
උඩරට සම්ප්‍රදායට අයත් පළමු ගැමි නාට්‍ය විශේෂය ලෙස හැඳින්වෙන සොකරි පත්තිනි දේවිය සහ කතරගම දෙවියන් මූලික කරගෙන සිදු කරනු ලබන ශාන්තිකර්ම විශේෂයකි. එහි මූලික අරමුණ සශ්‍රීකත්වය මෙන්ම යහපත් දරුඵල අපේක්ෂාවයි. පාරම්පරිකව පැවත එන මෙම ශාන්තිකර්ම විශේෂය අභාවයට යමින් පවතින යුගයක එයට නව අරුතක් දෙමින් අපේ දේ රැකගෙන එය ලොවට ගෙන යෑමේ නිහඬ වෑයමක යෙදෙන තරුණ නිර්මාණකරුවකු සමඟයි අද කතාබහ. ඔහු නමින් කාංචන දිසානායකයි.
ඔබ වත්මන් පරම්පරාව නියෝජන කරන තරුණයෙක්. නමුත් සොකරි කියන්නේ පාරම්පරික ශාන්තිකර්ම විශේෂයක්. කොහොමද මෙය ඔබ වෙත පැවරෙන්නේ?
සොකරි කියන්නේ උඩරට සම්ප්‍රදායේ පළමු ගැමි නාට්‍ය විශේෂය. මෙය පාරම්පරිකව පැවත එන්නක් වගේම ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මට මෙය ලැබෙන්නේ පිය උරුමයෙන්. මං බදුල්ල ප්‍රදේශයේ නිසා මෙය බදුලු සොකරි නමින් හැඳින්වෙන්නේ. මං අයිති 4 වැනි පරම්පරාවට. මගේ තාත්තා, සීයා වගේම සීයගේ තාත්තත් මෙහි කොටස්කරුවන්. ඒ කාලේ ගොයම් කපලා ඉවර වෙලා ඒ කමතේ තමයි සොකරි ශාන්තිකර්මය කරලා තියෙන්නේ. අද වගේ රසවින්දනයට දේවල් නොතිබුණු නිසා ගමම රැස් වෙලා තියෙනවා බලන්න. එකම සොකරිය සතියම නැටුවත් එක වගේම සෙනඟ රැස්වෙලා. මුල්ම කාලෙ කොළපත්වලින්, කාඩ්බෝඩ්වලින් මූණු කපාගෙන, අහුවෙන සාරියක් ඇඟේ දවටගෙන තමයි ඒ චරිත කරලා තියෙන්නේ. ඊට පස්සේ මැටි රාමුවක පාප්ප මිශ්‍රිත කඩදාසි කොළ අලවලා මූණු හදාගෙන. අද වෙද්දි මං ලීවලින් ඔටුනු, මුහුණු නිර්මාණය කළා. ඇඳුම් සහ ආභරණත් වෙනමම නිර්මාණය කළා. සොකරි අම්මා, ගුරුහාමි, පච්ච මීරා, සොක්කානා, කාලි අම්මා, වෙද මහත්තයා, නැන්දම්මා (සුවඳි) සහ හීන් ළමයා කියන චරිත මෙහි රඟදැක්වෙනවා. තවත් විශේෂත්වයක් තමයි මේ හැම චරිතයක්ම කරන්නේ පිරිමින්. ඒකට එක හේතුවක් තමයි මේක දෙවියන් මූලික කරගත් ශාන්තිකර්මයක් නිසා කිළි සංකල්පය. අනිත් එක තමයි මුළු රැයක් පුරාම කරන නිසා කාන්තාවන්ගේ ආරක්ෂාව හා සමාජ වටපිටාව.”
සොකරි කියන්නේ ගීතමය ආරකට යන නැටුම් විශේෂයක්. ඒ කාලෙයි අදයි අතර ලොකු වෙනසක් තියෙනව ද?
ඔව්. අද කාලේ වගේ නැටුම්වල පද අල්ලන්න ඉස්සර මිනිස්සු දැනගෙන හිටියෙ නැහැ. ගීතයට අනුව තමන්ගේ ඇඟෙන්ම එන චලනයට ඉඩ දුන්නා. අද ඊට වෙනස්. මගේ කණ්ඩායමේ ඉන්නේ නැටුම් පිළිබඳ උපාධිධාරීන්, ගුරුවරුන්, විශ්වවිද්‍යාල සිසුන්. ඒ ගැමි ආරට හානියක් නොවන විදියට තාක්ෂණයත් යොදා ගෙන වැඩිදියුණු කරලා තියෙනවා. අපි රෑ එළිවෙනකල් සොකරි ශාන්තිකර්මය කරලා තියෙනවා. එදා විදියටම මල් යහන් හදලා, දේව ආරාධනය කරලා, පුද පූජා පවත්වලා, කාල වේලාවල් බලලා, කන්නලව් කරලා එළිවෙනකල් කරනවා. ඒක ඉවර වෙලා අනිත් දවසට කිරි උතුරවලා ඉවර වෙද්දි වැස්ස ලැබෙනවා. එදා මේ ශාන්තිකර්මය කළේ ගොවිතැන සඳහා සශ්‍රීකත්වයට වර්ෂාව බලාපොරොත්තුවෙන්. ඒ නිසාද මන්දා ඒ දේ සිද්ධවෙනවා. මගේ කණ්ඩායමේ අවුරුදු 30ට අඩු 15කට අධික පිරිසක් ඉන්නවා. ඔවුන් ලංකාවේ විවිධ ප්‍රදේශවල අය. අපි මේක කරන්නේ අපේ වැඩක් විදියට.
