
ආයෙත් සංගීත වැඩ කටයුතු පටන් ගත්තේ මගේ මහත්තයා නිසා
ඔහු කිවුවොත් දැන් ඇති කියලා මම මේ ක්ෂේත්‍රයෙන් ඈත් වෙන්න ඕනෑම වෙලාවක ලෑස්තියි
ටශ්නි පෙරේරාව බොහෝ දෙනා හදුනාගන්නේ රියැලිටි වේදිකාවෙන්. කරළියට තරුවක් විදියට. නමුත් ටශ්නි කියන්නේ කලා පවුලක තුන්වැනි පරම්පරාවේ කෙනෙක්. ඇගේ පවුලේ ආච්චිලා තුන්දෙනෙක්ම ළමා පිටියේ ගායිකාවෝ. ඒ විතරක් නෙමෙයි සීයත් ගායකයෙක්. ඒ අය නම් අයරින් ලියනගේ, නොයෙලින් ලියනගේ සහ බ්‍රිජට් කුසුම් ලියනගේ. ඒ වගේම සීයා තමයි වික්ටර් දළුගම. 2023 ටශ්නි මොනවද කරන්න ඉන්නේ කියලා දැන ගන්නත් එක්කම අපි සිළුමිණ රසඳුන කළ සොඳුරු කතාබහයි මේ.
කොහොමද ටශ්නි ජීවිතේ
ජීවිතේ ඉතින් නරකයි කියන්නත් බැහැ හොඳයි කියන්නත් බැහැ මේ කාලය එක්ක. මොකද මේ කාලයේ මිනිසුන්ට වෙන දේවල් සහ චූටි දරුවෝ විඳින දුක් දැක්කම. අපිත් බොහොම මධ්‍යම පන්තියේ මිනිසුන්. අපිත් දැන් උපරිම දෙන්න පුරුදු වෙලා තියෙනවා. අපිට තියෙන පොඩි දෙයක් වුණත් තව කෙනෙක්ට දීලා සතුටු වෙන්න පුළුවන් කාලයක් දැන් තියෙන්නේ.
අලුත් නිර්මාණ කෙරෙන කාලයක් ද?
අලුතින් සින්දු මේ වසරේදී අහන්න ලැබෙයි. ඒ ගීත 2022 අවුරුද්දේ කරපු ගීත. නමුත් ඒ ගීතවලට තවම රූප රචනා කරලා නැහැ. 2023 මේ වසරේදී ඒ නිර්මාණ අලුත් විදියට ප්‍රේක්ෂකයන් අතරට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම ඉදිරි මාසේ එක්තරා ආයතනයකින් කරන ගීතයකට මම සම්බන්ධ වෙනවා. මේ වෙද්දී ඔක්කොම මූලික කටයුතු සිදු වෙලා අවසන්. වොයිස් කරන්න තමයි තියෙන්නේ. ඒක වොයිස් කරලා එයට රූප රචනාවකුත් කරලා ගීතවලට කලින් ඒක රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා. මම හිතනවා ඒක තමයි 2023 වසරට සුදුසුම ගීතය කියලා.
ප්‍රසංග සඳහා තියෙන ඇරියුම් ගැන තෘප්තිමත් ද?
ඇත්තටම තෘප්තිමත්. මම මහ ලොකු ප්‍රමාණයක් ගීත කරලා නැහැ. නමුත් මම මෙතෙක් කරපු ගීත සියල්ලම වගේ ප්‍රසිද්ධයි. ඒ ප්‍රසිද්ධ ගීත අතරිනුත් සුප්‍රසිද්ධ ගීත දෙකක් තියෙනවා. ඒ සඳරු අයියා සහ සළඹ සලා. ඉතින් ඒ ගීත දෙකට ලැබෙන ප්‍රතිචාර එක්ක දැන් තියෙන ප්‍රසංගවලට තියෙන ඇරියුම් ගැන තෘප්තිමත්. ඉදිරියට කරන්න ඉන්න ගීතයත් එක්ක තව වැඩ ගොඩක් ඉස්සරහට කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බලමු ඉතින්.
දවසින් දවස ටශ්නි ලස්සන වෙනවා, මොකක් ද රහස?
ලස්සනයි කියන්නේ මට පොඩි කාලේ ඉඳන්ම අම්මා තාත්තාගෙන් ලැබුණු වර්ණයක් තියෙනවා. ඉතින් ඒ වර්ණය එක්ක මට තියෙනවා මටම අනන්‍ය වූ හැඩතලයන් ටිකක්. මට නම් මම වගේම හැමෝම ලස්සනයි. ලස්සන වෙන්න රහසක් නැහැ. ස්වාභාවික ලස්සන ආරක්ෂා කරගනිමින් වතුර වැඩියෙන් පානය කරලා ව්‍යායාම කරලා ඉන්නවා.
රඟපාන්න ඇරියුම් නැද්ද?
