මගේ ජීවිතයට ඇතැම් අය එකතු වුණා වගේම මගෙන් ගිලිහුණා | සිළුමිණ

මගේ ජීවිතයට ඇතැම් අය එකතු වුණා වගේම මගෙන් ගිලිහුණා

නර්තනය හා රංගනය මගේ අම්මා තාත්තාට සමානයි

මම උත්සාහ කරන්නේ රැල්ලක් එක්ක ඔහේ ගහගෙන යන්න නෙමෙයි

රංගනය වෘත්තියක් ලෙස සිදු කළා නම් මේ වන විට අපි කෝටිපතියෝ

ඕලු“ නාට්‍යයේ “අසංක සර් “ තුළින් තුරුණු හදවත් කාන්දමක් මෙන් ඇද බැඳ ගත් අහිංසක මුහුණක් ඇති තරුණයා තවත් විටෙක “පූජා“ ටෙලි නාට්‍යයෙන් “නිර්මල“ නමැති නැමැති ලේඛක චරිතය තුළින් සහෘද හිත්සතන් තුළ ඇලවුණි. එසේ එක් එක් චරිත තුළින් සිත් සොරා ගත් ඔහු ගැන වැණීමට අටුවා ටීකා අවශ්‍ය නැත. ඔහු වරෙක නිරූපණ ශිල්පියෙකි. නර්තන ශිල්පියෙකි. තවත් විටෙක රංගන ශිල්පියෙකි. එසේම නූතනයේ ඔහු අධ්‍යක්ෂවරයකුගේ භූමිකාවට ද අපූරුවට පණ පොවයි. ඔහු සුරාජ් මාපායි.

 

රංගන ශිල්පියකු ලෙස අප හඳුනාගෙන සිටි ඔබ මෙවර අප දකින්නේ නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස. නොනිමි ගැන කතා කළොත්?

මම මෙම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමට හීනෙකුදු බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. අප එකී කාර්යය සඳහා නම්‍යශීලි අධ්‍යක්ෂවරයකු සෙවුවා. මෙම නාට්‍යය නිෂ්පාදනය කළේ මගේම හිත මිතුරන්. ඔවුන් වැය කරන මුදලට මම වගකිව යුතුයි. ඒ නිසා අධ්‍යක්ෂකවරයා වැරැදි තීරණයක් ගත්තොත් එකී වගකීම මම බාර ගන්න අවශ්‍යයි. ඒ වගේම අප යෝජනා කළ අධ්‍යක්ෂකවරුන් සිටියෙත් කාර්යබහුල තත්ත්වයකයි. ඒ නිසා හැමෝගෙම තීරණය මත මම මෙම නාට්‍ය අධ්‍යක්ෂණය කිරීමට යොමු වුණා. මම එහි රංගනයෙන් දායක වන නිසා සම අධ්‍යක්ෂණය කිරීමට චන්දන ජයසිංහ අයියා එකතු වුණා.

ඔබ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කර එහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්නේ ගුණාත්මක නිර්මාණවලට ආරාධනා නොලැබුණ නිසාද?

