මම සැබෑ ජීවිතෙත් පෙම්වතියක් -ඔහු නව පරපුරේ ගායකයෙක් | Page 5 | සිළුමිණ

මම සැබෑ ජීවිතෙත් පෙම්වතියක් -ඔහු නව පරපුරේ ගායකයෙක්

සිනමා නිළියක් වෙන්න ඕනේ කියන හීනේ මට හැමදාමත් තිබුණා

මම කැමැතියි ආදරේ කරන කෙනා දුක සැප දෙකේදීම මා ළඟින් ඉන්නවට

නිම්හාරා සසින්දි සේනානායක කියන්නේ අද වන විට අපේ කලා ක්ෂේත්‍රය තුළ බොහෝ පිරිසකගේ අවධානය දිනාගෙන ඉන්න දක්ෂ වගේම බොහොම සුන්දර රංගන ශිල්පිනියක්. නිම්හාරා මුලින්ම රංගනයට පිවිසෙන්නේ අවුරුදු හතර හමාර තරම් පොඩි වයසින්. ඒ ‘කාව්‍යා’ නාට්‍ය හරහා. ඉන්පසු ඇය ‘නිසලගිරි’ චිත්‍රපටයටද රංගනයෙන් දායක වෙනවා. අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දුන් නිසා කලාවෙන් මඳක් ඈත් වෙන නිම්හාරා නැවත දකින්නට ලැබුණේ ‘හුස්මක් තරමට’ සහ රේස් 2“ ටෙලිනාට්‍යය තුළින්. ඒ වගේම ඉදිරියට තිරගත වීමට නියමිත චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ “සිහින අනන්තේ“ නවතම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ද ඇයයි. ඉදිරියේදී රිදී තිරය හැඩකරන මේ සොඳුරු රුවැත්තිය නිම්හාරා සමඟ රසඳුන කළ කතාබහකි මේ…

 

නිම්හාරා මොකද වෙන්නේ මේ දවස්වල?

මේ අවුරුද්දෙ තමයි මම රඟපෑ “සිහින අනන්තේ“ චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් වුණේ. එහි විශේෂ දැක්මක් දෙසැම්බර් 9 වෙනිදා තිබුණා. ඒ එක්කම ඉතින් සුපුරුදු විදියට මොඩ්ලින් ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යනවා.

සිහින අනන්තේ, සිනමා අත්දැකීම කොහොමද දැනුණේ

ඇත්තටම සිහින අනන්තේ චිත්‍රපටය කියන්නෙ මගෙ ජීවිතේ‍ෙ හැරවුම් ලක්ෂ්‍යයක්. දවසක සිනමා නිළියක් වෙන්න ඕනේ කියන හීනේ මට හැමදාමත් තිබුණා. ඒත් මෙච්චර ඉක්මනින්ම ඒ හීනේ සැබෑ කර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. ඒ නිසා චන්න අයියා ට සහ යශෝධා අක්කට ස්තූතිවන්ත වෙන්න ඕනේ මට මේ අවස්ථාව ලබා දුන්නට. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ලොකු අත්දැකීමක් ලැබුවා. අපි මේ ෆිල්ම් එක ෂූට් කළේ රිවස්ටන් වගේ ලස්සන පැතිවල.

අමතක නොවන අත්දැකීම් ඇති...

ඔක්කොම ලැබුණු අත්දැකීම් මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. විශේෂම දේ තමයි රෑ 7 වගේ ඉඳන් උදේ හය වගේ වෙනකම් වැස්සෙ නාන්න සිදුවීම. රිවස්ටන් වගේ සීතල පැත්තක ඒ තියෙන සීතල වතුරින් නාන්න වීම නම් කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ.

චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගියදා තිබුණනේ, කොහොමද ලැබුණු ප්‍රතිචාර

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම අපේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම ඒ ගැන නම් නිහතමානි සතුටක් තියෙනවා. මම දැන් නොඉවසිල්ලෙන් ඉන්නෙ මේ චිත්‍රපටය පොදු ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනකම්.

අමතක නොවනම ප්‍රතිචාරය දුන්නෙ කවුද?

