
“අනේ සර්, මාව බේරගන්න... මට ලොකු කරදරයක් වෙලා තියෙන්නෙ...." බණ්ඩාරගම පොලිසියට පසුගියදා හතිලමින් දුව ආ කාන්තාවකගේ මුවින් පිට වූයේ එකම විලාපයකි. යම් පුද්ගලයෙකුගෙන් ගැලවීමේ අරමුණින් දිව ආ අයුරක් පෙන්නුම් කළ ඇය දකින ඕනෑම අයෙකුට එම කාන්තාව අතිශයින් බියට පත්වූ සෙයක් පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
“කලබල වෙන්නෙ නැතුව කියන්න මොකක්ද සිද්ධ වුණේ කියලා. දැන් තමුන් ඉන්නෙ පොලිසියෙ. මේක ඇතුළෙ තමන් ආරක්ෂිතයි...” යනුවෙන් නිලධාරින් විසින් ඇය අස්වසාලීමෙන් පසු තමන්ට සිදුවූ අසාධාරණය ඇය විස්තර කිරීමට පටන් ගත්තාය.
“සර්, මම ගෙදරක වැඩට කියලා ආවා. ඒ ගෙදර හිටියෙ මහත්තයා විතරයි. මහත්තයා මට දවස් දෙකක් තිස්සේ කරදර කළා... මම ඒ ගෙදරින් යන්තමින් පැනගත්තා... දුවගෙන ආවෙ පොලිසියට...." ඊළඟ ගැටලුව ඇති වූයේ තනිව පිරිමි පුද්ගලයෙක් පමණක් සිටින නිවසක මෙහෙකාර සේවයට කාන්තාවක් පැමිණීම නිසාය.
"ඒ මහත්තයා මට එන්න කලින් කියලා තිබුණෙ ගෙදර නෝනයි, දරුවයි ඉන්නවා කියලා. ඒත් ආවට පස්සෙයි දැනගත්තෙ ඒ ගෙදර වෙන කිසිම කෙනෙක් නෑ... ඉන්නෙ ඒ මහත්තයා විතරයි කියලා...." එම ගැටලුවට ඇයගෙන් පිළිතුරු ලැබුණේ එලෙසිනි.
"තමුන් කොහොමද මේ කියන පුද්ගලයාව අඳුනන්නෙ....?" නිලධාරීන් විමසූ විට ඇයගෙන් ලැබුණු උත්තරය වූයේ රැකියා ඒජන්සියක් මාර්ගයෙන් මෙම නිවස වෙත පැමිණි බවය.
කාන්තාවගෙන් ලද තොරතුරුවලට අනුව එම නිවස පිහිටා තිබුණේ හොරණ - පාණදුර මාර්ගයේ ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේය.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් පරිදි බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂගේ මෙහෙයවීමෙන් ළමා සහ කාන්තා කාර්යංශයේ උප පොලිස් පරීක්ෂක කුමාරි සැරයන් (37199) සම්පත්, කොස්තාපල් නිසංසලා සහ (69408) නාමල් යන පිරිස පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ.
පොලිසිය අදාළ නිවස වෙත යන විට එය දෙරගුළුලා තිබූ අතර බැලූ බැල්මටම එහි කිසිවෙකුත් නොසිටින බවක් පොලිස් නිලධරයනට දැක ගැනීමට ලැබුණි.
නමුත් පැමිණි කාරණය අතරමඟ නවතා හිස් අතින් ආපසු ඒමට කිසිම බලාපොරොත්තුවක් නොතිබූ නිලධාරීන් කුමන මොහොතක හෝ සැකකරු නිවස වෙත පැමිණෙතැයි යන සැකයෙන් නිවස අවට රැකවල්ලා සිටියහ.
පැය ගණනාවක අසීරු කාල පරිච්ඡේදයකින් පසු පිරිස අපේක්ෂා කළ අන්දමින්ම සැකකරු නිවස වෙත පැමිණියේ තමන් වටා එළා ඇති දැල පිළිබඳ කිසිම දැනුවත්කමකින් තොරවය.
