තාමත් දවසකට දහපාරකට වඩා ගෙදරට කෝල් ගන්නවා | සිළුමිණ

තාමත් දවසකට දහපාරකට වඩා ගෙදරට කෝල් ගන්නවා

අපි මුලින්ම අපේ ගෙදර සැරසුවා නත්තල් අසිරිය දැනෙන්න

ස්වේතා මේලි කියන්නෙ අපි හැමෝම ආදරේ කරන මේරියන්ස් කණ්ඩායමේ නායක නලින් පෙරේරාගෙ දුව බව මේ වෙද්දි බොහෝ දෙනා දන්නවා. ස්වේතා මේ වෙද්දි ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ. ඒ ආදරණීය සැමියා රනිත් අංහගම ගමගේ එක්ක. මේ වසරේ තමයි ලංකාවෙන් එපිට ස්වේතා නත්තල් සමරන පළමු අවස්ථාව. නත්තලට නම් ගෙදර සරසලා තියෙන අපූරුව වීඩියෝ එකකින්ම සමාජ මාධ්‍යයට එකතු කරලා තිබ්බා. ඉතින් නත්තල් සමරන අද දවසේ අපේ කතාබහ ස්වේතා මේලි සමඟ.

 

ස්වේතා කොහොමද ජීවිතේ

ජීවිතේ හොඳින් ගතවෙනවා. හස්බන්ඩ් එක්ක එයාගෙ වැඩත් එක්ක සහ ගෙදර වැඩත් එක්ක තමයි මගේ කාලය ගතවෙන්නෙ.

 

මෙවර නත්තල් කොහොමද?

මම උපතින්ම කතෝලික කෙනෙක්. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම නත්තල් කාලය එනකම් මඟ බලන් හිටියේ. ඒ නත්තල් කාලයේ හිතට දැනෙන සතුට අදටත් එහෙම්මයි. ඉතින් ලෝකයේ කොහේ හිටියත් නත්තල සතුටින් සමරනවා.

 

ජීවිතේ පළමුවෙනි වතාවටනේ මේ සැරේ ලංකාවෙන් පිට නත්තල් සමරන්නෙ, කොහොමද මේ හැඟීම දැනෙන්නෙ?

ඔව්. ඕස්ට්‍රේලියාවට අපි තාම අලුත්. මේ දවස්වල මගෙ මල්ලිත් මෙහෙ ඇවිත් මා එක්ක ඉන්නෙ. ඉතින් අපි මුලින්ම අපේ ගෙදර සැරසුවා නත්තල් අසිරිය දැනෙන්න. ඒ දේවල් තමයි අපි අපේ යූටියුබ් එකට සහ fb එකට අප්ලෝඩ් කළේ.

 

මල්ලිත් ඕස්ට්‍රේලියාවට ආව කියන්නෙ දැන් අම්මා තාත්තා ගෙදර තනියමනේ…

ඇත්තටම ඔව්. මල්ලි ආවේ එයාගෙ ස්ටඩීස් වැඩ කරන්න. එයා වැඩිදුරටත් අධ්‍යාපනය ලබන්නෙ ෆිල්ම් ඉන්ඩ්‍රස්ට්‍රි එක පැත්තෙන්.

 

ගෙදරට නිතරම කතා කරනවා ඇති…

දවසට 10 පාරකට වඩා ගෙදර ට කෝල් ගන්නවා. තාත්තා සංගීත වැඩවලට ගියාම අම්මි විතරයි ගෙදර ඉන්නෙ. ඉතින් මගෙ වැඩේම ගෙදරට කෝල් කරන එක.

 

තාත්තා නම් මෑතක දී ඕස්ට්‍රේලියාවට ආවා නේද

ඔව්... ප්‍රසංගයකට සහභාගි වෙන්න ආව ගමන් දවස් හතරක් වගේ කෙටි කාලයක් හිටියේ. ඒ දවස් හතරම හිටියේ අපේ ගෙදර. ඒ නිසා පුළුවන් තරම් කාලයක් අපි තාත්තා එක්ක ඒ දවස් ටික ගත කරා.

 

නැවත තාත්තා එනවා කිව්වෙ කොයි කාලෙද?

2023 පෙබරවාරි මාසේ ප්‍රසංග කිහිපයක් තියෙන නිසා ඕස්ට්‍රේලියාවට එනවා. ඒ එන්නෙ මාසෙක වගේ කාලයක් ඉන්න නිසා අම්මත් එනවා. ඉතින් ආසාවෙන් ඉන්නවා ඒ කාලය උදා වෙනකම්.

 

ලංකාවට වඩා ඕස්ට්‍රේලියාවේ නත්තල් සරුද?

මට නම් තාමත් දැනෙන්නෙ ලංකාවේ නත්තල් ජයටම සමරනවා කියලා. මෙහෙ පල්ලියකට ගියාට වඩා ලංකාවේ පල්ලියකට ගියාම වුණත් දැනෙන හැඟීම තාමත් මට දැනෙනවා. ඒ තාම මම මෙහෙට අලුත් නිසා වෙන්න ඇති.

 

ලංකාවේ හිටිය නම් හොඳයි කියල ද හිතෙන්නෙ

මම ගොඩක් පුරුදු ලංකාවේ පරිසරයට නිසා තාමත් මට ලංකාව මතක් වෙනවා. මෙහෙදි ඉතින් මම හස්බන්ඩ් එක්ක අපේ දේවල් අපිම තනියම කරගෙන, තව මගෙ මෙහෙ ඉන්න නෑදෑ හිතවතුන් කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අය එක්ක හොඳින් ඉන්නව, හැබැයි තාමත් හිත තියෙන්නේ ලංකාවේ.

 

සිංදුවක් කරන්න තවම අදහසක් නැද්ද?

සිංදුවක් කරන්න නම් ඕනේ. ලංකාවේ ඉන්න කාලේ නම් ක්‍රිස්මස් එකට ක්‍රිස්මස් මෙඩ්ලීස් හරි කරා. දැන් ඒකත් නැහැ. බලමු ලබන අවුරුද්දටවත් අලුත්ම සිංදුවක් කරන්න.

 

දෙන්නගෙ අලුත් යූටියුබ් වැඩේ මොනවාද තියෙන්නේ

මගෙ ඉන්ස්ට්‍රගෑම් එකේ ඉන්න ෆලෝවර්ස්ලා මට කිව්ව දෙයක් තමයි මගේ මෙහෙ ජීවිතේ වීඩියෝ ටිකක් දෙන්න කියලා. ඒ නිසා ඉතින් මමයි රනිතුයි හිතුවා අපි එදිනෙදා ජීවිතේ ගතකරන හැටි සහ ක්‍රියාකාරකම් ටිකක් අපිට ආදරේ කරන අය එක්ක යූටියුබ් එක හරහා බෙදා ගන්න. ඉතින් අපේ Swetha Melly යූටියුබ් එකට ආවොත් ඒ දේවල් බලා ගන්න පුළුවන්.

 

අවසාන වශයෙන් කියන්න තියෙන නත්තල් සුබ පැතුම මොකක් ද?

උදාවූ නත්තලට වගේම උදාවෙන 2023 වසර ලංකාවාසී සහ ලෝකවාසී හැමෝටම නීරෝගිමත් සුබ වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා.

 

 

Comments