
සිනමාවට මට මුලින්ම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ සෙල්ෆි එකකින්
ආදරේට වඩා මට කරන්න දේවල් ගොඩක් තියෙනවා
දිනේෂා රන්දෙනි කියන්නේ පුංචි තිරයට ආ සුන්දර රුවැත්තියක්. අහස් මාලිගා හි රොශානි, කියාදෙන්න ආදරේ තරම් හි ශාලිකා, වලවෙට්ටුවා හි දිනූ සහ ශැඩෝ හි මාශි a සේම මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි සහ සිරස නාලිකාවේ විකාශය වන හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යය තුළින් දිනේෂා ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඇයට ආදරේ කරන ප්‍රේක්ෂකයන් ඇය ගැන දැන ගන්න කැමති ඇති නිසාම රසඳුන මේ සොඳුරු කතාබහට ඇයව එකතු කර ගත්තා.
කොහොමද ලැබෙන ප්‍රතිචාර
“රැල්ල වෙරළට ආදරෙයි“ එකේ සචිනි කියන චරිතයෙන් තමයි ගොඩක් අය මාව හඳුනාගත්තේ. එතැනින් පස්සේ තමයි අනිත් නාට්‍යයවලටත් ආරාධනා ලැබුණේ. මුලදි නම් යෙනුකිට සහ සත්‍යාට දුෂ්ටකම් කළේ. දැන්නම් එහෙම නැහැ. දැන් ඉන්නවා පොඩ්ඩක් නිවුණු චරිතයක් විදියට. “හිත ළඟ හිනැහුණා“ ටෙලි නාට්‍යයට නම් මෑතකදී සම්බන්ධ වුණේ. එහි මගේ චරිතය වෙන්නේ ස්ටෙෆනි. ඒක වෙනස් චරිතයක්. ඒ චරිතය තුළිනුත් ගොඩක් අය හදුනාගෙන තිබ්බා. “ආ... මේ...රැල්ල වෙරළට ආදරෙයි එකේ නංගි නේද?“ කියලා තමයි කට්ටිය කමෙන්ට් කරලා තිබුණේ.
ඔබ පාසල් ගියේ?
මගෙ ගම නාත්තන්ඩිය. මම මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ වලහපිටිය මහා විද්‍යාලයෙන්. ඊට පස්සෙ ගියේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලට.
කවදාහරි නිලියක් වෙන්න ද හිතුවේ?
නැහැ. ඇත්තටම අදටත් මම නිළියක් වීම හරි පුදුමයක්. මම හිතුවේ සාමාන්‍යය රැකියාවක් කරගෙන පාඩුවේ ඉන්නවා කියලා. පාසල් කාලේදීවත් මම ඩ්‍රාමා කරලා නැහැ. මම මියුසික් කළේ. ඒ වුණාට පාසලේදී නැටුම් වලට එහෙම සහභාගී වෙනවා. පොඩි කාලේ ඉඳන්ම සෞන්දර්ය පැත්තට තමයි බර. මම ජපන් යන්න විභාග කරලා පාස් වෙලා ඉන්නකොට තමයි රංගනය පැත්තට ආවේ.
කොහොමද අවස්ථාව ලැබෙන්නේ?
මම ආවේ අහස් මාලිගා නාට්‍යය තුළින්. එතකොට මට හිතුණා රංගනය ගැන අත්දැකීමක් ලබන්න. අපි හැමදාම ටීවී එකෙන් බලන නාට්‍යය කොහොමද වෙන්නේ, රඟපානවා කියන්නේ මොකක් ද කියලා. ඒ නිසා මම කණිෂ්ක ලක්ෂාන් අයියාට කිව්වා මටත් පොඩි චාන්ස් එකක් අරන් දෙන්න කියලා. ඊට පස්සේ තමයි අහස් මාලිගා හි රොශානි වෙන්න මට අවස්ථාව ලැබෙන්නේ. එතැනින් පස්සේ මම රංගනය හදාරන්න ගත්තා මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ.
කලාවට සම්බන්ධවීම ගැන අද මොකද හිතෙන්නේ?
