
මැස්සා නිසා ලබන අත්දැකීම නම් මාරයි
මම කවදාවත් ජොබ් එකක් විදියට රංගනය කරන්නේ නැහැ
මම රංගනය දකින්නේ ආර්ට් එකක් විදිහටයි
කොළඹ ජීවිතවල ඇත්ත පැත්ත හරි අපූරුවට අපට කියාදෙන “මැස්සා“ නාට්‍යය මේ දිනවල අතිශය ජනප්‍රිය නාට්‍යයක් බව නොරහසක්. මැස්සා තුළින් කතාවෙන්නේ කොළඹ ඉන්න තාරුණ්‍යයේ හීන ගැනයි. ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කරන “මැස්සා“ නාට්‍යයට අපේ රටේ නම් දැරූ ප්‍රබල චරිත කිහිපයක් එකතු වෙනවා. ඒ අතර හැමෝම කතා වෙන්නේ මැස්සා, දිගා, බුවා සහ ගලියා ගැන. ගලියා තමයි මේ නඩේ ඉන්න පොඩිම කොල්ලා. ගලියා චරිතයට පණ පොවන්නේ රුපවාහිනී වෙළෙඳ දැන්වීම් හා ටෙලිනාට්‍ය කිහිපයක් ඔස්සේම ළමා නළුවකු ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට ආ රන්පටි දේවගේ විරාජ් මධුෂාන් කුමාර.
අපි මතක් කළොත් කලාවට සම්බන්ධ වුණේ කොහොමද කියලා
මගේ අම්මා මාව පුංචි කාලේ යවනවා වසන්ත ඥානප්‍රිය කියන සර්ගේ මීඩියා ක්ලාස් එකට. එතැනදී මට හඬ හැසිරවීම, රංගනය, වීඩියෝ කරණය, මාධ්‍ය භාවිතය, කැමරාවක් ඉදිරියේ රංගනයේ නියැළෙන හැටි ආදි නොයෙක් පැති ඔස්සේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. මුලින්ම ටෙලි නාට්‍යයක රඟපෑවේ ඉස්කෝලේ හතර ශ්‍රේණියේ ඉගෙන ගන්නකොට “මුතු පිහාටු“ කියන ලියන්ත අන්කල් කරපු ටෙලි නාට්‍යයේ. ඊට පස්සේ දිගටම වෙෙළඳ දැන්වීම්වලට පෙනී සිටින්න ආරාධනා ආවා. මුලින්ම හිටියේ මැලිබන් රියල් ඩබල් දැන්වීමට. බොහෝ දෙනා අතරට ගිය චරිතයක් තමයි එස්ලෝන් පයිප්ප ඇඩ් එකේ හෙට්ටිගේ චරිතය. අංගනා, ස්නේහා, සුජාතා ආදි ටෙලි නාට්‍ය දහයක විතර මම මේ වන විට රඟපාලා තියෙනවා. ඒ එක්කම සිනමා නිර්මාණ තුනකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ “තුන්වරක් තුන, ඉස්කෝලෙට මං ආවා සහ රෂ්“ චිත්‍රපටය.
ඔබ පාසල් ගියේ කොහෙද?
මම පාසල් තුනකින් අධ්‍යාපනය ලැබුවා. මුලින්ම ගියේ උඩහමුල්ල ඔක්ස්ෆර්ඩ් කොලේජ් එකට. ඊට පස්සේ කොට්ටාව විද්‍යාදාන මහා විද්‍යාලය සහ කොට්ටාව ආනන්ද විද්‍යාලයට.
ඔබේ ගෙදර විස්තර කොහොමද?
මගේ අම්මා පුෂ්පානි රත්නායක, තාත්තා ලලිත් ලීලාරත්න, මම පවුලේ වැඩිමලා. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. අංජන හා පසන් කියලා. අංජන මල්ලි “හීන හොයන සමනල්ලු“ චිත්‍රපටයේත් රඟපෑවා.
ඔබට කොහොමද ගලියා වෙන්න අවස්ථාව ලැබුණේ?
මැස්සා නාට්‍යයේ නිෂ්පාදක ජනක අයියගේ නෑදෑයෙක් වන මගේ යාළුවෙක්. මම ජනක අයියගේ දාංගලේ කියන නාට්‍යයේත් වැඩ කළා. පසුව මගේ නම්බර්ස් වෙනස් වෙලා නිසා තමා යාළුවගෙන් මගේ අලුත් නම්බර් එක හොයාගෙන කතා කළේ.
