ඉන්දියානු සිනමාවේ සුන්දර පෙම්වතිය හදිසියේ විවාහ වෙයි | සිළුමිණ

ඉන්දියානු සිනමාවේ සුන්දර පෙම්වතිය හදිසියේ විවාහ වෙයි

හංසිකා 10 හැවිරිදි වියේදී පළමුවෙන්ම සිනමාවට පැමිණියේ Koi... Mil Gaya සිනමාපටයේ ළමා නිළියක ලෙසිනුයි. අවුරුදු 15දී Desamuduru සිනමාපටයේදී අල්ලු අර්ජුන්ගේ පෙම්වතිය ලෙස ප්‍රධාන චරිතය රඟමින් සිනමාවේ දෙවැනි ගමන ඇරඹූ ඇය එම සිනමාපටය වෙනුවෙන් හොඳම නැඟී එන නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවාය.

 

හංසිකා මොට්වානි ගැන නොදන්නා දමිළ හෝ තෙලිඟු සිනමා රසිකයෙකු නොමැති තරම්. ඉන්දියානු සිනමාවේ පෙම්වතියගේ චරිතයට අපූරු හැඩයක් එක් කළ මේ සුරූපිණිය ගැන පසුගියදා නැවත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා. ඒ ඇගේ හදිසි විවාහය හේතුවෙනුයි.

31 හැවිරිදි වියේ පසුවන මහාරාෂ්ඨ රූමතියගේ අත ගැනීමට වාසනාවන්ත වුණේ සොහෙල් කතුරියායි. සිලම්බරාසන්, ජෙයම් රවී, සුන්දර් සී ඇතුළු කොලිවුඩ් රංගන ශිල්පීන් කිහිප දෙනකු සමඟ පෙම් සබඳතා පැවතුණු බවට වාර්තා පළවී තිබූ ආකර්ෂණීය හංසිකා හදිසියේම විවාහ වූ මේ සොහෙල් කවුද? පසුගිය දිනවල ඉන්දියානු සිනමා රසිකයන්ගේ නළල රැළි කළ ප්‍රශ්නය වූයේ එයයි.

සොහෙල් කතුරියා ඉන්දියාවේ මුම්බායිහි ප්‍රකට ඇඟලුම් ව්‍යාපාරිකයෙක්. වැඩිදුරටත් පවසන්නේ නම් සුප්‍රකට Avant ඇඟලුම් සන්නාමයේ හිමිකරු ඔහුයි. හංසිකා සහ සොහෙල් කලක පටන් ව්‍යාපාරික හවුල්කරුවන් ලෙස කටයුතු කරන අතර, ඔවුන් දෙදෙනා එක්ව සහභාගී වූ උත්සව අවස්ථාවන්හි ඇතිවූ බැඳීම පසුව ආදරයක් බවට පත්වී ඇති බව පැවසෙනවා. 2019 වසරේ සිට ඔවුන් දෙදෙනා ව්‍යාපාරික හවුල්කරුවන් වුවත් දෙදෙනාගේ මිත්‍රත්වය ඇරඹී ඇත්තේ 2014 වසරේදීයි.

කෙසේ වෙතත් හංසිකා - සොහෙල් විවාහය ගැන ඊට වෙනස් වූ නොයෙක් කටකතාද සමාජ මාධ්‍යයේ පැතිරී තිබෙනවා. ඊට අනුව සොහෙල් යනු හංසිකාගේ හොඳම මිතුරිය වූ රින්කිගේ පෙර විවාහයේ සැමියා වන අතර හංසිකා සහ සොහෙල් රින්කිට හොර රහසේ පෙම්වතුන් බවට පත්ව තිබෙනවා.

2016 වසරේදී පැවතී සොහෙල් - රින්කි විවාහයේ විශාල කාර්යභාරයක් ඉටුකර ඇත්තේ හංසිකා විසිනුයි.

