මට හෙට කියලා දවසක් නැහැ අද ජීවත් වෙනවා විතරයි | Page 2 | සිළුමිණ

මට හෙට කියලා දවසක් නැහැ අද ජීවත් වෙනවා විතරයි

දවසක් ලොකු නෝනා මට අවවාද කළා. ඒත් ලොකු නෝනා අවවාද කරනකොටත් මං ගොඩක් දුර ගිහින් හිටියේ. මට ඒ වෙනකොට දරුවෙක් ලැබෙන්න හිටියේ. බන්දුලට මම ඒ ගැන කිවුවා. ඒක අහපු දවසේ ඉදලා එයා ආගිය අතක් නැහැ. අන්තිමට මට සිද්ධ වුණා ලොකු නෝනට ඇත්තම කියන්න.

බදුල්ලේ හිටිය ඔයා කොහොමද කොළඹ ආවේ?

මම කොළඹ ගෙදරක රස්සාවට එනකොට මට අවුරුදු දාහතයි. අම්මයි තාත්තයි නැති මම හැදුණේ මගේ අත්තම්මා එක්ක. ඉස්කෝලේ හයේ පන්තියට විතරයි මට ඉගෙන ගන්න ලැබුණේ . ඇත්තම කිවුවොත් මට ලොකුවට ඉගෙන ගන්න වුවමනාවක් තිබුණේ නැහැ. අපි හිටියේ බදුල්ල පැත්තේ ඈත ගමක. අපේ ගමට කොළඹින් එක එක කණ්ඩායම් එනවා. යනවා. ගමේ ලස්සන දිය ඇල්ලක් තියෙනවා. ඒක බලන්න. අත්තම්මා මේ දිය ඇල්ල ගාව දොඩම්, අඹ, මුරුංගා වගේ දේවල් විකුණුවා. හුඟක් දවස්වලට මම ඉස්කෝලේ නොගිහින් අත්තම්මා එක්ක ඇල්ල ගාවට යනවා. එහෙම ගිය දවසක තමයි එක නෝනා කෙනෙක් මගෙන් ඇහුවේ එයාගේ ගෙදර යමුද කියලා. මම මුකුත් කිවුවේ නැහැ. ඒත් අත්තම්මා කැමැති වුණා මාව ඒ නෝනා එක්ක යවන්න. ගමෙන් ආවට පස්සේ මම කවදාවත් ආයේ ගමට ගියේම නැහැ. මම දැන් ගෙදරට යන විදිහ දන්නෙත් නැහැ.

කොළඹ ඇවිල්ලා මොකද කළේ ?

මාව එක්ක ගෙන ආව නෝනා ගුරුවරියක්. එයයි එයාගේ අම්මයි විතරයි ගෙදර හිටියේ. ඇත්තම කිවුවොත් මට ඒ ගෙදර කරන්න දෙයක් තිබුණේ නැහැ. මට තිබුණේ ලොකු නෝනගෙ තනියට ඉන්න විතරයි. ටීචර් නෝනා මට හැම දෙයක්ම කියලා දුන්නා. ගමෙන් එනකොට දිග කොණ්ඩයක් තිබුණා. ඒ කාලෙ මම කෙට්ටුම කෙට්ටුයි. ටීචර් නෝනා තමයි මට ජීවත් වෙන්න කියලා දුන්නේ. ඒ ගෙදර මම අවුරුදු දහයක් විතර හිටියා. ඒත් ටීචර් නෝනා කසාද බැන්දා. ඊට පස්සේ මට තිබුණේ ලොකු නෝනා එක්ක ගෙදර ඉන්න. ටීචර් නෝනා බැඳලා ගිහින් අවුරුද්දකට විතර පස්සේ ලොකු නෝනා නැති වුණා. ලොකු නෝනාගේ තුන්මාසේ දානේ ඉවර වුණාට පස්සේ ටීචර් නෝනයි මහත්තයයි දෙන්නම රට ගියා. එයාලා යද්දි මාව ටීවර් නෝනගේ මහත්තයගේ මහගෙදරට බාර දුන්නා. මගෙ ජීවිතේ අපායතක් වෙන්න ගත්තේ ඊට පස්සේ.