ඊළඟ තත්පරයේදී දෑතට විලංගු වැටෙද්දී සැකකරුගේ නළල දෙපසින් දහඩිය වැගිරෙන්නට පටන්ගත්තේ තමන් මෙතෙක් කළ 'සෙල්ලම්' සියල්ල අවසන්ව ඇති බවට ඔහුටම දැනුණු සිතිවිල්ලකින් විය යුතුය.
"නඟිනවා ජීප් එකට. තමුන්ගෙ සෙල්ලම් ඉවරයි..." යනුවෙන් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසෙන් අයෙකුගේ මුවින් පිටවද්දී ඔහුගේ සිහියට නිතැතින්ම නැඟුණේ උදෑසන සිට අතුරුදන්ව සිටින නිවසේ මෙහෙකාරකමට යැයි පවසා ගෙන්නා ගත් කාන්තාවයි.
පොලිසිය ඉදිරියේ සැකකරු සියලු තොරතුරු පාපොච්චාරණය කළේ තමන්ට තවත් සැඟවීමට යමක් ඉතිරිව නොමැති බැවින් වුවත්, ඔහු පැවසූ කරුණුවලට අනුව එතෙක් කල් සැඟව තිබූ තවත් අපරාධ ගණනාවක් අනාවරණය කරගැනීමට නිලධාරීන්ට හැකි විණි.
53 හැවිරිදි මෙම පුද්ගලයා යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙකි. 1988 වර්ෂයේ හමුදා සේවයට බැඳී 2010 වසරෙහිදී විශ්‍රාම ගිය ඔහුගේ ස්ථිර පදිංචිය ගාල්ල ප්‍රදේශයේ වුවද වර්තමාන පදිංචි ස්ථානය වූයේ ගැලනිගම ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසකි.
මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවට පැවසූ ලෙසම ඔහුට බිරිය සහ දරුවකු සිටියද ඔවුන් දෙදෙනා සැකකරු සමඟ එක්ව වාසය කිරීම අතහැර බොහෝ කලකි. හොරණ, පරගස්තොට ප්‍රදේශයේ නිවසක වෙනම පදිංචිව සිටි ඔවුන්ට සැකකරු සමඟ සබඳතාවක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් තිබුණේ නැත. සැකකරු සිදුකර තිබුණේ අමුතුම ආකාරයේ සෙල්ලමකි.
ඒ අනුව පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යයන්හි රැකියා ඒජන්සි විසින් මෙහෙකාර සේවයට කාන්තාවන් අවශ්‍ය බවට පළ කරන විවිධාකාර දැන්වීම්වලට දුරකතන ඇමතුම් මාර්ගයෙන් සම්බන්ධ වන ඔහු තම නිවසේ සේවයට කාන්තාවක් අවශ්‍ය බව පවසයි. රැකියා ඒජන්සියට ඔහු විසින් ලබාදෙන කරුණුවලට අනුව නිවසෙහි ඔහුට අමතරව බිරිය සහ දරුවෙකුද සිටී.
මෙම කරුණු විමසා බලා රැකියාවන් සඳහා පැමිණෙන කාන්තාවන්ට, නිවසෙහි වාසය කරන්නේ මෙම පුද්ගලයා පමණක් බව දැකගැනීමට හැකි වන්නේ නිවසට පැමිණීමෙන් පසුය.
ඉන්පසු මෙම පුද්ගලයාගෙන් කුමනාකාරයෙන් හෝ ගැලවුමක් නොමැති වන අසරණ කාන්තාවන්ට සිදුවන්නේ මොහුගේ ලිංගික ගොදුරක් බවට පත්වීමටය.
ඉන් නොනැවතෙන ඔහු මෙහෙකාර කාන්තාවන් සතු කනකර, මුදල් ඇතුළු වටිනා බඩුබාහිරාදියද පැහැර ගන්නා අතර තම මනදොළ අවශ්‍ය අයුරින් සංසිඳුවා ගැනීමෙන් පසු ඔවුන් නිවසින් පන්නා දමයි. බණ්ඩාරගම පොලිසියට පැමිණි කාන්තාවද ඒ ආකාරයෙන් සැකකරුගේ බිල්ලක් බවට පත්වූ තැනැත්තියකි. සේවයට පැමිණි දිනත්, ඉන් පසු දිනත් ඇයට අතවර කර ඇති මෙම පුද්ගලයාගේ දෑසින් වහන් වීමට තරම් සූක්ෂම වූ ඇය කෙසේ හෝ එම නිවසින් පැන ගැනීමට සමත්ව තිබේ.
