විවාහ වෙන්න ඕන කියලා හිතුන කාලයක් තිබුණා | සිළුමිණ

විවාහ වෙන්න ඕන කියලා හිතුන කාලයක් තිබුණා

මගේ වෘත්තිය ජිවිතේ එක්ක තෝරා බේරාගෙනතමයි  වැඩ කරන්නේ

තෘප්තිමත්ව වෘත්තියක් විදියට මේ කලාව ලංකාව ඇතුළේ කරන්න බැහැ

අපේ රටේ මේ වෙලාවේ කලාවට තියෙන තැන ගැන නම් පොඩ්ඩක්වත් තෘප්තිමත් නැහැ

බුද්ධි රන්දෙණිය කියන නමට වඩා ඇයව පසුගිය කාලේ ජනප්‍රිය වුණේ ජංගි හොරා සිනමාපටයේ කරුණා ලෙසින්. ඒ එහි ඇය රඟ දක්වන අද්විතීය රංගන ප්‍රතිභාව හේතුවෙන්. ඒ එක්කම පසුගිය කාලේ විකාශය වූ සිඳූ ටෙලි නාට්‍යය හා පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍යය තුළින් ඇය පුංචි තිරයේ ප්‍රේක්ෂකයින්ට සමීප වූ සොඳුරු චරිතයක්. පසුගිය දිනෙක නැවත ඇය ගැන කතා වුණේ විලම්භීත කෙටි චිත්‍රපටය සමඟ. ඇය රංගනයට දායක වූවත් වෘත්තියෙන් මනෝ විද්‍යා උපදේශකවරියක්. මේ කාලයේ වෘත්තිමය ජිවිතේ කලාවේ තොරතුරු මෙන්ම පෞද්ගලික ජීවිතේ ගැනත් බුද්ධි රසඳුනට කිවුවේ මෙහෙම

 

මේ දවස්වල මොකද වෙන්නෙ?

මනෝ උපදේශිකාවක් විදියට වෘත්තීමය ජීවිතේ යම් යම් වෙනස්කම් වෙමින් අලුත් ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා මාතර ප්‍රදේශයේ අලුත් ව්‍යාපෘතියක වැඩ කරමින් ඉන්නවා. වැඩි කාලයක් යොදවලා තියෙන්නේ ඒ වෙනුවෙන්. මම වැඩි වශයෙන් සම්බන්ධ වෙන්නෙ කුඩා දරුවන් සමඟයි. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්, අධ්‍යාපන දුබලතා, විවිධ මානසික පීඩාවන්වලට ගොදුරු වන දරුවන්ට මනෝ උපදේශනය සහ මනෝ චිකිත්සනය හරහා ඔවුන්ව සුවපත් කිරීම තමයි මගේ විෂය වෙන්නෙ.

 

ඔබේ රංගනය ඇතුළත් විලම්භීත හි ප්‍රදර්ශනයක් පසුගියදා පැවැත්වුණා, කොහොමද ඒ නිර්මාණය ලැබුණේ?

විලම්භීත චිත්‍රපටයේ අධ්‍යක්ෂක ආකාශ් තාරුකව මම අඳුන ගන්නේ ජංගි හොරා චිත්‍රපටය තිරගත වීමෙන් පස්සේ. එ් මුහුණු පොත හරහා. ආකාශ් මල්ලි ඉතා නිර්මාණශීලි තරුණයෙක්. ඔහු සමඟ ඇතිවුණු දැන හඳුනාගැනීමෙන් පසුව තමයි ඔහුගේ කුලුඳුල් කෙටි චිත්‍රපටය වන විලම්භීත වෙනුවෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ.

 

අලුත්ම අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කිරීම කොයි වගේද?

මම හරිම කැමැතියි අලුත් අදහස් තියෙන අය එක්ක වැඩ කරන්න. ඒ නිසා තමයි මම ආකාශ්ගේ අලුත් චිත්‍රපට ආඛ්‍යානයක් හඳුන්වා දෙන මේ වැඩේට සම්බන්ධ වෙන්නේ. ඒ එක්කම මම උත්සාහ කරනවා හැම අවුරුද්දෙම අලුත් කෙනෙක්ගේ කෙටි චිත්‍රපටයක අලුත් විදියේ වැඩක් එක්ක එකතු වෙන්න. අපිට හිටිය ප්‍රවීණ අය අපිට ඒ සහයෝගය ලබා දුන්නා. ඒ හින්දා අපි අද මෙතන ඉන්නවා. අපෙන් පසු පරම්පරාවටත් ඒ සහයෝගය ලබා දෙන්න ඕනේ. රටක් විදියට සිනමාව අධ්‍යයනය කරන්න තියෙන පහසුකම් ඉතා අඩුයි. අපිට තියෙන්නේ වැඩ කරමින්ම ඒ අධ්‍යයනය කරගෙන යන්න. ඒ නිසා ඉතාම කැමැත්තෙන් අලුත් අය එක්ක එකතු වෙලා වැඩ කරනවා. මේකත් ඒ විදියේ නිර්මාණ කටයුත්තක්.

