අම්මා මාව බලන්න ඇවිල්ලා හැමදාම අඬා වැටුණා | සිළුමිණ

අම්මා මාව බලන්න ඇවිල්ලා හැමදාම අඬා වැටුණා

මම හැමදාම හිතුවේ ජීවිතේ හරිම සුන්දරයි කියලා. මට එහෙම හිතුණේ මගෙ අම්මා නිසා. මම මගේ තාත්තාව කවදාවත් දැකලා නැහැ. නෑයෙක් කියලා කෙනෙක් අම්මටයි මටයි හිටිය නම් ඒ හිටියේ නයනා පුංචි විතරයි. නයනා පුංචි කියන්නේ අම්මාගේ නංගි. පුංචි හැමදාම අපේ ගෙදර ආවා ඇරෙන්න අපි කවදාවත් පුංචිලගෙ ගෙදර ගියේ නැහැ. ඒ හැරුණම වෙන කිසිම නෑයෙක් අපට හිටියේ නැහැ. අම්මට යාළුවෝ හිටියෙත් නැහැ. ඒත් ගෙවල් අහල පහල අය අම්මා එක්ක හරිම යාළුයි. ඒ නිසා කවුරුවත් නැහැ කියලා අපිට ලොකු අඩුවක් දැනුණේ නැහැ. පුංචි කාලේ ඉඳලම මම හැදුණේ තනියම. අම්මා මට ගෙදර හැම වැඩක්ම කියලා දුන්නා. සතියේ දවස් පහම අම්මා පෙරපාසලක උගන්නන්න ගියා. මම පුංචි කාලේ ගියෙත් අම්මා උගන්නපු

පෙර පාසලටමයි.

 ඉස්කෝලේ ගිහිල්ලා මම ගෙදර එනකොට අම්මා හැමදාම ගෙදර හිටියේ ඒ වෙලාවට. ඒ නිසා අපි දෙන්නට අපි දෙන්නව නැතිව බැරි වුණා. අම්මා මගෙ තාත්තා කවුද කියලා කිවුවේ නැහැ. මම අම්මාගෙන් ඒ ගැන ඇහුවෙත් නැහැ.

මම උසස් පෙළ විභාගයට ලියලා ගෙදරට වෙලා ඉන්න කාලේ තමයි මම අපේ පවුලේ සැඟවිලා තිබුණ ඒ රහස දැන ගත්තේ.

එදා අම්මා වැඩට ගියා. මට හිතුණා රෙදි අල්මාරිය අස්කරන්න ඕන කියලා. මම මගේ රෙදි ටික අස්කරලා අල්මාරියේ ලාච්චුව ඇරියා. අම්මට අමතක වෙලා යතුර යතුරු කටේම තියලා ගිහිල්ලා.

අවුරුදු දහනවයක් තිස්සේ මම ඇහැටවත් නොදැකපු තාත්තාව මම ඉස්සෙල්ලාම දැක්කේ එදා. අම්මා මම උපන් දවසේ ඉඳලා සටහන් ලියපු පොතක් මට ඒයාගේ ලිපි ගොනු අතර තිබිලා හමුවුණා. මගෙ අම්මා යමක් කමක් තියෙන පවුලක කෙනෙක්. මගෙ තාත්තා ඊටත් වඩා පෝසත් වලව්වක කෙනෙක්. කොහොම හරි ඒ දෙන්නා අතර සම්බන්ධයක් ඇති වෙලා. ඒ සම්බන්ධයේ ප්‍රතිඵලය තමයි මම. මම ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තාම අම්මාගේ ගෙදර අය අම්මව ගෙදරින් පන්නලා. මගෙ තාත්තා එයාගේ අම්මලාගේ කීම අහලා වෙන විවාහයක් කරගෙන. කාත් කවුරුවත් නැති අම්මා ගෙදරින් ඇවිල්ලා මුලින්ම නතර වෙලා තියෙන්නේ එයාගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක්ගේ ගෙදර. මාසයක් විතර එහෙ ඉඳලා අම්මා කොන්වන්ට් එකක වැඩට ගිහිල්ලා තියෙනවා. එතැන කන්‍යා සොයුරියෝ අම්මාට හරි ආදරෙන් සලකලා. මම ඉපදුණාට පස්සේ එයාලා මං ගැන බලලා තියෙනවා. මට අවුරුද්දක් විතර වුණාට පස්සේ තමයි එයාලා අම්මට රස්සාවකුත් හොයලා දීලා පුංචි ගෙයක් හදලා දීලා තියෙන්නේ.

මට මතකයි අම්මා මාවත් එක්කගෙන ඒ කන්‍යා සොයුරියන්ව බලන්න යනවා.

අපි දෙන්නාගේ ලෝකය හරි සුන්දරයි. ඒත් අම්මාගේ අල්මාරියේ තිබුණ ඒපොත කියවපු දවසේ ඉඳන් මගෙ ඔළුව අවුල් වෙලා තිබුණේ. මගෙ අම්මා මා වෙනුවෙන් කොයි තරම් දුකක් උහුලන්න ඇතිද කියලා මට හැමවෙලාවෙම හිතෙනවා. එදා දවස ගෙවිලා ගියා. මම ඒ සතියේ සෙනසුරාදා හොඳ වෙලාවක් බලලා අම්මාගෙන් මගෙ තාත්තා ගැන ඇහුවා.