මම යම් නිර්මාණයක් බාර ගන්නේ ඒ නිර්මාණය තුළ අපට කළ යුතු දෙයක් තිබෙනවා නම් පමණයි. එකී නිර්මාණය තුළින් අපට රසයක් දැනිය යුතුයි. නැත්නම් ප්‍රේක්ෂකයාට එයින් උකහා ගතයුතු දෙයක් තිබිය යුතුයි. මම මගේ ශ්‍රමය, කාලය වැය කර යම් නිර්මාණයකට සීයට සීයක් සාධාරණය ඉටු කරනවා. ඒ නිසා බොරුවට වැඩ බාර අරගෙන අනාථ වෙන්න මං කැමැති නැහැ . සමහර නිර්මාණවල කොටස් පහළොවෙන් හෝ විස්සෙන් අධ්‍යක්ෂවරයා ඉවත් වෙනවා. සමහර අවස්ථාවලදී පිටපත් රචකයා මාරු වෙනවා. ඒ වගේ අපහසුතා මගේ වෘත්තීය ජීවිතය තුළ ඕනෑ තරම් තිබෙනවා. ඒ නිසා කොටස් දෙසීයකට වඩා වැඩි නාට්‍යවලට රංගනයෙන් දායක නොවී මේ ප්‍රතිපත්තියක මං සිටිනවා. කොටස් 200ට එහා නිර්මාණයකට දායක වන්නේ එහි කතාවක් තිබෙනවා නම් පමණයි. රංගනය කියන්නේ වෘත්තියක් පමණක්ම නෙමෙයි. එය තෘප්තියක් ලබන සේවාවක්. රංගනය වෘත්තියක් ලෙස සිදු කළා නම් මේ වන විට අප කෝටිපතියන් වී හමාරයි. නමුත් නිර්මාණයක් තුළින් ලබන තෘප්තිය එවිට ලැබෙන්නේ නැහැ.

බොහොමයක් නිර්මාණකරුවන් නිර්මාණකරණයෙන් ඈත් වූ යුගයක ඔබ ප්‍රථම අධ්‍යක්ෂණය සිදු කරනවා. එය ඔබට අභියෝගයක් නේද?

අප යම් දෙයකට මහන්සි වෙලා ආදරෙන් කළොත් එයින් ප්‍රතිඵල ලැබිය හැකියි කියා මා විශ්වාස කරනවා. මෙය මට විශාල අභියෝගයක්. අප සැම විටම උත්සාහ කළේ ප්‍රමිතියෙන් යුත් නිර්මාණයක් සිදු කරන්න. යම් යම් අවස්ථාවලදී කලාව ව්‍යාපාර බවට පත් වෙනවා. එය ව්‍යාපාරයක් වුවත් එහි නිර්මාණාත්මක බව හා ගුණාත්මක බව ගැබ් වී තිබිය යුතුයි. අතීතයේ පටන් අපගේ නිර්මාණ තුළ එකී ගුණාත්මක බව පැවතුණා. නමුත් ව්‍යාපාරිකයන් එකී කලාව සුනු විසුනු කළා. එය අතීතය, වර්තමානය හා අනාගතය තුළ සිදු වන්නක්. ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ නිර්මාණයක මූල්‍යමය වටිනාකමක් පමණයි. මගේ නිර්මාණයට දායක වන සියලු දෙනා එකී නිර්මාණය සාර්ථකත්වයට ලොකු මහන්සියක් දරනවා. ඒ නිසා නිර්මාණය මූල්‍යමය වශයෙන් වගේම ගුණාත්මක වශයෙන් සුරැකේවි කියා මම විශ්වාස කරනවා.

රංගන ශිල්පීන්ගේ හදගැස්ම හොඳින්ම හඳුනන ඔබට ඔබගේ නිර්මාණය තුළ ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට අවකාශ ලැබුණද?

