
මගේ අනාගතය වෘත්තීය නීතිඥවරියක් විදියට තීන්දු වේවි
රංගනය කියන්නේ මගේ ජිවිතේ ආසාවට කරන දෙයක්
කවුරුහරි රංගන ශිල්පිනියක් විදියට මාව හඳුන්වනවා නම් ඒ ගැන මට සතුටුයි
ළමා වැඩසටහන් නිවේදිකාවක විදියට කලා ක්ෂේත්රයට සම්බන්ධ වී අද වෙද්දී පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනියක් බවට පත්වෙලා ඉන්න හිරුෂි වසුන්දරා සමඟයි මේ කතාබහ...
මේ දවස්වල වැඩිය පේන්න නැත්තෙ මොකද?
මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය හදාරනවා. එහි අවසාන අවුරුද්දේ මේ ඉන්නේ. අවසාන අවුරුද්දේ අවසන් විභාගය නිසා අධ්‍යාපනයට මුල් තැන දීලා තියෙනවා.
කලින් කලට හිරුෂි රංගනයට විරාම තියනවා. ඒ ගැන දුකක් නැද්ද?
රංගනය කියන්නේ මගේ ජිවිතේ ආසාවට කරන දෙයක් සහ ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන දෙයක්. ඒ නිසා වෘත්තියක් විදියට මම කවදාවත් කලාව තෝරා ගත්තේ නැහැ. ඒ නිසා කලින් කලට රංගනයට විරාම තියනවා නෙවෙයි මගේ ජිවිතේ විවිධ කාරණාවන් එක්ක කටයුතු කරන ගමන් හොඳ නිර්මාණ වලට අවස්ථාව ලැබුණාම ඒ දේවල්වලට මම උපරිමයෙන් දායක වෙනවා.
ආයේ කොයි වගේ කාලයකින් ද නිර්මාණ භාර ගන්න හිතන් ඉන්නෙ
මේ කාලයේ නම් කිසිම නිර්මාණ කටයුත්තක් භාර ගත්තේ නැහැ. ජනවාරි මාසේ නීතිවේදී උපාධියෙන් පස්සේ නීති විද්‍යාලයේ අවසන් වසර සඳහා සුදානම් වෙන්නත් ඕනේ. අතරමැද කාලේ ඉඩ ලැබෙන විදියට හොඳ නිර්මාණයකට ඇරයුමක් ලැබුණොත් අනිවාර්යෙන්ම භාර ගන්නවා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
මේ ජනවාරි මාසයේ දී තිරගත වෙන්න නියමිතයි ITN නාලිකාවෙන් චනික පෙරේරා මහතා අධ්‍යක්ෂණය කළ යක්ඛනාද ටෙලි නාට්‍යය. එය මාලනී ෆොන්සේකා මහත්මිය ඇතුළු ප්‍රවීණ ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙන ඉතාම හොඳ නිර්මාණයක්. ඒ එක්කම නිනෝ අරලිය අයියා සහ මැතක අපි අතරින් සමුගත් දර්ශන් ධර්මරාජ් අයියා එක්ක මම සම්බන්ධ වුණු මගේ පළවෙනි චිත්‍රපටය Pampus. ඒක බ්ලැක් කොමඩි චිත්‍රපටයක්. ඊට අමතරව ප්රචාරක දැන්වීම් සහ මියුසික් වීඩියෝවලට දායක වෙලා තියෙනවා.
පසුගියදා හිරුෂිට සම්මානයක් ලැබුණා නේද?
ඔව්. ඒක ගැන ඇත්තටම මතක් කරන්න ඕනේ. ද්‍රවිඩ කලාකරුවන්ගේ එකමුතුවෙන් සංවිධාන කරන කුවියම් සම්මාන උලෙළේ දී 2022 වසරේ ගීත රූප රචනා කියන කාණ්ඩයේ හොඳම නිළිය සම්මානය මට ලැබෙනවා. ඒ සෙව්වන්දි මියුසික් වීඩියෝ එකට. ඒක ද්විභාෂා (සිංහල සහ ද්‍රවිඩ) ගීත රූප රචනයක්. එහි මියුසික් ජීසස් වික්ටර්. අධ්‍යක්ෂණය කළේ ගෞතම් මාරන්. ගායනා කරන්නේ ඉන්දීය ශිල්පියෙක් වන අරවින්ද්. ඒ ලැබුණු නිර්මාණය තුළින් සිංහල සමාජයෙන් එපිට සමාජයේ ආදරේ දිනා ගන්න ලැබුණා. ඒ නිසා ජීවිතේට ලැබුණු විශේෂ තෑග්ගක්.
