මට ආසාව තිබ්බේ කෝච් ලහිරුගේ සංගීත රටාව එක්ක ඉදිරියට යන්න | සිළුමිණ

මට ආසාව තිබ්බේ කෝච් ලහිරුගේ සංගීත රටාව එක්ක ඉදිරියට යන්න

“හිස් හිත පුරා මා ගියා ලොව පීරලා නුඹ ගැන අසා තිබුණා වස් කවි පවා නැති වුණා නුඹෙ නම අසා මන්තරෙ ඔයා හින්දා“

ඇය තමයි මගේ පළමු සංගීත ගුරුවරිය

සුපර් නොකවුට්ස් වලින් මම ඩ්‍රොප් වුණාට ආව ගමන ගැන සතුටුයි

 

මේ දවස් වල Fb. TikTok , Instagram ඇතුළු සමාජ මාධ්‍ය ජාලා බොහොමයක නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙන ගීත ඛණ්ඩයක් වී තිබෙනවා. මේ ගීතයේ සැබෑ අයිතිකාරිය ක්‍රිෂ්ණි සෙනේෂා. ඇය voice teen හරහා ඉදිරියට පැමිණි ගායිකාවක්.

 

පාසල් කාලෙදිත් සංගීතය හැදෑරුවා ද?

නැහැ. ඇත්තටම මම කළේ ඩාන්සින්. මියුසික් පැත්තෙන් කිසිම දෙයක් කළේ නැහැ. මම ඉගෙන ගත්තේ කිරිබත්ගොඩ සසෙක්ස් කොලේජ් එකේ.

ඔබ සංගීත ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

මම සංගීතය විෂයක් විදියට හැදෑරුවේ නැති වුණාට සංගීතයට හරි ආසයි. ගෙදරදී සින්දු කියනවා. අම්මට තාත්තට තමයි ආසාව තිබ්බේ මම කවදා හරි ස්ටේජ් එකකට නැගලා සින්දුවක් කියනවා බලන එක.

ඔබ එන්නේ සිරස voice teen එක හරහා නේද?

ඔව්. අම්මා තමයි සිරස voice teen එකට ඇප්ලයි කරේ. මමත් එකපාරටම ෂොක් වුණා. හැබැයි මම ඒ ඔඩිෂන්වලට ගියා. මුල්ම වටය තිබ්බේ ඔන්ලයින්. ඊට පස්සේ තිබ්බ ඔඩිෂන් වට කිහිපයකින් පස්සේ තමයි වොයිස් ස්ටේජ් එකේ සින්දු කියන්න අවස්ථාව ලැබුණේ. මේ වෙලාවේ සිරස වොයිස් ටීම් එකටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතැනින් තමයි මම මේ ගමන පටන් ගත්තේ.

එහි පරීක්ෂකවරු හතරක් ඉන්නවනේ. කවුද ඔබේ පරීක්ෂක වුණේ?

මගේ මුල්ම ගායනය ට හැරුණේ පරීක්ෂක අභිෂේකා. ඒ නිසා ඇය තමයි මගේ පළමු සංගීත ගුරුවරිය. මාව විශ්වාස කරලා හැරුණු ඇය එක්ක තමයි මම වොයිස් එකේ ගමන ඉස්සරහට ආවේ. කොහොමහරි සුපර් නොකවුට්ස්වලින් මම ඩ්‍රොප් වුණා. හැබැයි ඒ තාක් ආව ගමන ගැන මම සතුටුයි. මම සංගීත විෂය කියන එක හදාරන්නේ නැතුව ආව ගමන ගැන. මාව අද ඉන්න තැනට ගෙනාවේ මගේ පවුලේ අය, සිරස ආයතනය සහ කෝච් අභිෂේකා. ඒ නිසා ඒ හැමෝම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.

ඔබේම පළමු ගීතය “හිස් හිත පුරා“ කොහොමද නිර්මාණය වෙන්නේ

අපේ හිටිය පරීක්ෂකවරු හතර දෙනෙක්. අභිෂේකා, රයිනි, සංක සහ ලහිරු. මම මුල්ම දවසේ voice teen ස්ටේජ් එකට යන්නේ ලහිරුගේ කණ්ඩායමට යනවා කියලා හිතාගෙන. මොකද මට ආසාව තිබ්බේ කෝච් ලහිරුගේ සංගීත රටාව එක්ක ඉදිරියට යන්න. නමුත් මා වෙනුවෙන් හැරුණේ කෝච් අභිෂේකා. ඒ නිසා වොයිස් ගමන මම කෝච් අභිෂේකා එක්ක ආවා. කොහොමහරි මම තරඟයෙන් ඉවත් වුණාම තාත්තා මට කිවුවා කරමුද කෝච් ලහිරු එක්ක සින්දුවක් කියලා. මමත් හා කිවුවා. ඊට පස්සේ කෝච් ලහිරු එක්ක කතා කළා. ඔහු කැමැති වුණා සින්දුවක් කරන්න. කෝච් ලහිරු තමයි හැමදේම හොයලා බලලා කළේ. පද රචනය කළේ මනුරංග විජේසේකර අයියා. කෝච් ලහිරු පෙරේරාගේ තනුව සහ රූප රචනය. ඒ වගේම සංගීතය කවිෂ්ක දොඹවෙල (K2) රැප් එක ගායනා කළේ කයිසර් කයිස්. ඒ අනුව තමයි “හිස් හිත පුරා” නිර්මාණය වෙන්නේ.