මට එහෙම එක් කෙනෙක් කියන්න බැහැ. අපේ සිනමාවේ දැවැන්තයින් වන රවීන්ද්‍ර රණ්දෙනිය, සංගීතා වීරරත්න, යශෝධා විමලධර්ම, ක්ලීටස් මෙන්ඩිස් වැනි ප්‍රවීණයින් මගෙ අත් දෙක අල්ලගෙන, මාව සිපවැලඳගෙන මට කඳුළු එන තරමට මගේ රංගනය ගැන ප්‍රතිචාර දැක්වූවා. ඒ හැමෝම කිවුවෙ අලුත් නිළියක් කියන එක ඒ අයට මගේ රංගනය තුළින් දැනුණේ නැහැ කියලා. සිහින අනන්තේ සිනමාශාලාවලට ආවම අනිවාර්යයෙන්ම බලන්න. ඒක සුන්දර සහ හරිම සංවේදී ආදර කතාවක්.

ඔබ පුංචි තිරයේ නිර්මාණවලින් දකින්න නැත්තේ වැඩි කැමැත්ත සිනමාවට නිසා ද?

පුංචි තිරයද සිනමාවද කියලා එහෙම විශේෂයක් නැහැ. හොඳ නිර්මාණවලට දායක වෙනවා.

රංගනයෙන් දිගටම ඉදිරියට යන්න ද බලාපොරොත්තුව

ඔව් මම රඟපාන්න ආසයි. ඒ වගේම මොඩ්ලින් පැත්තෙන් ඒ වැඩකටයුතුත් මම සමබරව කරගෙන යනවා.

ඔබේ මව මේ රටට පැජන්ට් හරහා කීර්තියක් ගෙනදුන් කෙනෙක්, අදහසක් නැද්ද පැජන්ට්වලට ඉදිරිපත් වෙන්න

මිස් ශ්‍රී ලංකා, මිස් වර්ල්ඩ් කෙනෙක් වෙන්න එහෙම නැත්නම් බෙස්ට් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් වගේ පැජන්ට් එකකට තව අවුරුදු කිහිපයකින් අනිවාර්යයෙන් ඉදිරිපත් වෙනවා. ඒක මගෙ අම්මගෙ තාත්තාගෙ හීනයක්. ඒ දෙන්නගෙන්ම ඒකට මට පුහුණු වෙන්න පුළුවන් නිසා ඒක මට පහසුයි.

නිම්හාරා තිරයේ දී නම් පෙම්වතියක්නේ, සැබෑ ජීවිතේ කොහොමද?

මම සැබෑ ජීවිතෙත් පෙම්වතියක්. ඔහු නව පරපුරේ ගායකයෙක්.

නිම්හාරා ආදරේ දකින්නෙ සහ බලාපොරොත්තු වෙන්නෙ කොහොමද ?

ආදරේ කියන්නෙ හරිම සුන්දර දෙයක් හරි කෙනා හමුවුණොත්. මොකද අපේ ජීවිතේට තෝරා ගන්න සහකරු කියන්නෙ අපි ජීවිතේ කරන කියන දේවල්වලට මානසිකව පවා බලපාන කෙනෙක්. ඉතින් හරි කෙනා හමුවුණොත් ඇත්තටම අපේ ගමන යන්න පහසුයි. එහෙම ලැබීම පිනක්. එතකොට හැමදෙයක්ම සුන්දරව විඳින්න පුළුවන්. මම කැමැතියි ආදරේ කරන කෙනා දුක සැප දෙකේදීම මා ළඟින් ඉන්නවට.

අනාගත බලාපොරොත්තු මොනවාද?

ලොකු ලොකු බලාපොරොත්තු නම් නැහැ. දැනට මාස දෙකකට කලින් ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමාව සහ උපාධිය සම්පූර්ණ කරා. මට හැමදාම අම්මා තාත්තා කිවුවෙ මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන ගමන් අධ්‍යාපන කටයුතුත් සාර්ථකව කර ගන්න කියලා. ඒ නිසා ඉදිරියට එන හොඳ නිර්මාණත් බාරගෙන සතුටින් ඉන්නයි බලාපොරොත්තුව.

 

Comments