මූණට මුණගැහුනම නම් හැමෝම හොඳම තමයි කියන්නේ. අපි දන්නේ නැහැ ඒ දේවල් කොහොමද කියන්න. ඒ එක්කම මගේ පාසලේ යාළුවො සහ ගුරුවරු හමුවුණාම කියනවා දිනේෂා මුල අමතක කරලා නැහැ. ඔයා එදා හිටිය දිනේෂාමයි. ඒක හොඳ දෙයක්. හැමදාම ඔය වගේම මුල මතක තියාගෙන ඉස්සරහට යන්න කියලා.
දැන් ජපන් යන්න අදහසක් නැද්ද?
දැන් නම් යන්න බැහැ වගේ.
දිගටම රඟපාන්න ද අදහස
හොඳ නිර්මාණ ලැබුණොත් මම භාරගන්නවා. ඉස්සරහට මම ප්‍රධාන චරිත කරන නාට්‍යය දෙකක් එන්නත් තියෙනවා. ඒ නාට්‍යය මඟ දාලා රට යන්නත් බැහැනේ. අනික මට වැඩ කරන්න ලැබුණු හැමෝම වගේ හොඳයි. ඒ නිසා ආසයි මේ පැත්තෙන් ඉස්සරහට යන්න.
*ගෙදරින් කොහොමද ලැබෙන සහයෝගය
එයාලාගේ අකමැත්තක් නැහැ. ඒ නිසා උපරිම සහයෝගය මට දෙනවා.
සිනමාවට ආරාධනා ආවද?
සිනමාව ගැන කියද්දී මට තියෙන්නේ වෙනස්ම අත්දැකීමක්. සිනමාවට මට මුලින්ම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ සෙල්ෆි එකකින්. ඒක විශේෂයි මට. හේමාල් රණසිංහ අයියා මාරියා චිත්‍රපටයේ දී එයාගේ යාළුවන්ට එයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉන්නවා කියලා පෙන්වන්නේ මාව. ඉතින් ඒ සෙල්ෆි එක සහ අරුණ ජයවර්ධන අයියා අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. තව ඉදිරියට කරන්න ඉන්න සිනමා නිර්මාණවලට සහ වේදිකා නාට්‍යය වලටත් ආරාධනා ඇවිත් තියෙනවා.
එතකොට සැබෑ ජිවිතේ දී පෙම්වතියක් ද?
අපෝ නැහැ. තවම මම මේ ගමන යන්න පටන් ගත්තා විතරයි. මහේන්ද්‍ර සර්ගේ ගුරුහරුකම් එක්ක තෝරා බේරාගෙන බොහොම හෙමින් ගමනක් මම මේ යන්නේ. ඉතින් ආදරේට වඩා මට කරන්න දේවල් ගොඩක් තියෙනවා. මගේ අම්මා තාත්තා මම පුංචි කාලේ ඉඳන් මාව හදාගන්න ගොඩක් දුක් මහන්සි වුණා. ඒ නිසා මම කවදා හරි හොඳ තැනකට ගිහින් සම්මානයක් අරන් ඒ දෙන්නගේ අතට දෙන්න දීලා ඒ අයගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ඕනේ. ඒක තමයි මගේ ලොකුම හීනය. ඒක මම කොහොම හරි කරනවා. ඊට පස්සේ ඉතින් හිතලා බලනවා.
*ක්ෂේත්‍රයේ දී එන යෝජනා ගැන මොකද හිතන්නේ?
යෝජනා එනවා නැත්තේ නැහැ. නමුත් ඒ අයට මගේ අකමැත්ත මම කියනවා. මොකද මම මගේ ඉලක්ක සම්පූර්ණ කර ගත්තට පස්සේ තමයි ආදරයක් ගැන විවාහයක් ගැන හිතන්නේ. ඒත් ඉතින් බැහැ කියලත් හිතෙනවා. අම්මා තාත්තාව හොඳින් බලාගෙන අක්කා මල්ලි එක්ක ඉන්න තිබ්බ නම් ඇති.
ඒ කියන්නේ විවාහ වෙන්න ඕනෙම කියන තැනක නැද්ද?
එහෙම ඕනෙමයි කියලා නීතියකුත් නැහැනේ.
එතකොට අනාගත බලාපොරොත්තු මොනවද?
ප්‍රධානම දේ කවදා හරි හැමෝම ආදරේ කරන දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වීම. කවදම හරි සම්මානයක් ලබා ගන්නවා කියන තැනක මම ඉන්නේ. රංගන ක්ෂේත්‍රයේ මහේන්ද්‍ර සර් වගේ වෙන්න තමයි මම කැමති.