 

කෙටි චිත්‍රපටයක් වුණත් දැවැන්තයින් සමඟ මංගල දැක්මක් තිබ්බේ, එදින ලැබුණු ප්‍රතිචාර කොහොමද?

හොඳ නරක ප්‍රතිචාර සමස්තයක් විදියට ලැබුණා. ඒ ලැබුණු ප්‍රතිචාර එක්ක ඉදිරියට තවත් හොඳින් නිර්මාණ කරන්න තමයි උත්සාහය.

 

ජංගි හොරා චිත්‍රපටය එක්ක බුද්ධි ගැන බොහො දෙනා කතා වුණා, ඉන් පස්සෙ ලැබුණෙත් එවැනිම සිනමා නිර්මාණ ද?

ඇත්තටම ඔව්. ඒ නිර්මාණයෙන් පස්සේ එවැනිම නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබුණා. නමුත් මට මගේ වෘත්තීය ජීවිතේ එක්ක තෝරා බේරාගෙන වෙලාව වෙන් කරගෙන වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඉතාමත් ආදරේ හිතෙන ඉතාමත් කැමැති වැඩ කිහිපයක් තමයි මේ අවුරුද්දේ කරේ.

 

බුද්ධිට රංගනයට සීමා නැද්ද?

මගේ රංගනයට සීමා තියෙනවා. හැබැයි ඒ සීමාවන් තීරණය වෙන්නේ ඇත්තටම පිටපත එක්ක.

 

කලාව රංගනය තුළ බුද්ධි තෘප්තිමත් ද?

මම කලාව කියන විෂය ගැන තෘප්තිමත්. හැබැයි ලංකාවේ මේ වෙලාවේ කලාවට රංගනයට තියෙන තැන ගැන නම් පොඩ්ඩක්වත් තෘප්තිමත් නැහැ. ඒක අපි විසින්ම ගොඩනඟා ගත යුතු එකක් විදියට මම දකිනවා. එහෙම තෘප්තිමත්ව වෘත්තියක් විදියට මේ කලාව ලංකාව ඇතුළේ කරන්න බැහැ කියන තැන තමයි මම ඉන්නේ.

 

ජීවිතේ ආදරේට දීලා තියෙන්නේ කොයිතරම් ඉඩක් ද?

ජීවිතේ ආදරේට ලොකු ඉඩක් තියෙනවා. ජීවත් වෙනවා කියන්නෙම ආදරේ ලබන එක සහ ආදරේ බෙදා දෙන එක. ආදරේ බෙදමින් ආදරේ ලබමින් ජීවත් වෙනවා.

 

දැන් ආදරවන්තියක් ද?

මේ කාලයේ නම් ආදරවන්තියක් නෙවෙයි.

 

විවාහ වෙන්න ඕනෙ කියලා හිතිලා නැද්ද?

විවාහ වෙන්න ඕන කියලා හිතුණ කාලයක් තිබුණා. ඒ වෙනුවෙන් දේවල් කරන්න උත්සාහ කරපු සහ සූදානම් වුණු කාල තිබ්බා. දැන් මේ මොහොතේ නම් එහෙම අදහසක් නැහැ. ඒ අදහසින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නේ. ඒකෙන් කියන්නේ නැහැ මම කවදාවත් විවාහ වෙන්නේ නැහැ කියලා. මම දන්නේ නැහැ අද මෙහෙම කිවුවට හෙට දවසේ මොනවා වෙයිද කියලා. ඒක මම කාලයට බාරදීලා තියෙන කාරණයක්.

 

ඉදිරි නිර්මාණ මොනවාද

මේ අවුරුද්දේ විලම්භීත කෙටි චිත්‍රපටය හැරුණම මම සම්බන්ධ වුණේ ටෙලි නට්‍යය කිහිපයකට විතරයි. ළඟදීම එන්න තියෙනවා චානික පෙරේරාගේ යක්ඛනාද කියන ටෙලි නාට්‍යය.

 

Comments