
මේ ගෙවෙන්නේ සුපිරි නිළි දීපිකා පදුකෝන්ගේ ජීවිතයේ ඉතාමත්ම විශේෂ කාලසීමාවක්. ඒ බව වඩාත් තහවුරු වුණේ පසුගියදා පැවැති ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසාන මහා තරගයේදී එහි කුසලානය නිරාවරණය කිරීම සඳහා ද ඇය තෝරා ගැනීම හේතුවෙනුයි. එම ගෞරවය ලැබූ පළමු ඉන්දියානුවා දීපිකා වීම විශේෂත්වයයි. අවසන් තරගයට මොහොතකට පෙර එම කුසලානය නිරාවරණය කිරීම සිදු වූ අතර එය මුළු ලොවේම අවධානය දිනාගත් අවස්ථාවක්ද වුණා. එම අවස්ථාව වෙනුවෙන් දීපිකා සමඟ එක් වුණේ සුප්‍රකට ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක කැසිලස් ෆර්නැන්ඩස්.
මේ වන විට සිය සිනමා දිවියේ ස්වර්ණමය වකවානුව පසුකරමින් සිටින දීපිකා පසුගිය කෑන්ස් සිනමා උලෙළේ ජූරි සාමාජිකාවක ලෙස ද තෝරා ගැනුණේ ඇයට ලොව පුරා සිනමා ලෝකයේ ඇති පිළිගැනීම තවත් තහවුරු කරමිනුයි. මීට පෙර, ‘මුහුණේ සමමිතිය අනුව’ ලොව රූමත්ම කාන්තාවන් දසදෙනා අතරට ද ඇය තේරී පත්වූ අතර, සුප්‍රකට ටයිම් සඟරාව විසින්ද දෙවරක් ඇයව සම්මානයට පාත්‍ර කරනු ලැබුවා. ඒ ලොව වඩාත්ම බලපෑමක් ඇති කළ හැකි තැනැත්තන් සිය දෙනාගේ ලැයිස්තුවටද ඇගේ නම ඇතුළත් කරමින්. 2014 - 2018 අතර කාලයේදී ඉන්දියාවේ වැඩිම ගෙවීමක් ලැබූ රංගන ශිල්පිනිය වුයේද ඇයයි. මේ වන විට 36 හැවිරිදි වියේ පසුවන දීපිකා සතු වත්කම ඩොලර් මිලියන 35 බවද වාර්තා වෙනවා.
ළාබාල වියේදී ජාතික තලයේ බැට්මින්ටන් ක්‍රීඩිකාවක් ලෙසද කටයුතු කර ඇති දීපිකා පසුකාලීනව සිනමාවට එක්වූයේ නිරූපිකාවක් ලෙසිනුයි. සිය පළමු සිනමාපටයේ දීම ඇය ද්විත්ව චරිතයක් රඟපෑවේ සුප්‍රකට නළු ෂාරුක් ඛාන්ගේ පෙම්වතිය ලෙසිනුයි. om shanti om ඒ චිත්‍රපටය බව ඔබට මතක ඇති. එම සිනමාපටයේ රංගනය වෙනුවෙන් හොඳම නැගී එන නිළිය සම්මානයට පාත්‍ර වූ දීපිකා මේ වන විට තවත් filmfare සම්මාන දෙකක්ද දිනාගෙන සිටී. 2015 වසරේ තිරගත වූ පීකූ සිනමාපටය වෙනුවෙන් දීපිකා හිමිකර ගත්තේ හොඳම රංගන ශිල්පිනියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයයි.
බොලිවුඩයෙන් හොලිවුඩය ජයගත් දීපිකා සුප්‍රකට xxx චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට සමත්වීම ඇය මෙන්ම ඉන්දියානු සිනමාවද ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා. සන්ජේ ලීලා බන්සාලිගේ ‘රාම් - ලීලා’ සිනමා පටයේ රූගත කිරීම් අතරතුර රන්වීර් සිංට සමීප වූ ඇය ඔහු සමඟ විවාහ වුණේ 2018 වසරේ දී යි. 2008 වසරේදී රන්බීර් කපූර් සමඟ වූ ප්‍රේම සම්බන්ධය හේතුවෙන් විශාදය රෝගයට පවා ලක් වූ දීපිකා, ඉන් ලැබූ අත්දැකීම් හේතුවෙන් මේ වන විට ඉන්දියාව තුළ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් ඉටු කරමින් සිටිනවා. ඇය විසින් The live love laugh foundation නම් සංවිධානය පවා පිහිටවනු ලැබුවේ ද ඒ සඳහායි.
මේ දිනවල දීපිකා තවත් කතා බහට ලක් වන්නේ ඉදිරියේදී තිරගත වීමට නියමිත ඇගේ නවතම චිත්‍රපටය වන PATHAAN හි ආන්දෝලනාත්මක ගීත ජවනිකාව හේතුවෙනුයි. Besharam Rang නම් එම ගීතය සඳහා දීපිකා කහ පැහැති බිකිනියකින් සැරසී රංගනයේ යෙදෙන අතර එය මේ වන විට ඉන්දියාවේ අන්තවාදී සංවිධානවල සහ ඇතැම් දේශපාලනඥයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා.
මධ්‍ය ප්‍රදේශ්හි අමාත්‍යවරයකු වන නරෝත්තම් මිශ්‍රා පසුගියදා සඳහන් කර තිබුණේ එම ගීතය හිතාමතාම හින්දු ජාතිකයින් වෙත පහර ගැසීම සඳහා නිර්මාණය කරන ලද්දක් බවයි.
ඔහුට අමතරව සුදීර් ඔජා නම් විහාර ප්‍රාන්ත නීතිඥයකු ද එහි අධිකරණයක් ඉදිරියේ ෂාරුක්ට සහ දීපිකාට එරෙහිව නඩු පවරා තිබෙනවා. එම නඩුව එළඹෙන ජනවාරි තුන් වැනි දා විභාගයට ගැනීමට නියමිතයි. ජනප්‍රිය රූපවාහිනී නළුවකු වන මුකේෂ් කන්නාද එම ගීතය වෙනුවෙන් විරෝධය පළකර ඇත්තේ රැඟුම් පාලක මණ්ඩලයටද දෝස්මුරයක් එල්ල කරමිනුයි.
මේ සියල්ල අතරේ PATHAAN එළඹෙන ජනවාරි විසිපස් වැනි දා සිට ලොව වටා තිරගතවීම ඇරඹීමට නියමිතයි. ඊට අමතරව දීපිකා රඟන තවත් දැවැන්ත සිනමාපට කිහිපයක්ම ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. ප්‍රබාෂ්, රිතික් රෝෂන් සමඟ රඟන සිනමාපට දෙකට අමතරව ඇය වැඩිම බලාපොරොත්තුවක් තබා ඇත්තේ mahabarath සිනමාපටයේ දෘපදී කුමරියගේ චරිතය ගැනයි.