මේ මෑතකත් ෆිල්ම් එකකට කතා කළා. ඊට කලිනුත් කතා කරලා තියෙනවා. වෙෙළඳ දැන්වීම්වලටත් ඇරියුම් ලැබුණා. නමුත් මම හිතන්නේ මම මේ ඉන්න සංගීත ක්ෂේත්‍රය මට ඇති. මගේ වෘත්තිය ගායනය. ඒ නිසා ගායනය කියන දේ තුළින් මගේ අනන්‍යතාව රැකගෙන ඉදිරියට යන එක හොඳයි කියලා හිතෙනවා.
කොහොමද දැන් පුතා එක්ක ගතකරන ගෙදර ජීවිතේ
ගොඩක් කාර්යබහුලයි. දැන් චේතන්ට අවුරුදු තුනයි මාස පහක් වෙනවා. චූටි පුතා එක්ක ගත කරන ජීවිතේ මට සුන්දරයි. මම කොච්චර මහන්සිවෙලා ප්‍රසංගවලට ගිහින් නිදිවරලා ගෙදර ආවත් එයාගේ ක්‍රියාකාරකම් දකිද්දී තිබ්බ මහන්සිය විඩාව කොහෙන් ගියාද දන්නේ නැහැ. මම හිතනවා කොච්චර බිසී වුණත් ඒ දේවල් සියල්ල කළමනාකරණය කරගෙන ජීවත් වෙන්න මම පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගෙන තියෙනවා කියලා.
පුතාත් සංගීතයට කලාවට සම්බන්ධවෙන ලකුණු තියෙනවා ද?
චේතන් සංගීතයට හරිම ආදරේ කෙනෙක්. එයා ගොඩක් අහන්න කැමැති ඇරබික් සහ ඉංග්‍රීසි සින්දු. සිංහල සින්දුත් අහනවා. නමුත් අර සින්දුවල තියෙන ශබ්දයට හරි කැමැතියි. එයා සංගීතය පැත්තට නැඹුරු වුණොත් මම ඒකට සහයෝගය දෙනවා. ලොකු බලාපොරොත්තු නැහැ. හැබැයි මම හැම පැත්තකින්ම ඔහුට දේවල් උගන්වනවා. පුතා අරන් ආව දේවල් එක්ක ඔහු කැමැති පැත්තකින් ඉදිරියට යයි.
ආදරණීය සැමියා ගයාන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
එයාගෙන් තමයි මට ලොකුම සහයෝගය ලැබෙන්නේ. පොඩි පොඩි හේතුන් හිත් රිදීම් මත මම සංගීත ක්ෂේත්‍රයෙන් මඳකට ඈත් වෙලා පවා හිටියා. නමුත් ආයේ සංගීත වැඩ කටයුතු පටන් ගත්තේ මගේ මහත්තයා නිසා. දැන් වෙද්දී නවත්තපු තැනින් ආයේ වැඩ කරන්න අරන් අවුරුදු දෙකක් වගේ කාලයක් වෙන්නේ. ඒ අවුරුදු දෙක තුළ ලොකු පෙරළියක් වුණා. මම හිතුවටත් වඩා ඉහළ ප්‍රතිචාර එක්ක මගේ ගමන වේගවත්ව ආවා. ඔහුගේ ඒ සහයෝගය නැත්නම් අද මම මේ තැන නැහැ. ඔහු තමයි මට ශක්තිමත්ව මේ ගමන යන්න හේතුවක් වෙන්නේ. ඔහු කිවුවොත් දැන් ඇති කියලා මම මේ ක්ෂේත්‍රයෙන් ඈත් වෙන්න ඕනෑම වෙලාවක ලෑස්තියි. මගේ ජීවිතේ හැමදේකටම ඔහුගෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්.
ජීවිතේ ගත්ත හොඳම තේරීම ද ගයාන්
ඔව්. එහෙම කිවුවොත් හරි.
අනාගත සැලසුම් බලාපොරොත්තු මොනවාද?
මම හරිම නිදහසේ ඉන්න කෙනෙක්. මට ජීවිතේ ලොකු සැලසුම් නැහැ. යන විදිහකට යන කෙනෙක්. සංගීතමය කටයුතු ගැන කිවුවොත් අවුරුද්දට සින්දු දෙකක් වගේ රිලීස් කරලා ඒ එන විදියට මුහුණදෙන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියට ලොකු වෙනසක් “සැබෑ වෙනසක් බලාපොරොත්තු වෙනවා අපි. එතකොට අපේ ළමයින්ටත් ලංකාවේ ඉන්න පුළුවන් තත්ත්වයක් උදා වෙයි. එහෙම වුණොත් හොඳයි කියලා හිතනවා. ලංකාවේ ඉන්න බැරි තත්ත්වයක් ආවොත් රටකට යන්න සැලසුම් කරන්න වෙනවා. ඒ හැර ලොකු බලාපොරොත්තු නැහැ.