ගින්දරී 3 ජනප්‍රිය වුණොත් ගින්දරී 4 එනවා | සිළුමිණ

ගින්දරී 3 ජනප්‍රිය වුණොත් ගින්දරී 4 එනවා

නිර්මාණකරුවකුගේ ප්‍රතිභාසම්පන්න බව විද්‍යමාන වන්නේ සමාජයේ පවතින තත්ත්වය තේරුම් ගෙන නිර්මාණකරණයේ යෙදීම තුළයි. පීඩාකාරී ආර්ථික, සමාජීය රටාව පැය කීපයකට හෝ අමතක කරවන ගින්දරී 3 චිත්‍රපටය නොසිතු විරූ ලෙස විජයග්‍රාහී ගමන් මඟක ගමන් කරන්නේද ඒ නිසයි. එකී අපූරු චිත්‍රපටයේ නිමැවුම්කරු වූ උදයකාන්ත වර්ණසූරියව අප රසඳුනට එක්කර ගත්තේ එකී සතුට බෙදා හදා ගැනීමටයි.

 

ගින්දරී 3ට ලැබෙන ගින්දර ප්‍රතිචාර කොහොමද?

බොහොම සතුටුදායක කාල පරිච්ඡේදයක් ගෙවමින් සිටිනවා. හිතුවටත් වඩා එය සාර්ථකව ප්‍රදර්ශනය වෙනවා. ඒ නිසා සතුටින් ඉන්නවා.

මේ වගේ අර්බුදකාරී සමයක චිත්‍රපටියක් ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යෑම ම අභියෝගයක් නේද?

තවම අපේ රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට පත්වී නැහැ. ඒ නිසා පොඩි ගැටලුකාරී තත්ත්වයන් පවතිනවා. නමුත් එකී කරුණු යටපත් කරමින් සිනමාවට ප්‍රේක්ෂකයන් ඇදී ඒම සිංහල සිනමාවේ සුබ ලකුණක් ලෙස දකින්න පුළුවන්. ඒවගේම චිත්‍රපටයක් නැරඹීමේ ප්‍රවේශ පත්‍රය තවම මිල ඉහළ ගිහින් නැහැ. ඒ වගේම රටේ පවතින පීඩාකාරී තත්ත්වයෙන් අත්මිදෙන්න මිනිසුන් සිනමා ශාලාව තෝරා ගත්තා යැයි සිතන්නත් පුළුවන්. ඒවගේම බහුබූතයෝ හා ගින්දරී 2 චිත්‍රපටිවල දිගුවක් ලෙස මෙය නිර්මාණය වූ නිසා එයින් ගොඩනැ‍ෙඟන කුතුහලයත් මෙයට ප්‍රේක්ෂකයන් ඇදී ඒමට හේතු වන්නට ඇති. මගේ අභියෝගය මං යම්තාක් දුරකට ජයග්‍රහණය කළා යැයි ඒ නිසා විශ්වාස කරනවා.

ප්‍රහසනය මේ යුගයේ අවශ්‍යතාවක් යැයි ඔබ විශ්වාස කරනවාද?

ප්‍රහසනයට පවතින රුචිකත්වය එදත් අද වගේම පැවතුණා. ඔළුව වෙහෙසන්නෙ නැතුව සරල විනෝදයක් ලබන්න බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ගින්දරි 3 මිනිසුන් බොහොමයක් වැලඳ ගැනීමට එකී කාරණය බොහෝ සෙයින් බලපාන්නට ඇති.

සිනමා විචාරකයන් සම්භාව්‍ය චිත්‍රපටවලට පමණක් කොටු වුණු ස්වභාවයක් දක්නට ලැබෙනවා. විනෝදාත්මක චිත්‍රපටි ඔවුන්ට මඟ හැරෙන්නේ ඇයි?

සිනමා විචාරකයන් විනෝදාත්මක චිත්‍රපට ඕනෑකමින්ම මඟහරිනවා. සිනමා විචාරකයන් පෙනී සිටින්නට කැමැති සම්භාව්‍ය චිත්‍රපටි සඳහා පමණයි. සිනමාව පවතින්නේ විනෝදාත්මක චිත්‍රපට නිර්මාණය වීම තුළයි. නමුත් විචාරකයන්ට එය අදාළ වෙන්නේ නැහැ. සිනමාව සරලව හසුරවනවා කියන චෝදනා විනෝදාත්මක චිත්‍රපටිවලට ඔවුන් එල්ල කරනවා. නමුත් විනෝදාත්මක චිත්‍රපටයක වුවත් හොඳ සිනමාරූපි බවක් තිබිය යුතු යැයි මම විශ්වාස කරනවා. එවන් චිත්‍රපටයක් විචාරය කිරීමට විචාරකයන් පෙළගැසිය යුතු යැයි මම විශ්වාස කරනවා. නමුත් සිනමා විචාරකයන් තම ප්‍රතිරූපය එයින් විනාශ වේ යැයි බියෙන් එය මඟ හරිනවා.

