
- පේරලන්දවත්ත ගමම හඬවා චානක දිලංකමාල් අවසන් ගමනේ
- මරණය ගැන ගම්වැසියන් අතර සැකයක්
- සිරුර සොයා ගත්තේ නාවික හමුදා කිමිදුම්කරුවන්
තරුණ සිත්වලට එන දඩබ්බර සිතුවිලි නිසා සමහර තරුණ ජීවිත විනාශ වන්නේ ඉතා අවාසනාවන්ත ලෙසිනි. එවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් තරුණයකු නිසා හියාරේ ප්‍රදේශවාසින් තවමත් කම්පාවට පත්ව සිටිති.
මෙසේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූයේ අක්මීමන පොලිස් වසමේ හියාරේ පේරලන්දවත්ත 'තුෂාරා' හි පදිංචි විදාන ගමගේ චානක දිලංකමාල් ජයවර්ධන නමැති තරුණෙයකි. ඔහු 39 හැවිරිදිය. හෙතෙම නිහතමානී පුද්ගලයෙකි. තරුණයන් සමඟ දිලංකමාල්ගේ බැඳීම අසීමිතය. ඔහු නොහඳුනන කෙනෙක් ගමේ නැති තරම්ය. එමෙන්ම දිලංකමාල් දැන උගත් තරුණයෙකි. මෙලෙස දැනුමෙන් පෝෂණය වූ ඔහු උපාධිධාරියෙකි. ගුරු වෘත්තියට ආශා කළත් දක්ෂකම තිබුණත් ඔහු කටයුතු කෙළේ සංවර්ධන නිලධාරියෙකු ලෙසය. එහෙත් ඔහුගේ කැමැත්ත නම් ලැබූ දැනුම දරුවන්ට බෙදා දෙන්නට ය. ඒ නිසා රැකියාව කළද ඉඩ ලද සෑම අවස්ථාවකම දරුවන්ට දැනුම ලබා දෙන්නට ඔහු උනන්දු විය. ඒ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙක් ලෙසිනි. දිලංකගේ විශ්වාසය වූයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නටය. ඒ නිසාම ඔහු දක්ෂ උපකාරක පන්ති ගුරුවරයෙක් බවට පත්වීම නිසා 'අපේ සිංහල සර්' සොයාගෙන සිසු සිසුවියන් රැසක් පැමිණියෝය. පන්තියට සිසුන් රැසක්ම සම්බන්ධ විය. 'සිංහල සර්ගේ' පන්තිය උසස් පෙළ දරුවන්ට හොඳින් විභාගයට මුහුණ දෙන්නට රුකුලක් විය. ඔහුගෙන් ඉගෙන ගත් දරුවන් මේ වන විට සිය දහස් ගණනකි. ඒ නිසාම දිලංකමාල්ගේ දේහය ඉදිරිපිට හඬා වැටෙන දූ දරුවන් ගමේ සියලු දෙනාටම දැකගන්නට හැකි විය. ප්‍රදේශයේ තරුණ මහලු වැඩිහිටි කා සමඟත් සිනාමුසු මුහුණින් කතා කළ චානක කිසිවෙක් සමඟ තරහක් මරහක් තිබුණේ නැත. ඔහුගේ දේහය නිවසට රැගෙන එන විට අතිවිශාල පිරිසක් එහි එක්රොක්ව සිටියෝය.
කෙසේ වුවද මේ සිද්ධිය වූ දින චානකගේ යහළුවන් කීප දෙනෙක් අවශ්‍යතාවකට ගාල්ල නගරයට ගිය විට ඔවුන්ගේ අවශ්‍යතාව සපුරා ගැනීමට ඔවුන්ගේ ජංගම දුරකතන තබා යාමට සිදු වී ඇත. ඒ නිසා චානක සේවය කරන ස්ථානයට සොයාගෙන ගොස් දුරකතන ඔහු ළඟ තබා එම පිරිස ඔවුන්ගේ අවශ්‍යතාව ඉටුකරගෙන නැවත චානක හමුවී එම දුරකතන රැගෙන යාමට පැමිණ ඇත. එහිදී ඔවුන් කතාබහ කර දුරකතනත් රැගෙන චානක සමඟ යන්නේ චානක ද හවස් වරුව නිවාඩුවක් දැමීමෙන් පසුවය.
