
කටුක අත්දැකීම් මතින් සාර්ථක වෙන චරිතවලට මම කැමැතියි
වේදිකාව කියන්නේ මගේ කලාවේ ආරම්භය සිද්ධ වෙන තැන
සිරි පැරකුම් චිත්‍රපටයේ කළු එතනාගේ චරිතයට පණ පොවමින් සිනමාවට පැමිණි සිනෙති අකිලා පසුවද සිනමා නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂකයින් අතරට ආ සුන්දර රංගන ශිල්පිනියක්. තෝරා ගත් නිර්මාණ කිහිපයකින් පුංචි තිරයේ ප්‍රේක්ෂකයන් අතරටත් ආ සිනෙති නැවතත් සිනමා ප්‍රේක්ෂකයන් අතරට එන්න සුදානමින්. ඒ ප්‍රසාද් සමරතුංගගේ තාත්තා චිත්‍රපටයෙන් සහ සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණය වන සිංහබාහු තුළින්.
සිනෙති මොකද වෙන්නේ මේ දවස්වල
ජීවිතේ සතුටින්, සැහැල්ලුවෙන් ගත වෙනවා. කලා නිර්මාණ ගැන කතා කළොත් ප්‍රසාද් සමරතුංගගේ තාත්තා චිත්‍රපටයේ වැඩ අවසන් කළා. ඒ එක්කම මේ කාලයේ සිංහබාහු චිත්‍රපටයේ වැඩ කටයුතු එක්ක තමයි වැඩියෙන්ම කාලය ගත වුණේ.
අපි එහි චරිතය ගැනත් කියමු
“සිංහබාහු“ හි මගේ චරිතය පබසරා. පබසරා කියන්නේ සිංහබාහු චිත්‍රපටය තුළින් මිනිසුන් ඇඳබැඳ තබා ගන්නා චරිතයක්. මම විශ්වාස කරනවා සිංහබාහු චිත්‍රපටය තිරගත වෙද්දී මේ චරිතය ගැන බොහෝ ප්‍රේක්ෂකයන් කතා කරයි කියලා. සිංහබාහු චිත්‍රපටය කියන්නේ සෝමරත්න දිසානායක සර් සහ රේණුකා බාලසූරිය මිස් සිනමාවට නැඟු දැවැන්ත වැඩක්. “තාත්තා“ චිත්‍රපටය ගත්තම මම එහි ප්‍රධාන ගුරුතුමියගේ චරිතය කළේ.
ඔබ කලාවට සම්බන්ධ වුණේ කොහොමද?
පුංචිම කාලේ ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියට සම්බන්ධවෙලා හිටියා. ඊට පස්සේ තමා උසස් පෙළ කරන අවසන් කාලේ සිරි පැරකුම් චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. එතැනින් පස්සේ අද වෙනකම් කලාව තුළ ඉන්නවා.
චරිතයක් භාර ගනිද්දී මොනවාද බලන සාධක
මට ලැබෙන චරිතය තුළින් මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් චරිතයක් නම්. පිටපත අතට ගත්ත ගමන් මම එය කියවලා බලන්නේ මට මොනවද කරන්න පුළුවන් කියලා. මම ඉන්නේ විනාඩි 5ක වුණත්, ඒ තුළ මට කරන්න දෙයක් තියෙනවද? ඒක තමා මම ගොඩක්ම බලන්නේ.
රංගනයේදී සිනෙතිගෙ සීමාවන් මොනවාද?
ඇඳුම් පැලඳුම්වලදී සීමාවන් තියෙනවා. මම අඳින විදිහක් තියෙනවා. චරිතයකට වුණත් මම අකමැති, මට පහසු නැති ඇඳුම් මම අඳින්නේ නැහැ. ඒ හැර මට දෙයක් කරන්න තියෙන දැනෙන චරිතයක් නම් මම භාර ගන්නවා.
සිනමාවටද වැඩි ඉඩක් දෙන්නෙ
පුංචි තිරයටත් මම කැමතියි. නමුත් සිනමාවෙන් තමයි මට ගොඩක් ආරාධනා ලැබෙන්නේ. මම ආවෙත් සිරිපැරකුම් චිත්‍රපටය හරහා. ඒ නිසා සිනමාවට මම ගොඩක් ආදරෙයි. මට ඕනේ ඒ ලැබෙන චරිතය තුළ දෙයක් කරන්න එහෙම නැතුව චරිතයේ දිග පළල නෙවෙයි.
ඉදිරියට ලැබුණොත් කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවා ද?
එහෙම ආසාවෙන් හිටිය චරිතයක් තමයි පබසරා කියන්නේ. ඒ චරිතය මට ලැබුණා. මෙට්‍රෝ හීන එකේ කරපු සඳලි කියන චරිතයත් මම ඉතාම ආසාවෙන් කරපු චරිතයක්. මම ආස නැහැ පුංචි තිරයේ බොළඳ පෙම්වතිය වෙන්න. මම කැමති ගොඩක් ගැමි චරිත කරන්න. ඒ තුළත් ජීවත් වෙන්න උත්සහ දරන ජීවිතේ ප්‍රශ්නවලට මුහුණදෙන, ඒ කටුක අත්දැකීම් මතින් සාර්ථක වෙන චරිත ඒවාට මම කැමැතියි.
වේදිකා නිර්මාණවලට දායක වෙලා තියෙනවා ද?
වේදිකාවට දායක වෙලා තියෙනවා. නමුත් මේ කාලයේ මගේ පෞද්ගලික ජීවිතේ වැඩ සහ අනෙකුත් කලා නිර්මාණ එක්ක වේදිකාවට වෙන් කරන්න තියෙන කාලය සීමිත නිසා වේදිකාව නිර්මාණ භාර ගෙන නැහැ. හැබැයි වේදිකා කියන්නේ මගේ කලාවේ ආරම්භය සිද්ධ වෙන තැන. ඒ නිසා වේදිකාව කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ආදරණීය සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
සහන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. විවාහ වෙන්න කලිනුත් ඔහු මගෙත් එක්ක හැමදේකටම හිටියා. අදටත් එහෙමයි. මේ වෙද්දී සහන් රංගනයෙන් දායක වෙන සිරිදළදාගමනය විකාශය වෙනවා. ඒ එක්කම තව නිර්මාණ දෙක තුනකම රූප ගතකිරීම්වල ඔහු නියැළිලා ඉන්නේ. ඒ නිසා මේ දවස්වල නම් මටත් වඩා එයා කාර්යබහුලයි.
අලුත් වසරක ඉන්නෙ මොනවාද තියෙන බලාපොරොත්තු?
ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. පෞද්ගලික ජීවිතේ ගත්තම හැමදාම වගේ ඉදිරියටත් සැමියා එක්ක සතුටින් ජීවත් වීම තමා එකම බලාපොරොත්තුව. කලාව පැත්තෙන් ගත්තම ලැබෙන නිර්මාණවලට උපරිමයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.