මට විතරක් ආදරේ කරන අවංක කෙනෙක් නම් ඒ ගැන හිතලා බලනවා | Page 2 | සිළුමිණ

මට විතරක් ආදරේ කරන අවංක කෙනෙක් නම් ඒ ගැන හිතලා බලනවා

සංගීතේ“ ටෙලි නාට්‍යයේ මල්කඩේ රන්දිමා, ඒ එක්කම “හිතුවක්කාර“ ටෙලි නිර්මාණයේ ගුවනි තුළින් ප්‍රේක්ෂකයන් අතරට ආ අවිශ්කා උමයංගි කළුබෝවිල සමඟයි මේ සොඳුරු කතා බහ…

 

ඔබට නිළියක් වීමට අවස්ථාව උදා වෙන්නේ කොහොමද?.

මම ගම්පහ යශෝධරා දේවී බාලිකා පාසලෙන් ඉගෙනුම ලැබුවේ. අපේ පවුලේ එකම ළමයා මම. මම පාසල් කාලේ ඉදන්ම කලාවට ළැදිව කටයුතු කළ කෙනෙක් නෙමෙයි. කලාවට සම්බන්ධ වීම අහම්බයක්.

2018 වසරේ මම දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙනවා. එතැනදී මට වාසනාව ලැබෙනවා දෙරණ අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පලඳින්න. එතැනින් පස්සේ මට ලක්සිරි වික්‍රමගේ සර් තමා සංගීතේ නාට්‍යයට කතා කරන්නේ. එතන තමා මගේ රංගනයෙ ආරම්භය. හැබැයි දැන් මගෙ හීනය වෙලා තියෙන්නේ ඉදිරියට හොඳ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්න.

 

පවුලේ එකම ළමයා කලාවට එනවට ගෙදරින් කැමති වුණාද?

මුලදී තාත්තා නම් අකමැති වුණා. ඒත් යන්න එපා කියලා දැඩි තහංචි දැම්මේ නැහැ. දැන් නම් මම හිතන්නේ මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යනවට මට වැඩිය කැමති ඒ දෙන්නා.

 

නිළියක් නොවුණානම් අවිශ්කා කවුරු වෙයිද?

ගුවන් සේවිකාවක් වෙන්න තමයි ආසාවෙන් හිටියේ.

 

අද නිළියක් වීම ගැන මොකද හිතෙන්නේ

ඇත්තටම සතුටුයි. මේ වෙද්දී මඟ තොටේදී වුණත් මාව අඳුරනවා. ඒ මම රංගනයට ආව නිසානේ. ඒ නිසා සතුටක් දැනෙනවා. අද හිතෙනවා එයාර් හොස්ටර් කෙනෙක් නොවී නිළියක් වුණු එක හොඳයි කියලා.

 

රංගනයට සීමා තියෙනවා ද?

කවුරුත් මට සීමා දාලා නැහැ. නමුත් මේ ක්ෂේත්‍රයේ හොඳ ගමනක් ඉදිරියට යන්න ඕනේ නිසා මම විසින්ම මට සීමා පනවාගෙන තියෙනවා. ඒ නිසා මට අවබෝධයක් තියෙනවා මම කරන්න ඕනේ චරිත මොනවාද කරන්නෙ නැති චරිත මොනවාද කියලා.

 

කටකතා ගොසිප් ගැන මොකක් ද අදහස ?

ඒ දේවල් නම් ඕනෙම ක්ෂේත්‍රයක දී හැදෙන්න පුළුවන්. නමුත් අපි හොඳට හිටියොත් එවැනි දේවල් හැදෙන එක අඩුයි. මොකද අපි වැරැද්දක් නොකරනවා නම් එහෙම කටකතා ගොසිප් හදන්න බැහැනේ. හැබැයි ඉතින් කොච්චර හොඳට හිටියත් කටකතා ගොසිප් හැදෙන වෙලාවල් තියෙනවා.

 

ආදරේට මොන වගේ ඉඩක් ද ජීවිතේ දීලා තියෙන්නේ

මම හිතනවා ආදරයක් ගැන හිතන්න තව පොඩි කාලයක් ඕනේ කියලා. මට ගැළපෙන හොඳ කෙනෙක් හමුවුණොත් හිතලා බලනවා ආදරේ ගැන.

 

මොන වගේ කෙනෙක් ද හොයන්නෙ?

ඉස්සෙල්ලාම මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ආ තව මෙහෙම දෙයකුත් තියෙනවා. මම ගොඩක් හොඳ කෙනෙක් නමුත් මට ටිකක් තරහා යනවා. ඒක ආදරේට වෙන දෙයක්. ඒ නිසා ඒ තරහායන එක ඉවසන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මට විතරක් ආදරේ කරන අවංක කෙනෙක් නම් ඒ ගැන හිතලා බලනවා.

 

දිගටම කලාවේ රැදී සිටින්නද කැමති?

මුලදී නම් එහෙම ලොකු අදහසක් තිබ්බෙ නැහැ. දැන් මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු තුනක් විතර වෙනවා. ඉතින් දැන් වෙද්දි මම හිතනවා මට ගැළපෙන හොඳ නිර්මාණ ආවොත් ඒවාත් එක්ක ඉස්සරහට යන්න. ඒක ඉතින් ලැබෙන නිර්මාණ එක්ක ඉදිරියට තීරණය වන දෙයක්. මොකද මට ලැබෙන හැම නිර්මාණයම භාරගන්නෙ නැහැ. මට කරන්න පුළුවන් කියලා හිතෙන සහ මට ගැළපෙන නිර්මාණ විතරයි භාරගන්නෙ.

 

අනාගත බලාපොරොත්තු මොනවාද?

කලා ක්ෂේත්‍රය පැත්තෙන් නම් හොඳ නිර්මාණ එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික ජීවිතේ පැත්තෙන් ගත්තම මගේ පවුලේ අය එක්ක ආදරෙන් සතුටින් හොඳින් ඉන්න තමයි බලාපොරොත්තුව. මගෙ පවුලේ අය කියන්නෙ මගේ ජීවිතේ පළවෙනි තැන.

 

ගුවන්  සේවිකාවක් නොවී

නිළියක් වුණු එක හොඳයි කියලා හිතෙනවා

Comments