දරුඵල අපේක්ෂාවත් සොකරි ශාන්තිකර්මයේ මූලික අරමුණක්. වර්තමානයේදීත් පත්තිනි මෑණියන්ට භාරහාර වීම් සිදු වෙනවා. මෙහි සත්‍යතාව ඔබ දකින්නේ කොහොමද?
ගොයම් කපලා අස්වැන්න නෙළාගෙන හිස්වන කමතේ තමයි මේ සොකරි ශාන්තිකර්මය කරන්නේ. ඒ වෙද්දි ගැමි ජනතාව බොහෝ කාර්යබහුල කාලයක් ගතකර අවසන්. එකම ගෙදර අඹුසැමියන්ටවත් නිදහසේ කතාබහ කරන්න කාල වේලාවක් තිබුණෙ නැහැ. ඔවුන්ගේ කායික, මානසික නිදහස තමයි බොහෝ දුරට මෙයින් බලාපොරොත්තු වුණේ. සොකරිවල ගීතමය නාට්‍ය ස්වරූපය වගේම දෙපැත්ත කැපෙන වචන යොදා ගැනීමත් විශේෂත්වයක්. එයිනුත් ඔවුන් බලාපොරොත්තු වුණේ මෙතෙක් දවසක් තිබුණු මානසික පීඩනය නැතිකිරීම වගේම අඹුසැමියන් අතරේ ලිංගික උත්තේජනයක් ඇති කිරීම. විනෝදයට, සිනහවට පමණක් සීමා නොවී දෙදෙනා අතරේ හොඳ බැඳීමකුත් මේ මඟින් ඇති වෙනවා. ඒ නිරවුල්, නිදහස් සිතුවිල්ලෙන් එකතු වෙන ඔවුන්ට ලැබෙන්නේ සරු දරු උපත්.
දේශීය සොකරි කලාව ඔබ ජාත්‍යන්තරයට ගෙන යෑමේ උත්සාහයක නියැළෙනවා කියලා ආරංචියි. එය සිදු වන ආකාරය පැහැදිලි කළොත්
මට ඉන්නේ උගත් බුද්ධිමත් ශිල්පීන් කණ්ඩායමක්. ඔවුන් එක්ක මට මේ ගමන යන්න හරි පහසුයි. සද්ධා මංගල සූරියබණ්ඩාරගේ නාඩගම්කාරයෝ හරහා සොකරි ශාන්තිකර්මයක ජවනිකාවක් ඉදිරිපත් කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ නිසා ජනතාව සොකරි ගැන හඳුනගත්තා. ඒක අපිට ලොකු පිටිවහලක් වුණා මේ ගමනට. ඊට අමතරව ස්වාධීන කලා සංසදය හරහා සොකරි ජාතික වැඩසටහනක් විදියට මේ දවස්වල ලංකාව වටේ අරන් යනවා. දැනට විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් කතා පුවත විතරක් නාට්‍ය ස්වරූපයෙන් පැය හතරක දර්ශනයක් ලෙස වේදිකාගත කෙරෙනවා. ඊට අමතරව නාට්‍යමය ලක්ෂණ ටික විතරක් එකතු කරගෙන එළිමහන් ප්‍රසංගයක් ලෙසත් දරුදැරියන් වෙනුවෙන් වේදිකා නාට්‍යයක් ලෙසත් වේදිකාගත වෙනවා. මෙය ලෝකෙ වටේ ගෙනියන්නත් ස්වාධීන කලා සංසදය ක්‍රමවේදයක් සකස් කරමින් යනවා. එහි නර්මාතෘ නිශාන්ත ජයකොඩි, සභාපති සිසිර යන මහත්වරුන් වගේම ලේකම් අංජලී ලියනගේත් ඒ සඳහා ලොකු දායකත්වයක් සපයනවා. භරත, කථක්, කථකලි වගේ නාට්‍ය අංග ඉන්දියාවෙන් අරගෙන අපේ රටේ ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් ඇයි අපේ දේ අපිට ජාත්‍යන්තරයට ගෙනියන්න බැරි.