මෙන්න! මිනිස්සු | Page 2 | සිළුමිණ

මෙන්න! මිනිස්සු

ප්‍රතාප් රණසිංහ

- ව්‍යාපාරිකයාට හෝටලේදී අමතක වුණු ලක්ෂ 35 මුදල් බෑගය සොයා දුන් හිටපු ගුවන් සෙබළාට දසතින් පැසසුම්
- ප්‍රතාප් රණසිංහ රට යන්න ඉන්නේ ගෙයත් ඉඩමත් උකස් කරලා
- වෙන්නප්පුව පොලිසියේදී අයිතිකරු අතටම දෙයි
- මුදල් අයිතිකරු බහුදින යාත්‍රා හිමිකරුවෙක්

රුපියල් ශතම ජීවිතය කරගෙන ඒ වෙනුවෙන් මිල කළ නොහැකි මිනිස් ජීවිත පවා විනාශ කරන සමාජයක මුදලට වඩා මිනිසත්කම වටිනා බව අපූරුවට පෙන්වා දුන් විශ්‍රාමික රණවිරුවෙකු පසුගියදා සමාජයටම වටිනා ආදර්ශයක් දුන්නේය. ගුවන් හමුදාවේ සේවය කළ සෙබළෙකු වන ප්‍රතාප් රණසිංහ වන ඔහු සමාජයට පෙන්වා දුන්නේ මිනිසත්කමින් පිරුණ මිනිසුන් තවමත් මේ සමාජයේ සිටිනා බව යන උතුම් පණිවිඩයයි. 

ප්‍රතාප් රණසිංහගේ ගම ගම්පහ උඩුගම්පොළය. ගුවන් හමුදාවේ වයස අවුරුදු දොළහක සේවය නිම වී පවුලේ පවතින අගහිඟකම් ගැන සිතමින් රැකියාවක් කරගෙන යාමට ඔහු උත්සාහයක නිරත විය. කෙසේ වෙතත් රැකියාවක් සොයා ගැනීමට තිබෙන බාධා හේතුවෙන් ඔහු තීරණය කරන්නේ විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමටය. එහිදී ඔහු විදේශ රැකියා ආයතන කිහිපයකටම සම්බන්ධ වී තොරතුරු ලබා ගත්තේය. ඉතාලිය, ජපානය ඇතුළු රටවලට යාමට විශාල මුදලක් අවශ්‍ය නිසා ප්‍රතාප් සිය මූල්‍ය හැකියාව මත රුමේනියාව බලා පිටත් වීමට තීරණය කළේය. ඒ මීට මාසයකට පමණ පෙරය. ඒ සඳහා ඔහු වෙන්නප්පුව ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් තෝරා ගත්තේය. ඒ අනුව මීට සති දෙකකට පමණ පෙර අදාළ ලියකියවිලි එම ආයතනයට ලබා දීමෙන් පසු ඉකුත් 30 වැනි දින නැවතත් එම ආයතනයට එන ලෙසට ප්‍රතාප්ට දැනුම් දී තිබිණි.

ඒ අනුව ඔහු එදින උදෑසනම නිවෙසෙන් පිටත් විය. තමන්ගේ විදේශගත වීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම සඳහා ඔහු පවුලේ අය සමඟ සාකච්ඡා කොට තීරණය කර තිබුණේ තමන් පදිංචි නිවෙස සහිත ඉඩම උකස් කිරීමටය. ඊට අදාළ කටයුතු ද ඔහු ඒ වන විට සකස් කර තිබිණි. ඔහු එදින වෙන්නප්පුව නගරයට පැමිණෙන විට උදෑසන 8 පමණ විය. අදාළ රැකියා ආයතනයට යාමට පෙර ඔහු උදෑසන ආහාර ගැනීමට නගරයේ පිහිටි හෝටලයකට ගියේය. ඔහු ආහාර ගත් ස්ථානයේ මේසය මත බෑගයක් ද තිබූ අතර එය හෝටලයේ ආහාර ගන්නා අයකුට අයත් යැයි සිතා මඳක් එහාට කර තම අවශ්‍යතාව ඉටු කර ගත්තේය.

අනතුරුව ආහාර ගෙන ඉන් පිටත්ව යාමේදී හෝටලයේ සේවකයකු ඔහුගේ බෑගය යැයි සිතා එය ප්‍රතාප්ට දුන්නේය. ඔහු එය තමාගේ නොවන බවත් ප්‍රකාශ කර එහි අයිතිකරුගේ අනන්‍යතාව සොයා ගැනීමට හැකි වේ යැයි සිතා එය විවෘත කර බැලීය. එහිදී ඔහුට දැකගත හැකි වූයේ රුපියල් පන්දහසේ නෝට්ටු ගණනාවක් මිටි වශයෙන් බැඳ බෑගයේ අසුරා තිබෙන බවයි.