ඒ කිවුවේ?

ටීචර් නෝනගෙ ගෙදර වගේ නෙමෙයි. මට එහෙ හරියට වැඩ කරන්න තිබුණා. ළමයි බලන්න තිබුණා. උයන්නත් ඕන. ඒ මදිවට ඒ ගෙදර හිටිය මහත්තයගෙන් මට හරියට කරදර වුණා. කාටවත් කිවුවා කියලා තේරුමක් නෑ. යන්න එන්න තැනක් නැති මම පුදුම අවුලකට පත් වුණේ. සමහර දවස්වලට මම නිදා ගත්තේ රෑ දොළහත් පහුවෙලා. මට මගේ දුක කියන්න කවුරුවත් හිටියේ නැහැ. ඉවසගෙන ඉන්න බැරිම තැන මම ගෙදරින් පැනලා ගියා.

*කොහෙද ගියේ?

ඇත්තම කිවුවොත් යන්න එන්න තැනක් නැති මම කොහෙ යන්නද.? එත් මම පාරේ ගිය බස් එකක නැගලා පිටකොටුවට ආවා. කිසිම කෙනෙක් අඳුරන්නේ නැතිව කිසි දෙයක් කරන්න බැහැනේ. මම පිටකොටුව කෑම කඩයක වැඩ කළා. සමහර දවස්වලට මට ඇඬෙනවා. වැඩ කරලා ඉවරයක් නැහැ. කඩේ වැඩ කරන ආරියදාස අයියත් මට මහ වධයක් වුණා.

ආරියදාස වධයක් වුණේ ඇයි?

ආරියදාස කියන්නනේ වයස අවුරුදු පනහක වගේ කෙනෙක්. මනුස්සයා තමයි හෝටලේ තේ හැදුවේ. මිනිහා නිකං ඉන්න වෙලාවට මගෙ දිහා බලනවා. එහෙන් මෙහෙන් අල්ලන්න එනවා. මට මහ කරදරයක් වුණා. මම මේක කිවුවා පිඟන් හෝදන මහින්ද අයියා එක්ක . එයා තමයි මට එතැන විශ්වාස කරන්න පුළුවන් එකම පිරිමියා. අන්තිමට මට මහින්ද අයියා වෙන තැනක රස්සාවක් හොයලා දුන්නා. එතකොට නම් මට අවුරුදු තිහක් විතර ඇති. හරි ලස්සනට අදින පලඳින ඉංග්‍රීසි කතා කරන නෝනා කෙනෙක් ගාව තමයි මම වැඩ කළේ. ඒ නෝනා මට හොඳ පඩියක් දුන්නා. අඳින්න කන්නත් දුන්නා. මම නෝනා එක්ක එයාගේ ඔෆිස් එකෙත් හිටියා. මට තිබුණේ ඔෆිස් එක අතුගාන්න මේස පිහදාන්න වගේ වැඩ. ඔහොම වැඩ කරගෙන ඉන්න අතර තමයි මට බන්දුල හමු වුණේ.

කවුද බන්දුල කියන්නේ?

