන් පස්සේ කණ්ඩායමට. දසුන්ලගේ කණ්ඩායමට ෆිසිකල් එක්සර්සයිස් කළේ අපි. මම කාලයක් ෆිසිකල් එක්සර්සයිස් උගන්වන කෝච් කෙනෙක් විදියටත් ලොකු අයියා (මහේන්ද්‍ර පෙරේරා) ගාව වැඩ කළා. 2004 දී මහේන්ද්‍ර අයියගේ වර්ක්ෂොප් එකට ගිහින් ටික දවසක් යද්දී මට චින්තන ධර්මදාසව හමුවෙනවා. එතකොට චින්තා, පබළු අපි ඔක්කොම එකතුවෙලා අයිරිෂ් කියලා බැලේ ඩාන්සින් ඩ්‍රාමා එකක් කළා. එතැනින් ඇතිවුණු දැනහැඳුනුම්කම එක්ක චින්තා මට කතා කළා එයාගේ පළවෙනි කෙටි චිත්‍රපටයට. ඒක තමයි ඒ කාලේ ලංකාවේ හොඳම කෙටි චිත්‍රපටය වුණේ. ඒ වෙද්දී හොඳම නළුවට මුකුත් දුන්නේ නැහැ. චින්තට පෝලන්තයේ වසරක ශිෂ්‍යත්වයක් හම්බ වුණා. චින්තා එහෙ ගිහින් ආවට පස්සේ තමයි කරළියට ආවේ. ඔය අතරේ ලැබුණු අවස්ථා අනුව ටෙලි නාට්‍යය සහ සිනමා නිර්මාණවලට දායක වුණා.

ඔබ රංගනයෙන් දායක වුණු නිර්මාණ ගැන කිවුවොත්?

ධර්මසේන පාතිරාජ සර්ගෙ කම්පිතවිල, රොඩ්නි විදානපතිරණගේ පාරාදීසය, සංජය විතානගේ නිල් අහස වගේ, සංජය නිර්මාල්ගේ දිව්‍යා, රවින්ද්‍ර විජේරත්නගේ රුවන් මාලිගා, රේජිනෝල්ඩ් ජයමහගේ නිල් අහස ඔබ, විමලරත්න අදිකාරිගේ සක්විත්තෝ, රුක්මල් නිරෝෂ්ගේ සුළඟ මත මොහොතක්, සිරස tv ආයතනය මඟින් කරපු ඉන්දීය අධ්‍යක්‍ෂවරයකු අධ්‍යක්ෂණය කළ සිහින සිතුවම් කියන නාට්‍යයවල රඟපෑවා.

චිත්‍රපට ගත්තම ප්‍රසන්න විතානගේගේ ආකාස කුසුම්, ප්‍රසන්න ජයකොඩිගේ කර්ම, සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ හාට් fm, දායාරත්න රටගෙදරගේ නිල් දිය යහන, බූඩි කිර්තිසේනගේ නිමනයක හුදකලාව, ඩොනල්ඩ් ජයන්තගේ ප්‍රවේගය කියන චිත්‍රපටවල මම රඟපෑවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වල රඟපෑවා. 2004 -2011 දක්වා ලැබුණු හැම අවස්ථාවටම වගේ ප්‍රයෝජනයට අරන් මම ඒ නිර්මාණවලට දායක වුණා.

දැන් ඔබේ නළු ජීවිතේට මොකද වුණේ?