අම්මා මගෙ දිහා බැලුවේ පුදුම වෙලා.

“ඔයා කොහොමද දූ ඕවා දන්නේ....?“ අම්මා මට උත්තර නොදි මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒත් අන්තිමට අම්මා ඒ කතාව මට කිවුවේ අඬ අඬා. මට මගෙ අම්මා ගැන එදා නම් හුඟක් දුක හිතුණා. මං හිතා ගත්තා තාත්තාට හොඳ පාඩමක් උගන්නන්න.

කාලය ගෙවිලා ගියා. මට තාත්තා හොයා ගන්න බැරි වුණා. ඒ අම්මා මට එයා ඉන්න තැනක් ගැන තොරතුරු නොකියපු නිසා. ඒත් මට හැම මොහොතකම පින්තූරයෙන් දැක්ක ඒ මුහුණ මැවි මැවී පෙණුනා. මට රස්සාවක් ලැබුණේ ඔය අතර. මම ඒ රස්සාවට ගියා. එත් කිසිම දවසක පිරිමියෙක් දිහා නොබලන්න මගෙ හිත හැඩ ගැහිලා තිබුණා.

කාලය ගෙවිලා ගියා. මගෙ රස්සාව නිසා අම්මා එයාගේ රස්සාව අතැහැරියා. අපි දෙන්නා සතුටින් ජීවත් වුණා. ඒත් අම්මා මට මංගල යෝජනාවක් ගෙනාවේ මේ අතර. එයා මාව බලන්න ආවා. කිසිම දවසක පිරිමියෙක් දිහා බලන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු මම එයාට කැමැති වුණා. මටත් ඒ ගැන පුදුමයි. අපි ඉඳහිට හමුවුණා. එයා අපේ ගෙදර ආවා ගියා. එත් මගෙ හිතේ මට නොදැනෙන මොකක්දෝ සැකයක් එයා ගැන තිබුණා. ඒ සැකයම තමයි මගෙයි අම්මගෙයි ජීවිත විනාශ කළේ. එයයි මමයි හැමවෙලේම ගැටුණා. ඒ ගැටීම දුර දිග ගිහිල්ලා අන්තිමට එයා අපේ ගෙදර එන එක අත්හැරියා. මට ඒක ඉවස ගන්න බැරිව ගියා. මම මහ දරුණු කෙනෙක් කියලා මට තේරුණේ හිරගෙදර ඇවිල්ලත් කාලයක් ගියාට පස්සේ. දවසක් මම එයාව හොයාගෙන ගියා. එදා එයා ගෙදර හිටියේ. ගෙදර හිටියේ එයාගේ අම්මා විතරයි. එයා වෙනදා වගේම හිනා වෙලා මා එක්ක කතා කළා. මාව එයාගේ කාමරයට එක්කගෙන ගියා. එයා හුඟක් දේවල් කිවුවා. මට ඒ එකක්වත් මතක නැහැ. එයා මගෙ අතින් අල්ලගෙන මාව තුරුලු කරගත්තා. එයා මාව එයාගේ ඇදේ හාන්සි කෙරෙව්වා. මම දන්නෙ නෑ මට ඒ වෙලාවේ කොහෙන් ඒ තරම් හයියක් ආවද කියලා. මගෙ ගවුම් සාක්කුවේ දාගෙන හිටිය පිහියෙන් මම එයාට ඇන්නා. දෙතුන් පාරක් ඇන්නා. එයා කෑ ගහගෙන බිම වැටුණා. එයාගේ අම්මා මගේ පුතේ කියාගෙන කාමරයට දුවගෙන ආවා.

ජීවිතේ පළමු වතාවට මම ආදරය කළ රුවන් මගෙ අතින් මැරුණේ ඒ විදිහට.

මගෙ අම්මා මාව බලන්න ඇවිල්ලා හැමදාම අඬා වැටුණා. අවුරුද්ද මතක නෑ මම මෙහෙ ආව. ඉස්සර අම්මා ආවා මාව බලන්න. දැන්නම් කවුරුවත් නෑ මාව බලන්න එන්න.

අම්මා මැරිලා වෙන්නැති.“

 

පසුව ලියමි

සරෝජනී නම් වූ ඇය හිරගෙදරට පැමිණ වසර දහයකට වැඩි කලක් ගතව ඇත. ඇගේ ජීවිතය හිරගෙදරටම සීමා වූයේ ඇගේ හදිසි කෝපය නිසාය. තම පෙම්වතා මරා දැමූ ඇයට දැන් ඇගේ කියා කිසිවෙක් නැත. මානසික රෝගයකට ද ගොදුරුව හිඳින ඇය රෝගය උත්සන්න වූ විට මාසයක් දෙකක් ගත කරන්නේ මානසික රෝහලේය.

Comments