ලොකු වියදමක් දරලා කරපු වැඩක් නේද?

ඔව්. ලොකූ වැඩක් නිසා ලොකු වියදමක් ගියා.

ඒ වියදමට ප්‍රතිලාභ ලැබෙනවද ලැබෙන ප්‍රතිචාර එක්ක

ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා. මම අලුත්ම කෙනෙක්. මේ මගේ පලමුවෙනි සින්දුව. මේ වෙද්දී සින්දුව නැරඹුම් ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවා තියෙනවා. හැබැයි අපි හැමෝම හිතුව දෙයක් තමයි ගොඩක් ඉක්මනින් ට්‍රෙන්ඩින් වෙයි කියන එක. එහෙම හිතුවේ මම හැර අනිත් හැමෝම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නිසා. නමුත් ඒක එහෙම වුණේ නැහැ. හැබැයි අපි දන්නේ නැහැ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ලක් එක මතනේ හැමදේම කැරකෙන්නේ. මේ වෙද්දී ටික් ටොක් වල එහෙම දකින්න ලැබෙනවා. මම හිතනවා හෙමින් හරි සින්දුව ඉස්සරහට යයි කියලා.

සින්දුව හිට් කරගන්න හිතාගෙනද වීඩියෝ එකට හේමාල්ව ගත්තේ

ඒකත් එක හේතුවක්. ඇත්තටම ඒක එහෙම නෙවෙයි කියන්න බැහැ. හැබැයි ඒ එක්කම මගේ ඔළුවේ හිටියේ වෙන කෙනෙක්. මම හේමාල් අයියට ගොඩක් කැමැති කෙනෙක්. නමුත් මගේ ඔළුවට හේමාල් අයියාව ගන්න ඕනේ කියලා අදහසක් ආවේ නැහැ. මොකද මේ වෙද්දී ඉන්න සිනමාවේ සුපිරි තරුවනේ. නමුත් මගේ තාත්තා තමයි කිවුවේ “මම ආසයි හේමාල් මේ සින්දුවේ විෂුවල් එකට ඉන්නවා නම් ඒ නිසා එයාව ගමු” කියලා. ආසාව කැමැත්ත වගේම හේමාල් අයියා සතු දක්ෂතාව මේ හැමදේම හේතුවක් වුණා විෂුවල් එකට සම්බන්ධ කර ගන්න. ඒ වගේම මේ වෙලාවේ මම හේමාල් අයියට ස්තුතියි කියන්න ඕනේ මම වගේ නවක කෙනෙක්ගේ වැඩක් බාරගෙන ඉතාම කැපවීමෙන් එයට සාධාරණය ඉෂ්ට කිරීම ගැන.

ක්‍රිෂ්ණි තවම ඉගෙන ගන්නවද?

ඔව්. මම මේ වෙද්දී Human resource management bachelor degree එක කරන ගමන් ඉන්නේ. මම මේ මොනදේ කළත් ලොකු ආසාවක් තියෙනවා කලාවේ ඉන්න.

දිගටම කලාවේ නියැළෙන්න ද කැමැත්ත

රංගනයට ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවද?

අනිවාර්යයෙන්ම, මම කවදාවත් එක දෙයකට සීමා වෙන්නේ නැහැ. සංගීතයට නර්තනයට වගේම මට නිවේදනයටත් යම් හැකියාවක් තියෙනවා. පාසලේදී මම නිවේදන කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ මේ දේවල් මට දෙවියන් දීපු දේවල්. ඒ නිසා මම හැමතිස්සෙම මට තියෙන හැකියාවන් වැඩිදියුණු කර ගන්න බලනවා. ඒ නිසා ඉදිරියේදී කලා ක්ෂේත්‍රයේ ලැබෙන ආරාධනා අනුව මට සුදුසු දේ කරන්න මම කැමැත්තෙන් ඉන්නවා.

මේ වෙද්දී ඇරැයුම් ලැබිලා තියෙන අවස්ථාවන් මොනවද?

දැනට කෝච් අභිෂේකාගේ ලයිව් ඉන් කොන්සට් එකේ සින්දුවක් කියන්න ඇරයුම් ලැබිලා තියෙනවා.

 

Comments