බන්දුල තමයි ලොකු නෝනාගේ ඩ්‍රැයිවර්. ලොකු නෝනා කසාද බැඳලා හිටියට එයාගේ දරුවෝ මෙහෙ හිටියේ නැහැ. එයාගේ මහත්තයා මැරිලා. ඒ නිසා නෝනා බොහෝම නිදහසේ හිටිය කෙනෙක්. බන්දුල නෝනාගේ කාර් එකේ වැඩ කරන්න ඇවිල්ලා මාස දෙකක් විතර ඇති. ලොකු නෝනා කවදාවත් එයා ළඟ ඉන්න අයව අවිශ්වාස කළේ නැහැ. බන්දුල මා එක්ක යාළු වුණා. ඒ යාළුකම ගොඩක් දුර ගියා. දවසක් ලොකු නෝනා මට අවවාද කළා. ඒත් ලොකු නෝනා අවවාද කරනකොටත් මං ගොඩක් දුර ගිහින් හිටියේ. මට ඒ වෙනකොට දරුවෙක් ලැබෙන්න හිටියේ. බන්දුලට මම ඒ ගැන කිවුවා. ඒක අහපු දවසේ ඉඳලා එයා ආගිය අතක් නැහැ. අන්තිමට මට සිද්ධ වුණා ලොකු නෝනට ඇත්තම කියන්න. ලොකු නෝනා මට අහක බැලුවේ නැහැ. එයා මාව හොඳින් බලා ගත්තා. දරුවා ලැබුණට පස්සේ මගෙ දරුවා නෝනා කාටද දුන්නා. දවස් ගාණක් යනතුරු මම ඇඬූ කඳුළින් හිටියේ. අදත් මට මගෙ දුව මතක් වෙනවා. ඒත් කවුද දන්නේ කොහෙ ඉන්නවද මොනවා කරනවද කියලා.

එතකොට ඔයා කොහොමද මෙහෙ ආවේ?

කරුමයක් තියෙනවා නම් ඒක අපි කොහෙ හිටියත් පලදෙනවා. එක් වළක්වන්න බැහැ. ඒ දවස්වල නිතර නිතර ලොකු නෝනාව බලන්න මහත්තයෙක් එනවා. එයා ආවාම සතියක් විතර ගෙදර ඉන්නවා. එයා ඉන්නේ කොහෙද මොනවද කරන්නේ මම ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. මට තියෙන්නේ එයාලට කන්න උයලා දෙන්න විතරයි. දවසක් නෝනයි ඒ මහත්තයයි ගමනක් යනවා කියලා ගියා. මහත්තයා මට කිවුවා එයාව මුණගැහෙන්න කෙනෙක් එයි එයාට මේ බෑග් එක දෙන්න කියලා මගෙ අතට බෑග් එකක් දීලා ගියා. කොහොම හරි එදා හවස් වෙනකම්ම ගෙදරට කවුරුවත් ආවේ නැහැ ඒත් හැන්දෑවේ හයට විතර කෙනෙක් ඇවිල්ලා බෙල් එක ගැහුවා. මගෙන් ඇහුවා මොනවා හරි දීලා ගියාද මහත්තයා කියලා. එතකොටත් මගෙ අතේ අර බෑග් එක තිබුණා. මම ඔව් කියලා ඒක දුන්නා. ටිකකට පස්සේ ගෙදරට පොලිසියෙන් ආවා. මම දන්නේ නෑ ඒවා වුණේ කොහොමද කියන්න . අන්තිමට මට වුණේ පොලිසිට එන්න එතැනින් උසාවියට. එතැනින් මෙහෙට එන්න වුණා. දැන් කොච්චර කල්ද. අනේ මන්දා මටනම් කිසිම දෙයක් මතක නැහැ. මම දැන් මේ පන්සල වටේ අතු ගාලා බුදුන් වැඳලා ඉන්නවා. එච්චරයි දැන් කරන්නේ. මං ගැන බලන්න කිසිම කෙනෙක් නැති කොට මට හෙට කියලා දවසක් නැහැ. අද ජීවත් වෙනවා. එච්චරයි. මට මගේ දරුවා මතක් වෙනවා. ඒ දරුවා දැන් ගොඩක් ලොකු ඇති.

 

පසුව ලියමි

ඇය නන්දනීය. ඇය හොඳින් කතා කළද ඇගේ මතකය තුළ අත්තේ ඈ මට කියූ කතාව පමණි. ඊට වඩා දෙයක් කියන්නට ඇයට මතක නැත. ජීවිතයේ අනේක විධ දුක් පීඩාවන්වලට මුහුන දුන් ඇය දැන් ජීවිතය හිරගෙදරටම හුරු කරගෙන සිටී. එතැනින් එහා ලෝකයක් ඇය නොදකී, නොදනී

Comments