මම කැමතියි රාජ්‍ය සේවයේ නියුතු කෙනෙක්ට | සිළුමිණ

මම කැමතියි රාජ්‍ය සේවයේ නියුතු කෙනෙක්ට

විවාහයෙන් බලපෑම් ආවේ නැත්නම් දිගටම රඟපාන්න කැමැතියි

මම කලාවට ආවේ මමවත් නොහිතපු විදිහට

ඕනෑම ක්ෂේත්‍රයක් ඉදිරියට පවතින්න නම් ඒ ක්ෂේත්‍රයට නව පරපුරක් බිහිවෙන්න ඕනේ. අද මේ සොඳුරු කතාබහට සම්බන්ධ කර ගත්තෙත් දක්ෂතා සපිරි නව පරපුරේ රංගන ශිල්පිනියක්. ඇය නමින් නයනි රාමනායක.

ඔබ කොහොමද මේ කලාවට පිවිසෙන්නේ?

මම පොඩි කාලේ ඉඳන් කලාවට ආස කළා. නමුත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔය අතරේ මම චාමර සමරවික්‍රම අයියාගෙ ඔඩිෂන් එකකට යනවා. එතැනදි ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර් මාව තෝරා ගන්නවා. ඒ ‘හිරු ඇවිදින්‘ කියන නාට්‍යයේ හිමාලි කියන චරිතයට. ඒක තමා මගේ මුල්ම ටෙලි නාට්‍යය. එතැනින් තමයි මම රංගනයට පිවිසෙන්නේ.

 

මේ කාලෙ මොනවාද වැඩ කටයුතු?

මම මේ දිනවල නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්න නිසා තරමක් කාර්යබහුල වෙලා ඉන්නෙ. සිරස නාලිකාවේ විකාශය වන චන්දෝලිහි පුණ්නි, ස්වාධීන රූපවාහිනීයේ විකාශය වන දිව්‍යාදරි නාට්‍යයේ ටික්කි සහ දෙරණ නාලිකාවේ විකාශය වන දෙකොන් මාරු එකේ මන්දාකිණි කියන චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට එනවා.

 

ඔබ පාසල් ගියේ කොහේද?

මම ඉගෙන ගත්තේ කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ.

 

ඔබේ පවුලේ තොරතුරු සිහිපත් කළොත්?

මගේ තාත්තා විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙක්. අම්මා මම ඉගෙනගත් විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේම ගුරුවරියක්. මට ඉන්නෙ එක සහෝදරයෙක්. ඔහු මේ වෙද්දි කහටගස්දිගිලිය රෝහලේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරනවා.

 

ඔබ නිළියක් වෙනවට පවුලේ අය කැමැති වුණාද?

අපේ ගෙදර තුන් දෙනාම රජයේ රැකියාවන් කරන නිසා එයාලට ඕනේ වුණේ මාත් රජයේ රැකියාවක් කරනව දකින්න. හිතුවේ නැහැ කවුරුත් මම කලාවට එයි කියලා. අපේ පවුලේ කවුරුත් ඍජුවම කලාවට සම්බන්ධ අය නැහැ.

 

නයනි හීන දැක්කෙ නිළියක් වෙන්නද?

නැහැ. කලාවට සම්බන්ධ වෙන්න ආසාව තිබ්බත් මට ඕනේ වුණෙත් පොලිස් පරීක්ෂකවරියක් වෙන්න. ඒ නිසාම මම උසස් පෙළ විද්‍යා අංශයෙන් විභාගය ලියලා ප්‍රතිඵල ආව විතරයි පොලිසියේ පොලිස් පරීක්ෂක තනතුර සඳහා ඉල්ලුම් කළා. නමුත් අඟලක් උස අඩු නිසා මාව තේරුණේ නැහැ. ඔය අතරේ ජොබ් එකක් කරන්නත් ආස කළා. ඒ ඒක්කම නාලිකා කිහිපයක අවුරුදු කුමාරිය තරගයට ඇප්ලයි කරා. දෙරණ අවුරුදු කුමරිය තරගයේ අවසන් 10ට තේරුණා. ඒ එක්කම කලාවට තිබ්බ ආසාව ආයේ මතු වුණා. මම කලාවට ආවේ මමවත් නොහිතපු විදිහට.

 

අද ඉන්න තැන ගැන සතුටුද?

ඇත්තටම ඔව්. කවදාවත් හිතුවේ නැහැ මේ තරම් ඉක්මනින් ක්ෂේත්‍රයට එන්න ලැබේවි කියලා. සමාජයේ අය මොන වගේ දේවල් කිව්වත්, මොන විදියට රංගන වෘත්තිය දැක්කත් මම විශ්වාසයෙන් කියනවා තමන් හරියට ඉන්නවා නම් ඉන්න පුළුවන් හොඳ ක්ෂේත්‍රයක්. ඉතින් මම ඉතා සතුටින් ඉන්නවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා චාමර සමරවික්‍රම අයියාට, ඔහු හරහා තමයි මට මේ ක්ෂේත්‍රයට මේ තරම් ඉක්මනින් එන්න අවස්ථාව ලැබුණේ. මේ වෙනකම් මාව නිර්මාණවලට සම්බන්ධ කර ගත්ත සහ මා එක්ක රංගනයේ යෙදුණු හැමෝම ඉතාම ආදරෙන් සිහිපත් කරනවා.

 

කට කතා, ගොසිප්වලට බය නැද්ද?

ජනප්‍රිය වෙද්දි කටකතා ගොසිප් කියන ඒවා කොහොමත් හැදෙනවා. ඒවා ගැන ඕනෑවට වඩා හිතන්න ගියොත් අපේ ගමන නතර වෙනවා. ඒත් ඇයි කොහේවත් යන කවදාවත් දැකපු නැති අයගෙ කටකතා ගොසිප් මඩ ප්‍රචාරවලට අපේ ගමන නවත්තලා දාන්නෙ. ඒ නිසා සියල්ල සම සිතින් දරාගෙන ඉදිරියට යන්නයි මම හිතන් ඉන්නෙ.

 

විවාහයට තෝරා ගන්නෙ කලාවේ කෙනෙක් ද?

ක්ෂේත්‍රයේම කෙනෙක්ට ලොකු කැමැත්තක් නැහැ. පවුලේ හැමෝම රජයේ සේවයේ නිසා මම කැමතියි රාජ්‍ය සේවයේ නියුතු කෙනෙක්ට.‍

 

මේ වෙද්දි එහෙම කෙනෙක් හමුවෙලාද තියෙන්නේ?

ඒ ගැන හරියටම ඉදිරියේදි කියන්නම්

 

හැමදාම රඟපාන්න ද කල්පනාව?

මම නම් ආසයි මේ ක්ෂේත්‍රයේ පුළුවන් තාක් රැඳී ඉන්න සහ කවදා හරි සම්මානයක් ගන්න. හැබැයි ඉදිරියට කොහොම වෙයිද කියන්න බැහැනේ. විවාහයෙන් එහෙම බලපෑම් ආවේ නැත්නම් දිගටම රඟපාන්න කැමැතියි.

 

ඔබට රංගන සීමා තියෙනවද??

ඔව්. මට රංගන සීමා තියෙනවා. මගේ සීමාවන් තුළ සිටිමින් මගේ ආත්ම ගෞරවය රැකගෙන චරිතයට උපරිම සාධාරණය කරන්නයි මට ඕනේ.

 

Comments