සිනමා ශාලා වැසුණු, රිදී තිරයට රතු එළි දැල්වූ මෙවන් යුගයක නිර්මාණකරණයේ යෙදෙන විට පැන නැඟුණු අභියෝග මොනවාද?

ගින්දරී 3 චිත්‍රපටය මම නිර්මාණය කළේ මීට වසර තුනකට කලින්. නමුත් රටේ අර්බුදකාරී තත්ත්වය තුළත් මම චිත්‍රපටි දෙකක් නිර්මාණය කළා. ‘ගිනි මල් පොකුරු‘ හා ‘රිදී සිහින‘ එම චිත්‍රපටි ද්විත්වයයි. රිදී සිහින ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ගින්දරී ප්‍රදර්ශනය කිරීමේදීත් අභියෝග බොහෝමයක් පැවතුණා. නමුත් එකී අභියෝග ගැන නොහිතා මම ගින්දරී 3 ප්‍රදර්ශනයට මුදා හැරියා. චිත්‍රපටියක් නිර්මාණය කිරීම හා ප්‍රදර්ශනය කිරීම මට ලොකු ගැටලුවක් නෙමෙයි. ඉදිරියේදීත් හොඳ නිර්මාණ කිරීමට බලාපොරොත්තු වෙනවා.

ගින්දරී 3 ප්‍රදර්ශනයට මුදාහැරීම ප්‍රමාද කිරීම හොඳ තීරණයක් කියලා ඔබ විශ්වාස කරනවද?

ගින්දරී 3 නිර්මාණය කළ අවධියේ ප්‍රදර්ශනයට මුදා හැරියා නම් ගැටලුකාරි තත්ත්වයන් බොහොමයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ ගැටලු මේ වන විටත් යම් තාක් දුරකට මඟහැරී තිබෙනවා. ඒ නිසා අවදානම තරමක් අඩුයි. කලින් මුදා නොහැරිය එක ගැන සතුටුයි.

ගින්දරී 3ට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ගින්දරී 4ත් නුදුරේදීම කලඑළි බසියි කියලත් හිතෙනවා. කලින් මුදා නොහැරිය එක ගැන සතුටුයි‍ද?

ගින්දරී 3 අතිශය ජනප්‍රිය වුණොත් ගින්දරී 4 චිත්‍රපටිය කරන්නත් පෙලඹෙන්න පුළුවන්. මේ වන විට ගින්දරී 4 වෙනුවෙන් වස්තු බීජයක් නිර්මාණය වෙමින් පවතිනවා. එය වෙනස්ම කතා තේමාවකට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

සෑම බිරියක්ම යකින්නියක් නොවේ කියන ගින්දරී චිත්‍රපටයේ තේමා පාඨය තුළම ප්‍රහසනය අභ්‍යන්තරයේ ස්ත්‍රීවාදී නැඹුරුවක් දක්නට ලැබෙනවා. ඒ ගැන කිවුවොත්?

සෑම සුන්දර ගැහැනියක් පිටුපසම යකින්නියක් සිටිනවා කියලා කතාවක් තියෙනවා. එහි සත්‍යතාවක් නැත්තෙමත් නැහැ. බිරියක් කියන්නේ පවුල් කුටුම්බය රකිමින්, සැමියාට හා දරුවන්ට ආදරය දක්වන කෙනෙක්. නමුත් ඇයට ඇතිවන පීඩාකාරී තත්ත්වයන් මත ඇය යකින්නියක් බවට පත්වන අවස්ථාත් උදාවෙනවා. නමුත් සෑම ගැහැනියක්ම යකින්නියක් නොවෙයි කියන තේමාව යටින් යථාර්ථවාදී කියැවීමක් තියෙනවා.

කලාත්මක චිත්‍රපටවලට වඩා වාණිජ චිත්‍රපටිවලට ප්‍රේක්ෂකයන්ගේ වැඩි නැඹුරුව ඔබගේ නිර්මාණකරණයට හේතුභූත වී ඇතැයි කිව්වොත්?

ඔව් එය නිවැරදියි. මම නිර්මාණය කළ චිත්‍රපට 25 තුළම වැඩියෙන්ම පවතින්නේ වාණිජ චිත්‍රපටියි. කලාත්මක හැඩරුව තියෙන චිත්‍රපටි කිහිපයකුත් මම නිර්මාණය කළා. මම කලාත්මක චිත්‍රපටවලට නැඹුරු වූවා නම් මේ තරම් දුරක් එන්න අපහසුයි. සිනමාරූපී බව වාණිජ චිත්‍රපටවලටත් අදාළයි. වාණිජ චිත්‍රපටයක් කළත් සරල, බොළඳ නිර්මාණවලට මම කොටු වෙන්නේ නැහැ. වාණිජ චිත්‍රපටි වලට වැඩි වියදමක් හා වැඩි වෙහෙසක් දැරිය යුතු වගේම සිනමාරූපී බවත් ආරක්ෂා කරගත යුතුයි.

 

Comments