සංගීත පවුල් දෙකක ලස්සන සුසංයෝගය සනුක-වින්ඩි යුග දිවියට | සිළුමිණ

සංගීත පවුල් දෙකක ලස්සන සුසංයෝගය සනුක-වින්ඩි යුග දිවියට

“මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙළා මාගේ දෑතේ දැවටී ආවේ පවසන්න දෝ ආදරේ...“

 

මංගල සාදවල නිතැතින්ම ඇහෙන මියුරු ගීතයක්. මේ ගීතය ගයන්නේ ප්‍රවීණ සංගීතවේදී රූකාන්ත ගුණතිලක සහ ප්‍රවීණ ගායිකා චන්ද්‍රලේඛා පෙරේරා බව හොඳින් දන්නා කරුණක්. මේ ගීතයේ විදියටම දිනූ ආදරයක් මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

ඒ ජනප්‍රිය ගායකයෙක් මෙන්ම සංගීතඥයෙක් වන සනුක වික්‍රමසිංහ හා ජනප්‍රිය ගායිකාවක් වන වින්ඩි ගුණතිලකගේ විවාහ මංගල දිනයයි. සනුක වික්‍රමසිංහ කියන්නෙ ප්‍රවීණ සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහගේ පුතණුවන් වන අතර වින්ඩි ගුණතිලක යනු ප්‍රවීණ සංගීතවේදී රූකාන්ත ගුණතිලක ගේ හා ප්‍රවීණ ගායිකා චන්ද්‍රලේඛා පෙරේරාගේ බාල දියණියයි. පසුගිය 26 වැනිදා කලා තරු රැසකගේ සහභාගිත්වයෙන් ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණේ ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ග්‍රෑන්ඩ් මොනාච් ඉම්පීරියල් හෝටලයේදී යි.

සනුක සහ වින්ඩි කියන්නේ අද වෙද්දි සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියම තරු දෙකක්. ඔවුන් අතර වසර ගණනාවක් තිස්ෙස් පැවති ආදර කතාව 2022 වසර අවසන් වීමට දින 5ක් වගේ කෙටි කාලයක් තියෙද්දි විවාහයකින් අලුත් පිටුවක් පෙරළනු ලැබුවා.

නත්තල් දිනයට පසුදා දිනය වින්ඩිට කොහොමත් විශේෂ දිනයක්. ඒ දෙසැම්බර් 26 කියන්නෙ වින්ඩිගෙ උපන්දිනය. වින්ඩි සහ සනුක විවාහ වෙන්න තීරණය කරන්නෙත් වින්ඩිගෙ උපන්දිනය දවසෙමයි.

කොහොම වුණත් ඒ ගැන වගේම ආදරණීය දියණියගේ විවාහය ගැන අදහසක් එකතු කරමින් ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රලේඛා පෙරේරා කියා සිටියේ මෙවැන්නක්.

“එයාගේ උපන් දිනයත් 26. විවාහය වෙනුවෙන් ඒ දිනය යෝජනා කළේ වින්ඩි දුවමයි. අපි ඇගේ කැමැත්තට ඉඩ දුන්නා. අන්‍යෝන්‍ය අවබෝධයෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉන්න කියලා තමයි අපි සනුක පුතාටයි වින්ඩි දුවටයි කියන්නේ. එකිනෙකාගේ අදහස් හරියට තේරුම් අරගෙන ජීවත් වෙන්න.“

ප්‍රවීණ සංගීතවේදී ගායක රූකාන්ත ගුණතිලකයන් ආදරණීය දියණිය සමඟ ගැයූ ගීතය බොහෝ දෙනාගේ සිත් තුළට තදින්ම දැනෙන්නට වූ බව නොරහසක්. එයට හේතුව එහි ආදරණීය දුවට කියන්නට තිබූ බොහෝ දේ ගැබ්ව තිබුණා යැයි හැඟෙන නිසාවෙනි.

“කොහේ ගියත් මගේ පුතා හොඳින් ඉන්නකෝ

ඔබේ සැමියා ආදරයෙන් බලාගන්නකෝ

හොඳ දරුවන් හදා වඩා ලොවට දෙන්නකෝ

දෙවියන්ගේ කරුණාවෙන් ජය ලබන්නකෝ“

සනුකගේ පියා ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සංගීත් වික්‍රමසිංහ තම පුතුගේ විවාහය දින ඔහුගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුණා. එහි සටහන්ව තිබුණේ

“හැමදාම ආදරෙන් ඉන්න පුතේ... අම්මගෙන් මගෙන් මල්ලිගෙන් අපේ දෙපැත්තේම නෑදෑ සනුහරේගෙන් සුබ පැතුම්“ යන්නයි.

ඒ එක්කම වින්ඩි ගුණතිලකගේ වැඩිමහල් සොහොයුරිය රයිනි චාරුකා ඇගේ සොයුරියගේ විවාහයට සිය ෆේස්බුක් ගිණුමේ

“සුභ මංගලම් මගේ නංගී ♥️“ ලෙසින් සුබපතා සටහනක් පළ කර තිබුණා.

සනුක සහ වින්ඩිගෙ විවාහය ගනු ලැබුවේ හෙළ කුල සිරිතට පෝරුවේ චාරිත්‍රානුකූලවයි. ඒ වගේම වින්ඩි බටහිර මනාලියක් ලෙසින් ද හැඩගන්වා තිබුණේ ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පී ධනංජය බණ්ඩාර විසින්.

සිළුමිණ රසඳුන අපි ද සනුක සහ වින්ඩිට සුබ මංගලම් කියා පතනෙමු.

 

Comments