පසුව ප්‍රතාප් ඒ ගැන එම හෝටලයේ අයගෙන් විමසුවද එහි අයිතිකරුවෙක් ඉදිරිපත් නොවූ හෙයින් බෑගයේ මුදල් තිබෙන බව පැවසූ ප්‍රතාප් එම බෑගය අමතක වී ගිය කෙනෙක් නැවත පැමිණේයැයි පවසමින් හෝටලය වෙත බාර දීමට කටයුතු කළේය. පසුව ඔහු අවශ්‍යතාව ඉටු කර ගැනීමට විදේශ රැකියා ආයතන වෙත ගොස් එහි කටයුතු නිමකර නැවතත් එම බෑගය අයිතිකරුට ලබා දුන්නේදැයි විපරම් කර බැලීමට එම හෝටලයට ගිය පසු බෑගය හෝටලයේ කැෂියර්ගේ මේසය මත තිබෙනු දුටුවේය. පසුව ඔහු මෙතරම් විශාල මුදලක් එසේ තිබීම සුදුසු නොවන බව වටහාගෙන කෙසේ හෝ අයිතිකරු සොයාගෙන එය දීමේ අරමුණින් වෙන්නප්පුව පොලිසියට සිද්ධිය දන්වා දුරකතන ඇමතුමක් දීමට කටයුතු කළේය.

අනතුරුව වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිගේ උපදෙස් මත මේ සම්බන්ධව විමර්ශන සිදු කරන අතරතුරදී මුදල් බෑගයේ අයිතිකරු බෑගය අමතක වූ බව පවසා එම හෝටලයට පැමිණ තිබේ. පසුව හෝටලයේ හිමිකරු විසින් වෙන්නප්පුව පොලිසියට මුදල් බෑගය බාර දුන් බව ඔහුට පවසා තිබිණි. බෑගය අමතක කර දමා ගිය පුද්ගලයා හලාවත, ඉරණවිල ප්‍රදේශයේ බහුදින ධීවර යාත්‍රා හිමියෙකි. 30 වෙනි දින උදෑසන ඔහු සිය ධීවර යාත්‍රා සඳහා ඉන්ධන ලබා ගැනීමට මීගමුව නගරයට පැමිණෙන අවස්ථාවේ වෙන්නප්පුව නගරයේ හෝටලයකින් උදෑසන ආහාරය ගෙන පිටත්ව ගොස් ඇත්තේ රුපියල් ලක්ෂ තිස්පහක් දමා තිබූ සිය මුදල් බෑගයද අමතක කර දමාය.

වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිගේ උපදෙස් මත හිටපු ගුවන් හමුදා සෙබළ ප්‍රතාප් රණසිංහ ධීවර යාත්‍රා හිමියාට අදාළ මුදල් බෑගය තමන් අතින්ම වෙන්නප්පුව පොලිසියේදී බාර දීමට කටයුතු කළේය.

හිටපු ගුවන් හමුදා සෙබළ ප්‍රතාප් රණසිංහ විදෙස්ගත වීමට තම ඉඩම උකස් තැබීමට සැලසුම් කර මෙසේ මුදල් අවශ්‍යතාවක් තිබියදීත් මෙම සත්කාරය කිරීම ගැන පොලිසියේ විශේෂ ස්තුතියක් ඔහුට පිරිනැමිණි. සිය මුදල් ආපසු ලබා ගැනීමට හැකිවීම සම්බන්ධව මුදල් හිමිකරු මෙසේ කියා සිටියේය. “ඇත්තෙන්ම අද සමාජයේ මෙවැනි සිදුවීම් අහන්න දකින්න ලැබෙන්නේ නැති තරම්. මොකද මම ගෙදරින් වාහනයෙන් ඇවිල්ලා උදේ ආහාරය ගත්තු කඩේ මගේ සල්ලි බෑග් එක මට අමතක වෙලා ගියා.

හැබැයි සෑහෙන වෙලාවකට පස්සෙ මෙතනට මේ ගුවන් හමුදාවේ මහත්තයා ඇවිල්ලා එය ගත්තු හින්දා මට මේ මුදල් බෑගය හමු වුණා.

ඇත්තටම වෙනත් කෙනෙක් ගත්ත නම් මට මුදල් අහිමි වෙන්න තිබුණා. ඒ මහත්තයගෙ කතාවෙන් තේරෙනවා එයාට මුදල් අවශ්‍යතාවකුත් තියෙන බව. රට යන්න මුදල් හොයා ගන්නේ. එයා ඉන්න ඉඩම උකස් තියලා.

එවැනි පීඩනයක ඉන්න වෙන කෙනෙක් අතට මේ මුදල් ගියානම් මේ මුදල් හම්බවෙන්නෙ නෑ. මෙවැනි පුද්ගලයන් අගය කළ යුතුයි. කොහොම ස්තුති කරන්නද මේ වගේ අයට. එයා සමාජයට දුන් ආදර්ශය, පණිවිඩය මිල කරන්න බෑ. ඒ වගේම ඔහුට පින් අයිති වෙනවා. ඒ වගේම වෙන්නප්පුවෙ පොලිස් නිලධාරීන්ටත් මගේ ස්තුතිය පළ කරනවා.


Comments