
රටේ තියෙන ප්‍රශ්න එක්ක සංගීතය පමණක් කරන්නෙ කොහොමද?
අපි දෙන්නා අතරට ආගම ප්‍රශ්නයක් වෙලා නැහැ
සංගීත් ඉද්දමල්ගොඩ කියන්නෙ නිවේදකයෙක්, ගායකයෙක් විදිහට ක්ෂේත්රයට පිවිස තාරුණ්‍යයේ බොහෝ දෙනාගේ ආදරේ දිනාගත් චරිතයක්. ඒ වගේම මේ වෙද්දි සිය පියාගේ අඩිපාරේ යමින් වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රයේ ද නමක් දිනාගන්නට සංගීත් සමත්ව තිබෙනවා. ඒ නිසාම සංගීත්ට ටිකක් සංගීතය මඟ හැරිලා ද කියලත් හිතෙනවා. ඒ ගැන වගේම සංගීත්ගේ අලුත් නිර්මාණ කටයුතු ගැනත් කතා කරන්න අපි ඔහු රසඳුන කතාබහකට එක්කර ගත්තා.
මේ දවස්වල මොකද වෙන්නෙ…
සුපුරුදු විදියට වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රයේ වැඩ කරගෙන යනවා. ඒ අතරතුරේ සංගීත ප්‍රසංග කිහිපයක් නිර්මාණය කිරීමේ කටයුතුවල නියැළුණා. මොකද කොන්සට් ක්‍රියේටිව් කරන්න මම ගොඩක් ආස කෙනෙක්. වෙනස් විදියේ සංගීත ප්‍රසංග වෙනස් විදියේ රටාවකට තාක්ෂණය එක්ක වෙනස් රහක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න මම කැමතියි. ඒ නිසා ලබන වසරේදී ඉවෙන්ට්ස් පැත්තෙන් මෙතෙක් කවුරුත් නොකළ අලුත්ම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
අලුත් සිංදුවක් කරන්න අදහසක් නැද්ද?
අලුත් ම සිංදුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ සිංදුවට මගේ බිරියත් ඉන්නවා. අපි දෙන්න ගිය අවුරුද්දෙ කරපු සිංදුව තමයි මේ අවුරුද්දෙ දෙසැම්බර් 28 රිලීස් වෙන්නෙ. ගීතයේ නම පෙම් අංගනා. ඒ ගීතය රචනා කළෙත් සංගීතය නිර්මාණය කළෙත් මමයි.
සංගීත්, සංගීතයට වඩා වෙෙළඳ දැන්වීම් සහ ප්‍රසංග සංවිධාන කටයුතුවලට ද මුල් තැන දීලා තියෙන්නේ…?
හොඳම හොඳ ප්‍රශ්නයක්. මේ රටේ තියෙන ප්‍රශ්න එක්ක සංගීතය පමණක් කරන්නෙ කොහොමද? ඒ නිසා මම බොහෝ වෙලාවට මගේ ව්‍යාපාරික කටයුතුවලට වැඩි නැඹුරුවක් දීලා තියෙනවා. ඒ දේවල් හරියට නොවුණොත් අපිට ජීවත් වෙන්න බැරුව යනවා. නමුත් මම සංගීතය අතහැරලා නැහැ. වෙලාව කොහොම හරි වෙන් කරගෙන ලබන අවුරුද්දේ අලුත් නිර්මාණ කිහිපයක් කරන්න සැලසුම් කරලා තියෙනවා.
කොහොමද මෙවර නත්තල් සැමරුම...?
නත්තල පුළුවන් උපරිම විදියට සමරන්න ආස කෙනෙක්. ඒ නිසා හැම වසරකම වගේ මේ අවුරුද්දෙත් ගෙදර අය එක්ක නත්තල සමරනවා. මේ අමන්දයි මමයි සමරන දෙවන නත්තල. අමන්දා බෞද්ධ කෙනෙක්. එත් අපි දෙන්නා අතරට ආගම ප්‍රශ්නයක් වෙලා නැහැ.
රසික ආදරේ හැමදාම තියාගන්න මොන වගේ දේවල් ද සංගීත් අනුගමනය කරන්නෙ…?
මම විශ්වාස කරන්නෙ රසිකත්වය හැමදාම තියාගන්න නම් ඔවුන්ට හැමදාම අලුත් දෙයක් දිය යුතුයි කියලා. හැමදාම දකින සංගීත්ට වඩා වෙනස් විදියට දකින්න රසිකයන් කැමතියි. ඉතින් මා වටා ඉන්න රසිකයන්ට ලබන වසරේදී නැවුම් අත්දැකීම් ටිකක් ලබා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔබේ අනාගත බලාපොරොත්තු?
මගේම කියලා ගීත කිහිපයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම සංගීතවත් කරපු ගීත කිහිපයක් ලංකාවේ ඔබ ආදරේ කරන ගායක ගායිකාවන් එක්ක අහන්න දකින්න අනිවාර්යයෙන් ලැබෙයි. ඒ සමඟම මගෙම ප්‍රොඩියුසර් ඇල්බම් එකක් ලබන වසරෙ මැදදි ලෝන්ච් වෙනවා. එහි වැඩ කටයුතු දැනටමත් පටන් අරන් තියෙන්නේ. ඒ වගේම ලංකාවේ මෙතෙක් නොවුණු ආකාරයේ ඉවෙන්ට්ස් ගොඩක් මම ක්‍රියේට් කරගෙන යනවා. එහි පළමු වැනි ඉවෙන්ට් එක පෙබරවාරි මාසේ 25,26 දෙදින පෝර්ට් සිටි එකේදී පවත්වන්න කටයුතු සූදානම් කරමින් ඉන්නවා.
ඔබේ ප්‍රේක්ෂකයන්ට උදාවූ නත්තලට වගේම ලබන්නා වූ නව වසරට එකතු කරන සුබ පැතුම මොකක් ද?
ජේසුස් වහන්සේ අපිට දීලා තියෙන මැසේජ් එක හරියාකාරව අනුගමනය කරලා සාමයෙන් සතුටින් නත්තල ගත කරන්න. නත්තල් කියන්නෙ කාලා බීලා පාටි දාන එක නෙවෙයි, හැමෝම එක්ක ආදරේ බෙදාගෙන හැමෝගෙම ජීවිතවලට සතුටක් දෙන්න පුළුවන් නම් දෙසැම්බර් 25 වෙනිදා ට ඒක තමයි මම බලාපොරොත්තු වෙන නත්තල.