රංගන ශිල්පිනියක් වීම ගැන මොකද හිතෙන්නෙ
මම නම් රංගන ශිල්පිනියක් කියලා හිතන්නේ ජිවිතේ වැඩි කාලයක් රංගනය වෙනුවෙන් කැපකරන සහ චරිතාංග නිළියක් විදියට කටයුතු කරන කෙනෙක්. ඒ නිසා ඒ මට්ටමටම මම තාම දියුණු වෙලා නැහැ. මම ආස මම කැමති චරිත වලට පමණක් දායකවීම තමයි මම කරන්නේ. හැබැයි මාව කවුරුහරි රංගන ශිල්පිනියක් විදියට හඳුන්වනවා නම් ඒ ගැන මට සතුටුයි සහ මම ස්තුතිවන්ත වෙනවා.
දිගටම රංගනයේ යෙදෙන්න, එහෙම නැත්නම් වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න අකමැති කෙනෙක් ද?
එහෙම අකමැත්තක් නැහැ. මට ලැබෙන චරිත මම ගොඩක් ආස කරන චරිත නම් ලැබෙන්නේ සහ මට ඒ වෙනුවෙන් කැපකරන්න කාලය තියෙනවා නම් දිගටම රංගනයේ යෙදෙන්න මම කැමැත්තෙන් ඉන්නවා. හැබැයි වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න නම් මගේ අදහසක් නැහැ. හේතුව ලංකාව ලොකු දැවැන්ත සිනමා කර්මාන්තයක් තිබ්බ විශිෂ්ට ගණයේ ටෙලි නිර්මාණ බිහිවුණු රටක්. නමුත් වෘත්තීයක් විදියට කරගෙන යන්න පුළුවන් මට්ටමට සුබසාධනය සිදුවෙනවා ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ කාලයේ හැමෝම ලොකු ආර්ථික අර්බුදයක ඉන්න නිසා ලොකුවට දැනෙනවා ඇති. ඉතින් රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙනුවෙන් ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගිලා නැති තත්ත්වයක් උඩ වෘත්තීය රංගන ශිල්පිනියක් වෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඒ කොහොමවෙතත් පොඩි කාලේ ඉඳන් මම ආස කළේ නීතීඥ වෘත්තියට සහ නිවේදන වෘත්තියට. නමුත් මේ වෙද්දී නිවේදනය නම් මඟ හැරිලා තියෙන්නේ. ආසාවෙන් භාරගත්ත වැඩ කිහිපයක් හැරෙන්නට නිවේදනයට ලොකු දායකත්වයක් නැහැ. හැබැයි නීතිඥ වෘත්තීය දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මගේ අනාගතය වෘත්තීය නීතිඥවරියක් විදියට තීන්දු වේවි.
ආදරවන්තියක් ද?
ඔය කතාව නම් මගෙන් හරියට අහන කතාවක්. මම හිතන්නේ ඉක්මනට බන්දන්නමයි හදන්නේ කට්ටිය. ඇත්තම කතාව විවාහයකින් කෙලවර වෙන විදියේ ආදරයක් ගැන තාම අදහසක් හිතුණේ නැහැනේ. හැබැයි ඒ වුණාට මට ආදරේ කරන හැමෝටම මම ආදරෙයි. මගේ හැමෝටම මම ආදරෙයි ඒ පැත්තෙන් නම් හොඳ ආදරවන්තියක්.
කලාවේ කෙනෙක්ව ආදරේ කරන්න තෝරා ගන්න කැමති ද?
ඕනෙම ක්ෂේත්රයක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනා මගේ හිතට දැනෙනවා ද කියන එක තමයි පළවෙනි දේ. එහෙම හිතට දැනෙන කෙනෙක් නම් ක්ෂේත්රය මොකක් ද තත්ත්වය තරාතිරම මොකක් ද කියන කාරණා බලපාන එකක් නැති වෙයි.
කවදාහරි විවාහ වෙන කෙනා රගපාන්න එපා කිව්වොත්?
මාව තේරුම් ගත්ත කෙනෙක් නම් මම හිතන්නේ නැහැ එහෙම තහංචි දායි කියලා. මම දන්නවා මගේ ජිවිතේ සීමාවන් ගැන. ඒ ගැන අවබෝධයෙන් ඉන්න නිසා මම හිතන්නේ නැහැ අමුතුවෙන් සීමා පනවන්න ඕනේ වෙයි කියලා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ඒ ලැබෙන සහයෝගය ගැන නම් කියන්නම ඕනේ. මම කලාවට එන්නේ වයස අවුරුදු 14දී වගේ. ඒ පුංචි පැංචි වැඩසටහනේ ළමා නිවේදිකාවක් විදියට. 2018 අවුරුදු කුමරිය වෙනවත් එක්කම පසු කාලෙක රංගනයට එද්දී අම්මා තමයි හෙවණැල්ල වගේ හැමදේකටම මා එක්ක ආවේ. මුළු පවුලම ආදරෙන් මට සහයෝගය දෙනවා.