අපේ කාලයේ තමා මෙගා නාට්‍යය පටන් ගත්තේ. මට ඒ කාලේ මෙගා නාට්‍යයවලට ආරාධනා ආවා. හැබැයි අපි මහේන්ද්‍ර පෙරේරාගේ ගෝලයින් නිසා මෙගා නාට්‍යය රඟපාන්න ගියේ නැහැ. දැන් තමා තේරෙන්නේ ක්ෂේත්‍රයට එන කාලේ මෙගා නාට්‍යය කියලා ප්‍රතික්ෂේප නොකර හොඳ නිර්මාණයක් බාර ගත්තා නම් අද වෙද්දී අපිටම කියලා අනන්‍යතාවක් හදාගන්න තිබ්බා කියන එක. නමුත් අපි මහේන්ද්‍ර පෙරේරා වෙන්න ගියා. ඒ නිසා අපිට වැඩ නැතිව ගියා. ඒක ලංකාව වගේ පොඩි රටක ඒක එහෙම කරන්න අමාරුයි. අවසානයේ දැන් මහේන්ද්‍ර අයියත් මෙගා නාට්‍යයක ඉන්නවා. ඒ වැඩ අඩු කාලෙක මට 2011 දි හිරු tv ආයතනය ආරම්භයේ මුල්ම සාමාජිකයන් 15 දෙනාගෙන් එක්කෙනෙක් වීමට අවස්ථාව සලසලා දුන්නා. වැඩසටහන් සහාය නිෂ්පාදකවරයෙක් විදියට මම වැඩට ගියා. මාස හතර යද්දී මාව වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදියට උසස් කළා. මම තමයි ඒ වෙද්දී Lyrics Video concept එක ඉස්සෙල්ලම කළේ. මම හිරු ආයතනයේ වසර හයක කාලයක් හිටියා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විදියට ඒ හිටපු අවුරුදු 6 කාලය දකිනවා. එහිදී මම කළා Count down chart show, Top 20, Niro and the stars, කහ ඉර, උත්තරීතර, Lyrics video, සෙවණැලි, නිරෝ ඇන්ඩ් ද ස්ටාර්, මංගලම්, Unplug වගේ වැඩසටහන් නිෂ්පාදනය කළා.

ඔබ මෙතෙක් කළ දේවල් ඇගයීමට සම්මානයට පාත්‍ර වූ අවස්ථාවන් මතක් කළොත්

2014 දි සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් මාගේ concept එකකට නිර්මාණය කරල අධ්‍යක්ෂණය කරපු වැඩසටහන වන “කොවුල් වසන්තය” වෙනුවෙන් රයිගම් සම්මාන උලෙළේ ජූරියේ විශේෂ සම්මානය ලැබුණා. ඒ එක්කම මම අධ්‍යක්ෂණය කරපු “රාජ මාලිගේ පරවියා වගේ“ ගීතය 2014 - 2015 කාලෙදි ලංකාවේ ජනප්‍රියම ගීතය බවට පත් වුණා. 2015 දී දෙරණ music video සම්මාන උලෙළේදී වර්ෂයේ හොඳම රෙගේ වීඩියෝව වෙනුවෙන් මා විසින් අධ්‍යක්ෂණය කළ “හරි ගනන්“ ගීතයට සම්මාන ලැබුණා.

මේ කාලයේ විරාජ් මොකද කරන්නේ

2017 මුල් කාලයේ මම හිරු ටීවී ආයතනයෙන් ඉවත් වෙලා අපේ ආයතනයක් ආරම්භ කළා. ඒ විරාජ් මාලිංග ප්‍රඩක්ෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ් නමින්. ඒ ආයතනය මඟින් නිව්ස් වෙබ් එකක් පවත්වාගෙන යනවා. ඒ එක්කම වෙ‍ෙළඳ දැන්වීම්, event management, music video productions කරගෙන යනවා. ළඟදී අපි කළේ ශේන් සිංග්ගේ “දින සති“ ගීතයේ music video එක. එහි රංගනයට ශේන් සිංග් සමඟ රුසියානු නිරූපිකාවක් රංගනයෙන් දායක කරගත්තා. ඒක ලොකු පිරිවැයක් දරල කරපු ලස්සන වැඩක්. දෙසැම්බර් මාසයේ ෆුඩ් ෆෙස්ටිවල් එකක් එක්ක ඉවෙන්ට් එකකට ලෑස්ති වෙනවා. ඒ එක්කම මම මේ දවස්වල කෞශල්‍යය පතිරණ තිර රචනය කරපු ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීම සඳහා මූලික කටයුතු කරගෙන යනවා. එහි කටයුතු ජනවාරි මාසයේ පටන් ගන්න ඉන්නේ. මම නැවත අධ්‍යක්ෂවරයෙක් විදියට ඉදිරියට එනවා මේ වසරේදී.

ආපු ගමන්මඟේ කළ කී දේවල් ගැන තෘප්තිමත් ද?

සෑහෙන තෘප්තියක් තියෙනවා. ඒ කියන්නේ මම ආවේ හෙමින් ගමනක් වුණාට. මගේ අරමුණු ඉලක්කවලට මම අද ඇවිත් තියෙනවා. මට ඕනේ වුණේ කලාව ඇතුළේ හොඳ දෙයක් කරනවා මිසක් ජනප්‍රිය චරිතයක් වෙන්න නෙවෙයි.

 

Comments