මැස්සා ටෙලි නාට්‍යයේ ගලියාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
කාලෙකට පස්සේ වැඩිම ප්‍රතිචාරයක් ලබන නිර්මාණයක්.
කොහොමද මැස්සා කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය
මුලින්ම කියන්න ඕනේ මට වැඩිපුරම මුහුවෙන චරිත වෙන්නේ දසුන් අයියා, චතුර අයියා සහ ජෙනට් අයියාගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. පිටපතේ තියෙන දේවල් වලට අමතරව මට මගේ චරිතය ගොඩනඟා ගන්න ඒ අය හැමෝම හොඳ සහයෝගයක් දෙනවා. සචිනි අක්කා, කාවින්දි අක්කා, පූජන අයියා ඇතුළු හැමෝම මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ එක්කම කියන්න ඕනේ අධ්‍යක්ෂක ඉන්දික අයියා සහ කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් අයියා පවා මට නිදහස ලබා දීලා තියෙනවා මගේ චරිතය ගොඩනඟා ගන්න.
මැස්සා හි අමතක නොවන අත්දැකීම් ඇති?
රූපගත කිරීම් සිදු වුණ හැම දවසක්ම හැම මොහොතක්ම අමතක නොවන අත්දැකීම් තමයි. දෙහිවල අපි ෂූටින් කරන්නේ. ගොඩක් සීන් රූපගත වෙන්නේ තනි ෂොට් එකක. පොඩ්ඩක් හරි වැරදුණොත් ආයේ මුල ඉඳන් ගන්න ඕනේ. ප්‍රභාත් අයියා හරි ආසයි දුවලා පැනලා කැමරා කරන්න. එයා මේ ෂූට් එක අතරතුර ට්‍රයිපොර්ට් එක යූස් කරලම නැද්ද මන්ද. ඒ නිසා හැමදාම අමතක නොවන අත්දැකීම් ජීවිතේට එකතු වෙනවා. මාරම ආතල්. ශෙඩුල් එකෙන් ශෙඩුල් එකට එක එක ඒවා වෙන්නේ. මැස්සා නිසා ලබන අත්දැකීම නම් මාරයි.
දිගටම රංගනයේ යෙදෙන්න ද බලාපොරොත්තුව?
මම රංගනය නම් කරන්නේ විනෝදාංශයක් විදියට. මම රංගනය දකින්නේ ආර්ට් එකක් විදියට. ඒ නිසා මම කවදාවත් ජොබ් එකක් විදියට රංගනය කරන්නේ නැහැ. ඒ මම හිතන විදිය. ඊට අමතරව මම වීඩියෝ එඩිටින් කරනවා. ඒ වගේම ෆැෂන් ඩිසයිනින් පැත්තෙන් උපාධියක් කරන්න අදහසක් තියෙනවා.
මොන වගේ වෘත්තියකටද කැමති
මම කැමති නැහැ ජොබ් එකක් කරන්න. මට ඕනේ මගේම දෙයක් පටන් ගන්න.
මැස්සා එකට අමතරව තව නිර්මාණ තියෙනවද?
ආරාධනා දෙක තුනක් ඇවිත් තියෙනවා. ඊට අමතරව සුපුරුදු විදියට වෙෙළඳ දැන්වීම් කරගෙන යනවා. තව ෆොටෝ ෂූට් වගයක් කරගෙන ඉන්නවා.
කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය
මගේ අම්මා තමයි මගේ ගමනේ ශක්තිය. පුංචි කාලේ මා එක්ක හැම තැනටම ආවේ අම්මා. දැන් නම් මම මගේ වැඩ තනියම කරගෙන යනවා. ගෙදරින් කවදාවත් මට මේ මේ දේවල් කරන්න කියලා බලපෑම් කළේ නැහැ. පූර්ණ නිදහස මට දුන්නා. මම කරන දේ හොඳයි නම් හැමදාම ඒ අය සහයෝගය දුන්නා.
දැන් පෙම්වතියක් ඉන්නවද?
කලින් ඉඳලා තියෙනවා. දැන් නම් නැහැ.
අනාගත බලාපොරොත්තු මොනවද?
මගේම කියලා දෙයක් කරන ගමන් නිදහසේ ලැබෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.