පසුව ඔහු පිරිස සමග ගමට පැමිණ ඇත. එසේ පැමිණි ඔවුන් හියාරේ සුන්දර ජලාශය අසල පිහිටි රක්ෂිත වනාන්තරයට ඇතුළු වී ඇත. ඒ වනාන්තරයට ඇතුළුවීමට ඇති පිවිසුම් දොරටුවෙන් නොව ඒ සඳහා වූ විකල්ප මාර්ගයකිනි. ඊට ඇතුළු වූ පිරිස වනාන්තරයේ සුන්දරත්වය විඳ ගනිමින් කිලෝමීටර් දෙක තුනක් පමණ ඈතට ගොස් ඇත. එහිදී රිසි සේ ඇවිද සොබා සෞන්දර්ය විඳි ඔවුන් අඳුර වැටීගෙන එන බව දැනගත් පසු රක්ෂිතය ආසන්නයේ තිබූ ඩී. ජේ. විමලසුරේන්ද්‍ර ජලාශයට බැස දිය නාගෙන යන්නට කල්පනා කර ඇත. එහිදී එකිනෙකා රිසි සේ දිය නාමින් සිටිද්දී පීනන්නට බැරි චානක වැව මැදට පීනා යන බවක් අනෙක් අය දුටුවද එය එතරම් ඔවුන් ගණන් නොගත්තේය. ඒ පිටුපස තවත් අයෙක් පීනා යන අතරතුරේදී ඉන් එක් අයෙක් ගිලෙන බව දැක පිහිනීමට හැකි අයෙක් ගොස් ඔහු වහා වැව මැදින් වැව් ඉවුරට ඇදගෙන පැමිණෙනවාත් සමග චානක වැව මැද ගිලෙන්නට යන අයුරු සෙසු අය දුටුවෝය. ඒ සමඟ අයෙක් චානක රැගෙන එන්නට වැව මැදට පීනා ගියේය. පීනා ගිය ඔහුට දියේ ගිලෙන්නට යන චානකගේ කමිසයේ කොලරය අසුවූයෙන් ඔහු ඇදගෙන වැව ඉවුරට පීනා එන්නට විය. එසේ පීනාගෙන චානක ඇදගෙන එන අතර චානකගේ කමිසය ගැලවී ඔහු අතට ආවේය. මේ වන විට හොඳටම අඳුර වැටී තිබූ නිසා කමිසය ගැලවුනු චානක කොහේට ගියාදැයි සොයා ගැනීමට නොහැකි විය. පසුව ඔහුට හැකි පමණින් සොයා බැලුවත් චානක ජලය මතට පැමිණීමක් හෝ සොයා ගැනීමට නොහැකි විය.
බොහෝ වෙලාවක් චානක සෙව්වත් සොයා ගැනීමට නොහැකි වූ නිසා චානකගේ නිවසට පණිවිඩය ලැබෙන්නට සැලැස්විය. එහිදී වහා ක්‍රියාත්මක වූ චානකගේ පියා සහ පවුලේ අය මේ බව පොලිසියට දැනුම් දුන් අතර පොලිසිය ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂා කළද චානක සොයා ගැනීමට නොහැකි බව තේරුම්ගෙන පවුලේ අයට කරුණු පැහැදිලි කර දී පසු දින නාවික හමුදා කිමිදුම්කරුවන් යොදා චානක සොයමු කියා එම ස්ථානයෙන් සියලු දෙනා පිටතට පැමිණි අතර පොලිසිය නාවික හමුදා සහාය ඉල්ලා සිටියේ චානකගේ සිරුර සොයා ගැනීම සඳහාය.
ඒ අනුව පසුදා උදෑසනම නාවික හමුදා කිමිදුම් කණ්ඩායම අක්මීමන පොලිසිය වෙත පැමිණ සිද්ධිය වූ ස්ථානයට ගොස් චානක සෙවීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. පැය කිහිපයක මෙහෙයුමෙන් පසු උදෑසන 11.00ට පමණ චානකගේ සිරුර දිය යට තිබී සොයාගන්නා ලදී. ජලාශයේ අඩි 12ක් පමණ යට වැලි තලාවක තිබී චානකගේ සිරුර සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමට හැකිවූ අතර ඔහුගේ සිරුර ගොඩට ගෙනාවේ ගම්වැසියන්ගේ සෝ සුසුම් මධ්‍යයේය.
අනතුරුව එම ස්ථානයට ගිය කරාපිටිය රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ චානකගේ දේහය පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර කරාපිටිය රෝහල වෙත රැගෙන යන ලදි. සිද්ධිය පිළිබඳ අක්මීමන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුපම්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදු කෙරේ.
සුනිල් ගමගේ - අක්මීමන විශේෂ