
මට ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා
හරි කෙනෙක්ගෙන් ආදරය ලැබුණොත් ආදරය ගොඩක් ලස්සනයි
රඟපාන්න ඕනේ කියලා කවදාවත් මට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ
මේ දවස්වල සාර්ථකව තිරගත වන සිනමා නිර්මාණයක් “ආදරණීය ප්‍රාර්ථනා“. අද රසඳුන මේ සොදුරු කතාබහ “ආදරණීය ප්‍රාර්ථනා“ හි මධු අක්කාගෙ චරිතය තුළින් සිනමාවට ආ මිහිරන්ගි හෙට්ටිආරච්චි සමඟය.
කොහොමද මේ දවස්වල වැඩකටයුතු,
මේ දවස්වල ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ ප්‍රමෝෂන් වැඩවලට සහ මම සුපුරුදු පරිදි කරගෙන ආව නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතුත් කරගෙන රැකියාවත් කරගෙන ඉන්නවා.
අද වෙනකොට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ආදරණීය ප්‍රාර්ථනා කියන්නේ මගේ පළමු සිනමා අත්දැකීම. ඇත්තටම කිව්වොත් මට මේ වෙනකොට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබාදුන් වාසව බදුගේ මහතාට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔහු හරහා තමයි සිනමා ක්ෂේත්‍රයට එන්නෙ. මෙය මගේ පළමු චිත්‍රපටය වුණත් එයට සම්බන්ධ වෙලා හිටිය පිරිස එක්ක වැඩකටයුතු කරන්න ලේසි වුණා. ඒ අයගෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බා. මම ආධුනිකයි කියලා එයාල මට දැනෙන්න දුන්නෙ නැහැ. අපි හැමෝම පවුලක් වගේ එකතුවෙලා වැඩ කටයුතු ටික කළා. ගොඩක් ආදරණීයම සෙට් එකක් හිටියේ. මේ වෙද්දි සමස්ත චිත්‍රපටයට වගේම මම රඟපෑ මධු අක්කගෙ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මෙතනින් එහාට සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණ ද?
දැනට නම් සිනමා නිර්මාණ වලට ආරාධනා ලැබුණේ නැහැ. ඉදිරියට ආරාධනා ලැබුණොත් හොඳ නිර්මාණයක් නම් පිටපත කියවලා සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඉදිරියට ඔබව දකින්න හැකි නිර්මාණ මොනවාද?
අලුත් වැඩකටයුතු කිහිපයක් ඉදිරියට පටන් ගන්න නියමිතයි. ඒ අතර හැමදාම වගේ ගොඩක්ම මාව දකින්න ලැබෙන්නේ මගෙ නිරූපණ වැඩකටයුතුවලින්. ඒ එක්කම අලුත් වැඩකටයුතුවලින් අලුත් අවුරුද්දේ හමුවෙමු.
කොහොමද මිහිරංගි කලාවට එන්නෙ?
මම පාසල් යන කාලේ නර්තනය හැදෑරූවා. ඒ නිසා පාසල් වේදිකාවෙන් ලැබුණු අත්දැකීම් එක්ක කලා ක්ෂේත්‍රයට එන්න ශක්තියක් වුණා. මම ක්ෂේත්‍රයට එන තැන කියනවා නම් මම මතක් කරන්න ඕනේ ඉන්දුමාලා රාජපක්ෂ සහ මංජුල හරස්ගමව. ඒ දෙන්න නිසා තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නෙ. ඉන්පසු විවිධ නිරූපණ ශිල්පීන් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ ගමනේදී තමා මට වාසව බදුගේ අයියා කරපු මියුසික් වීඩියෝස්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ. එතැනින් තමයි මධු කියන චරිතයට සුදුසුයි කියලා වාසව අයියාට හිතිලා මට ඒ චරිතය ලබා දෙන්නෙ.
කලාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන අද මොකද හිතෙන්නේ?
අද ලොකු සතුටක් තියෙනවා. කවදා හෝ රඟපාන්න ඕනේ කියලා මට කවදාවත් බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ. ඒ වුණාට ආශිර්වාදයක් වගේ මගෙ ජීවිතේ ගොඩක් තැන්වලදී මට අවස්ථාවන් ලැබුණ. ඒ නිසා මම මේ ආව ගමන ගැන මට ගොඩක් සතුටුයි.
වෘත්තීමය ජීවිතේ එක්ක කලාවට ඉඩ වෙන් කරන්න පහසු ද?
මම වැඩ කරන ආයතනයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒනිසා දින වෙලාවන් වෙන් කරගෙන කලාකටයුතු වලට සම්බන්ධ වෙනවා.
ආදරේ ගැන මොකද හිතෙන්නෙ
ආදරේ කියන දේ අපිට ජීවිතේ එක එක කාල සීමාවේදී විවිධාකාරයෙන් ලැබෙන හැඟීමක්. හරි කෙනෙක්ගෙන් ආදරය ලැබුණොත් ආදරය ගොඩක් ලස්සනයි. ඒ වගේම තමා ඒකේ අනිත් පැත්තත්.
මේ වෙද්දි ආදරවන්තියක් ද?
ඔව්, මම ආදරවන්තියක්.
ඔහුගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මට ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ මේ කලා කටයුතුවලදි මගේ හෙවණැල්ල වගේ ඉන්නෙ මගේ අම්මා සහ ඔහුයි.
විවාහය ගැන තීරණයක් අරන්ද ඉන්නෙ
තාම විවාහ වෙන කාලය ගැන නම් හිතලා නැහැ. අපි බලමු තව කල් තියෙනවානේ.
අනාගත බලාපොරොත්තු මොනවාද?
මේ කලා ක්ෂේත්‍රයට හොඳ ගමනක් යන ගමන් පෞද්ගලික ජීවිතේත් සුන්දරව සමබරව පවත්වාගෙන යන්න. ඉස්සරහට එන වැඩවලින් හොඳ නිර්මාණ තෝරාගෙන ලස්සන ගමනක් යන්න හිතන් ඉන්නවා.