කලක් රහසක් ව පැවති හංසිකා - සොහෙල් ආදර කතාව සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ නොයෙක් ඇනුම් බැණුම්, වාද විවාද පවා හුවමාරුවෙමින් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හංසිකා සහ පින්කි පසුව හතුරියන් වී ඇති බවද සඳහන්. ප්‍රින්කිගේ සියලුම සමීපතමයන් හංසිකාගේ සමාජ මාධ්‍ය පිටු වෙතින් ඉවත් කෙරී ඇත්තේ එහි එක් ප්‍රතිඵලයක් ලෙසටයි.

පසුගිය නොවැම්බර් 2 වැනිදා ඔවුන් දෙදෙනා ප්‍රංසයේ අයිෆල් කුලුන නැරඹීමට ගිය අවස්ථාවේදී සොහෙල් විසින් හංසිකා වෙත විවාහ යෝජනාව සිදුකර තිබුණේ සිනමා පටයක දර්ශනයක් සිහි ගන්වමිනුයි. එම සුන්දර මතකය සිය instagram ගිණුමේ ඉහළින්ම සැමරීමටද හංසිකා ක්‍රියාකර තිබුණේ Now and forever ලෙස ඊට සටහනක් ද එක් කරමින. හංසිකාගේ තේරීම ඉහළින්ම වර්ණනා කරමින් ඊට සමාජ මාධ්‍ය හරහාම අදහස් දැක්වූ ඉන්දීය තරු අතර, සූර්යා, කාර්තික්, විජේ, වරුන් ධවාන්, අනුෂ්කා ශෙට්ටි, ආදී සුපිරි ඉන්දීය සිනමා තරු රැසක් සිටීමත් විශේෂත්වයක්.

පසුගිය දෙසැම්බර් 4 වැනිදා හංසිකා සහ සොහෙල් දෙදෙනාගේ විවාහය පැවැත්වුණේ පවුලේ සමීපතමයන් සහ මිතුරන් කිහිප දෙනකුගේ සහභාගිත්වයෙන් පමණයි. ඒ සඳහා ජනප්‍රිය සිනමා තරු කිසිවෙකුත් සහභාගිවී නැහැ. හංසිකාගේ සිහිනය පරිදි එම විවාහය පැවැත්වුණේ රාජස්ථානයේ, ජායිපූර්හි ඉපැරණි මුන්ඩෝටා බලකොටුව තුළ පිහිටි විශේෂ ස්ථානයකයි.

ව්‍යාපාරික පවුලක එකම දියණිය වූ හංසිකා 10 හැවිරිදි වියේදී පළමුවෙන්ම සිනමාවට පැමිණියේ Koi... Mil Gaya සිනමාපටයේ ළමා නිළියක ලෙසිනුයි. අවුරුදු 15දී Desamuduru සිනමපටයේදී අල්ලු අර්ජුන්ගේ පෙම්වතිය ලෙස ප්‍රධාන චරිතය රඟමින් සිනමාවේ දෙවැනි ගමන ඇරඹු ඇය එම සිනමාපටය වෙනුවෙන් හොඳම නැඟී එන නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ඉන්පසු විජේ, ධනුෂ්, සූර්යා, කාර්තික්, ජෙයම් රවී, සිවකාර්තිකෙයන්, ආර්යා, සිද්ධාර්ත්, රවී තේජා ඇතුළු ඉන්දියානු සිනමාවේ දැවැන්ත තරු සමඟ ප්‍රධාන චරිත නිරුපණයට එක්වුණේ දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි තරුවක් බවට පත්වෙමිනුයි.

2014 වසරේ FORBES ලොව බලවත්ම තරු 250 අතරටද තේරුණු හංසිකා තවමත් සිය ජනප්‍රියත්වය එකසේ තබා ගැනීම විශේෂත්වයක්. ඉදිරියේදී ඇය රඟපෑ සිනමාපට 7ක් තිරගතවීමට නියමිතව ඇති අතර විවාහයෙන් පසු බොහෝ දුරට ඇය සිනමාවෙන් සමුගනු ඇති බවටද ඉන්දියානු මාධ්‍ය මේ වන විට අනාවැකි පළකර තිබෙනවා.

Comments