කුඹුක්වැව, හුරුලුනිකවැව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් වූ ඇය එලෙස ඔහුගෙන් ගැලවුණද, මින් පෙර කාන්තාවන් ගණනාවක්ම සැකකරුගේ මනදොළ පිරවීමට දිගු කලක් තිස්සේ බිලිව ඇති බව ඔහුගේ පාපොච්චාරණයේදී හෙළි විණි.
මෙහෙකාර සේවයට පැමිණෙන කාන්තාවන් මෙලෙස අසාධාරණයට ලක් කිරීම හැරුණුකොට සැකකරුගේ තවත් සෙල්ලමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු අනාවරණය විණි.
ඒද සැකකරුගේ කටින්මය.
"සර්, මම ගෙදරට එන ගෑනුන්ව රවට්ටන එක විතරක් නෙමේ කළේ. හොර ජෝඩුවලින් මම උපරිමේටම ප්‍රයෝජන ගත්තා..."
ඒ අනුව මෙම තැනැත්තා මුහුදු වෙරළ, උද්‍යාන, හෝටල් ආදී විවිධාකාර ස්ථානවල ගැවසෙමින් එම ස්ථානවලට පැමිණෙන මැදිවියේ පෙම් යුවළ සම්බන්ධයෙන් මනා අවධානයෙන් පසුවේ. තෝරා ගත් යුවළක් පසුපස ඔවුන්ට නොදැනෙන ලෙස ගමන් කරන ඔහු, ඔවුන් දෙදෙනා ආපසු ගොස් ඇතුළු වන නිවස අනුසාරයෙන් ඔවුන් පිළිබඳ නිගමනයකට පැමිණේ.
"දෙන්නම ගිහින් එක ගේකට යනවා නම් එතන හොරයක් නෑනෙ. හැබැයි දෙන්නා වෙන වෙනම ගෙවල් දෙකකට යනවා නම් එකත් එකටම ඒ හොර කපල් එකක්...." ඔහු තීරණයක් ගන්නේ එලෙසිනි.
ඒ අනුව එලෙසින් තෝරාගත් අනියම් සබඳතාවක් සහිත යුවළක කාන්තාව තනිව ගමන් ගන්නා මොහොතක ඇය පසුපසින් යන සැකකරු ඔවුන්ගේ අනියම් සබඳතාව තමන් දන්නා බවත්, තමන් පවසන දෙයට අකමැති වුවහොත් එය නිවෙස්වලට හෙළි කරන බවටත් පවසමින් මෙකී කාන්තාවන් බියට පත් කරයි.
අනියම් සබඳතාව සම්බන්ධයෙන් කිසිවෙකුට කිසිවක් හෙළි නොකිරීමට නම් තමන් සමඟ ලිංගිකව එක්වීමට මොහු යෝජනා කරන අතර, සිය අනියම් පෙම නිවෙස් විසින් දැනගැනීම සම්බන්ධයෙන් ඇති බිය නිසා කරකියා ගැනීමට දෙයක් නොමැති වන කාන්තාවන් සැකකරුගේ යෝජනාවට එකඟ වේ.
මේ ආකාරයෙන් එවන් කාන්තාවන් සමඟ ද සබඳතා පවත්වා ඇති මෙම පුද්ගලයාට එලෙස ප්‍රෝඩාකාරී අයුරින් රවටා අසාධාරණයට පත්කළ කාන්තාවන් ප්‍රමාණය පිළිබඳ නිශ්චිත අදහසක් හෝ තිබුණේ නැත.
මාධ්‍යයන්හි සඳහන් දැන්වීම් හෝ රැකියා ඒජන්සි මාර්ගයෙන් නිවෙස්වල තනිව සේවයට යන කාන්තාවන්ට ඒ සම්බන්ධයෙන් දෙවරක් තෙවරක් නොව දහස් වරක් නැවත නැවතත් සිතා බැලිය යුතු බවට මෙම කතාවෙන් ලබා දෙන්නේ කදිම ආදර්ශයකි.