එය තීරණය කිරීමේ අයිතිය මට නැහැ. මෙම නිර්මාණය වෙ‍ෙළඳ භාණ්ඩයක් ලෙස විකිණීමේදී අපටත් එකී ගැටලුව මතු වෙනවා. මෙම ක්ෂේත්‍රය තුළ පවතින ක්‍රමවේදයක් තිබෙනවා. ඒ නිසා යම්තාක් දුරකට එය අසීරු කර්තව්‍යයක්. නමුත් සෑම දෙනාට මගේ නිර්මාණය තුළ යම් සාධාරණයක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපට දිය හැකි සාධාරණ මුදල අප ඔවුන්ට ලබා දෙනවා. ඇතැම් අවස්ථාවලදී නිර්මාණයක මුදලට වඩා මහන්සි විය යුතු අවස්ථා මතු වෙනවා. මගේ කලාකරුවන් සීයට දෙසීයක සහයෝගයක් එහිදී මට ලබා දෙනවා. ඔවුන්ටත් ගුණාත්මක නිර්මාණයක රස විඳීමට ලොකු අවශ්‍යතාවක් තිබෙනවා. දිනය අවසානයේදී ලොකු තෘප්තියක් එවිට අපට ලැබෙනවා. මට තියෙන ලොකුම ශක්තිය මගේ කලාකරුවන් මාව විශ්වාස කරලා මට දෙන සහයෝගයයි. ඒ විශ්වාසය මම උපරිමයෙන් රකිනවා. මම කැමති නැහැ නිර්මාණයක් ජනප්‍රිය වෙලා එය මූල්‍යමය වශයෙන් අසාර්ථක වෙනවට. ඒ නිසා මට නිෂ්පාදකයා බේරා ගැනීමට හා නිර්මාණය ඉහළට ඔසවා තැබීමට ලොකු වගකීමක් තිබෙනවා.

සුරාජ් මාපා කියන නර්තන ශිල්පියාව ඔබගෙන් ගිලිහිලාද?

ඇතැම් නර්තනය සම්බන්ධ නිර්මාණ ලංකාව තුළ දකින්න ලැබෙන්නේ නැහැ. ඇතැම් නිර්මාණ ජාත්‍යන්තර මට්ටමෙන් වෙනම ප්‍රේක්ෂක කුලකයක සිදු කරනවා. ඒ නිසා බහුතර ප්‍රේක්ෂකයන්ට එකී නිර්මාණ දිස්වෙන්නේ නැහැ. මම මේ කාලයේදී වැඩි අවධානයක් යොමු කරන්නේ මගේ රංගන කාර්යයටයි. ඒ කාලය තුළ මා තුළ සිටින නර්තන ශිල්පියා ව තරමක් පිටුපසට යනවා. ඒ වගේම ඇතැම් කාලවලදී මං නර්තනයට ලොකු කාලයක් වෙන් කරනවා. එවිට රංගනයෙන් තරමක් ඈත් වෙනවා. මම වසර 20ක් මෙම ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ එකී ද්විත්වය මම හොඳින් සමබර කළ නිසයි. නර්තනය හා රංගනය මගේ අම්මා තාත්තාට සමානයි. ඒ නිසා එකී ද්විත්වයට මම එක ලෙස සැලකිය යුතුයි වගේම ආදරය කළ යුතුයි.

ඔබගේ ඉදිරි ගමනට ශක්තිමත් අත්වැලක් අවශ්‍යයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

මා මෙතෙක් ආ ගමනේදී මගේ ජීවිතයට ඇතැම් අය එකතු වුණා වගේම මගෙන් ගිලිහුණා. නමුත් මගේ මවුපියන් ඒ හැම මොහොතකම මගේ ළඟින් සිට මට ලොකු ශක්තියක් වුණා. නමුත් ඔවුන් දෙපළ මීට වසර කිහිපයකට කලින් මගෙන් සමු ගත්තා. මගේ සහෝදරියන් දෙදෙනා මට වැටෙන්න නොදී ශක්තියක්ව සිටිනවා. ඒ නිසා එකී ශක්තිය, ධෛර්යය මට උපරිමයෙන්ම ලැබෙනවා. මං හිතා මතා ළංකර ගත්තෙත් නැහැ. හිතාමතා ඈත් කළෙත් නැහැ. වෙන්න තියෙන දෙයක් ඒ විදිහටම සිදු වේවි. අපට මුණගැහෙන්නෙ ආත්මීය බැඳීමක්. එය ස්වාභාවිකව සිදු විය යුතු යුත්තක්. ඒ නිසා එයට සැලසුම් කරන්න වගේම කලබල වෙන්න අවශ්‍ය නැහැ.

Comments